කැපකිරීම් රැසක් මධ්‍යයේ 2015 වසරේ නව ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත්වූයේ තක්කඩියන් සහ ජාවාරම්කරුවන්ට අවස්ථාවක් ලබාදීමට නොවන බවත් ඒ ගැන ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දඬුවම් ලබාදුන් නමුත් එයින්වත් පාඩම් ඉගෙන ගෙන නැතිබව බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කළ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්න තම පාර්ශවය සුදානම් නැති බවත් ඒ නිසා නව යුගයක් වෙනුවෙන් නව වේදිකාවක් මේ වසරේදී නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒවෙනුවෙන් සෑම ජනකණ්ඩායමක් සමගම අත්වැල් බැඳගෙන උතුරේත්, දකුණේත්, නැගෙහිරත්, බටහිරත් සියළු වැඩකරන ජනතාවත්, රටට ආදරය කරන වෘත්තීයවේදීනුත් ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයනුත් මේ සියළු දෙනා එක ධජයක් යටතට ගෙන ඒමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
දැය නැගුමට වෙහෙසෙමින් වැඩකරනා ශ‍්‍රමිකයින් සඳහා රක්ෂණාවරණ 1000ක් පිරි නැමීමද මෙහිදී සිදු කෙරුණි.
එදා රට සින්නක්කරව විකුණලා ඒ මුදලින් යුධ හමුදා මූලස්ථාන හැදුවා
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, බලන්න මේ යුධ හමුදා මූලස්ථානය, රටේ වටිනම ඉඩම තුට්ටු දෙකට විදේශිකයන්ට සින්නක්කරව විකුණලා ඒ මුදලින් යුධ හමුදා මූලස්ථානය හදනවා කිව්වා. ඒ පිරිස් අද ඉන්නේ මහපාරේ. අවුරුද්දකට කෝටි 500 ගණනේ යනවා. යුද හමුදා මූලස්ථානය පටන් ගත්තේ මිලියන 8000 කින් හදනවා කියලා. දැන් අද වන විට මිලියන 64 000 ක් ගිහිල්ලා. මේකේ වැඩ ඉවර වෙන විට බිලියන 100 කටත් වඩා ගිහිල්ලා. තව මේ රටේ පරම්පරා ගණනක් නෙමෙයි මේක ගොඩනගන්න මහද්වීපයක් ඕනේ වෙනවා මේ රටේ මේ කරපු විනාශකාරී ඉදිකිරීම් ටික නඩත්තු කරන්න මිත‍්‍රවරුණි. අපිත් හදනවා ගොඩනැගිලි, ඒ ගොඩනැගිලි මේ අපේ ජනතාවගේම ඊ ළඟ අවුරුදු 12 දී රටට ලාභ දෙන ගොඩනැගිලි බවට අපි පරිවර්ථනය කරනවා. යුධ හමුදා මූලස්ථානය වගේ කිහිප ගුණයක් විශාල ගොඩනැගිලි අපි බත්තරමුල්ලේ ඉදිකරගෙන යනවා මිත‍්‍රවරුනි. අපේ වෙනස එයයි. පරම්පරා ගණනකටවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වගාඩම්බරපර අවතාරවලට ඉන්න පුළුවන් ගොඩනැගිලි හදලා, රට ණය කරලා, පරම්පරාව ණය කරලා මහද්වීපයක්වත් අවශ්‍යයි ඒවා ගෙවන්න තත්වයේ ව්‍යසනකාරී ඉදිකිරීම් නෙමෙයි රටට ඔරොත්තු දෙන ජනතාවට ඔරොත්තු දෙන වැඩපිළිවෙලකුයි රටට අද අවශ්‍ය කරලා තිබෙන්නේ.
දහදිය හෙළන සමාජයේ පීඩිතයන්ට රක්ෂණාවරනයක්
අප පසුගිය වසරේ ආරම්භ කලා මෙරට වැඩකරන, දහදිය හෙළන සමාජයේ අන්තම පීඩාවට පත් වෙලා ඉන්න අපේ ජනතාව වෙනුවෙන් නිශ්චිත රක්ෂණාවරණයක් ලබාදීලා ඔවුනගේ ජීවිත සුරක්‍ෂිත භාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා වන වැඩසටහනක්. එම වැඩසටහන මේ වසරේදීත් ඉදිරියට ගෙනයන්න කල්පනා කළා. මේ මහා කොළඹ නගරයේ අද 70% ක් ජීවත් වන්නේ පැල්පත්වල. විවිධ ආණ්ඩුවල විවිධ වැඩපිළිවෙලවල්, වැඩසටහන් තිබුණත් මෙම ජනතාවගේ ගැටලූව සදහටම 100% කින් විසඳන්න කිසිම වැඩපිළිවෙලක් වැඩසටහනක්, කිසිම ආණ්ඩුවකින්, කිසම දේශපාලනඥයෙකුගෙන් දියත් වුණේ නැහැ. අද අපි ප‍්‍රධාන නගර පහක් කොළඹ නගරය ඇතුළත ගොඩනගමින් තිබෙනවා. ඒවයේ ප‍්‍රතිපළ මෙම වසරේ, ලබන වසරේ අපට ලබා ගන්න පුළුවන්. උතුරු කොළඹ පැල්පත්වල ජීවත් වූ මඩවගුරුවල ජීවත් වූ, මත්ද්‍රව්‍ය, දුරාචාරයන්ට සම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිත විටින් විට සෑම අවස්ථාවකදීම මැයි දිනයේදී දේශපාලකයින්ගේ පෙළපාලිවලට, අරක්කුවලට, බුරියානි පැකට් එකට විකුණපු ජනතාවගේ ජීවිත වෙනස් කිරීම සඳහා අපි අද විශාල නගරයක් උතුරු කොළඹ ඉදිකරමින් යනවා. ඒ නගරයේ අරමුණ අනාගතයේ පැල්පත්වාසීන්ගෙන් තොර සුන්දර උතුරු කොළඹක් ඇති කිරීමයි. අපි මෙම වසර අවසන් වන විට නිවාස 9000 ක් පමණ හේනමුල්ල නව නගරයේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. එහි වැදගත්කම මෙයයි, මෙරට නාගරික නිවාස සංවර්ධනයේ ප‍්‍රමුඛයෝ හැටියට එදා පීටර් කෙනමන් මැතිතුමා වගේම ආර්. පේ‍්‍රමදාස මැතිතුමා වැනි අය කි‍්‍රයා කළා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩානායක මැතිණියගේ කාලයේ සහස්පුරය ගොඩනැගුණා සේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙත් මිහිදුසෙන්පුර ආදී නාගරික ව්‍යාපෘති ගොඩනැගුණා. මේ සියල්ල එකතු කළත් කොළඹ නගරයේ නිවාස සෑදී ඇත්තේ 1600 යි. අපි මේ 2020 වන නාගරික සංවර්ධන අධිකාරියෙන් කිසිඳු ප‍්‍රචාරයකින් තොරව අපි අපේ ජනතාවට නිවාස 20000 ක් ලබාදෙන්න කටයුතු කරනවයි කියන එක අපි කියන්න ඕනේ.
කොළඹ කුණු ප්‍රශ්නය විසඳුවා
ඒ වගේම කොළඹ නගරයේ විසඳන්න බැහැයි කියල තිබූ කැළි කසළ ගැටළුවට විසඳුම් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. පසුගිය කාලයේ හමුදාවෙන් යොදවලා කොළඹ කැළි කසල එකතු කරලා මීතොටමුල්ල නගරයේ ගොඩගහලා කුණු කන්දක් හදලා කොළඹ ලස්සන කළා. පසුගිය වසරේදී එයින් මහා ඛේදවාචකයක් සිදුවුණා. දැන් එය මේ රටට මතක නැහැ. අද අපි කොළඹ නගරයේ 95% ක් කැළි කසළ අද වෙන් කරලා විධිමත් සැලසුම් කරණයට අනුව ලබාදෙනවා. ඒ කැළි කසල එකතු කරන පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ එම ජනතාවට ධෛර්යමත් ජීවිතයක් අපි සහතික කරලා ලබාදී තිබෙනවා. ඒ වගේම කැළිකසල වලින් අප අමාත්‍යාංශය මගින් කෙරවළපිටියේ කොම්පොස්ට් පොහොර හැදෙනවා. එමගින් මෙරට පොල්වලට, තේවලට, රබර්වලට පොහොර ලබාදෙනවා පමණක් නෙමෙයි, අනාගතයේ අපි ගොඩනගන වරාය නගරයේ, එහෙම නැත්නම් සාගර නගරයේ උදාකරන මේ අපේ විහාර මහාදේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයේ අනාගතයේ වැවෙන රූස්ස ගස්වලට පොහොර සපයන්නේ අද ඒ කොළඹ කැළි කසළවලින් කියන එක.
බෝඩ් නැතුව ඇත්තටම කොළඹ හැදුවේ කවුද ?
අද මේ නගර සභාවට කරන්න දෙයක් නැහැ. මේ නගර සභාවේ සෑම ප‍්‍රශ්නයක්ම විසඳන්න කටයුතු කරලා තිබෙනවා. අපි ඒ ගැන ලොකුවට මාධ්‍යවල ප‍්‍රචාරය කරලා නැහැ. අපගේ පුංචි ප‍්‍රශ්නයක් තිබුණත් සමහර මාධ්‍යවලින් ලොකුවට විවේචන කරන්නේ. මේ ලබලා තිබෙන ජයග‍්‍රහණ ගැන හුඟ දෙනෙක් නිහඬ උනාට මෙරට අපේ ජනතාව දැන්නවා මේ නගරය විධිමත්ව පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි කියන එක පිළිබඳව සියුම් හද ගැස්මක්, යම් පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අද ගෙවල් කඩන කොට මිනිස්සු පාරට එන්නේ නැත්තේ. පසුගිය කාලයේ ගෙවල් කඩන කොට පාරට පෙළපාලී ආවා. ගෙවල් කඩලා ඉඩම් ටික හිතවතුන්ට ලබාදුන්නා. හිතවතුන්ට එම ඉඩම් ලබාදී තමන්ගේ විදේශීය ගිණුම්වලට කොමිස් දා ගත්තා. දාගෙන කියනවා අපි තමයි කොළඹ පිරිසිදු කලේ, අපි තමයි කොළඹ හැදුවේ කියලා.
මිත‍්‍රවරුණි කොළඹ තිබෙන වටිනාම ඉඩම් විකුණලා අද වෘත්තීයවේදීන්ගේ පෙරමුණු හදාගෙන රට හදන එක ගැන කතාකරනවා දැක්කාහම අපට හිනා යනවට වඩා කේන්ති යනවා මිත‍්‍රවරුණි. කොළඹ කොම්පඤ්ඤවීදියේ, පිටකොටුවේ, ගාලූමුවදොර ඉඩම් හිතවතුන්ට නොමිලේ ලබාදී තමන්ගේ කුස පුරෝගත් යුගය අද අපි අවසන් කර තිබෙනවා. මේ දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක වන්නේ මේ කොළඹ නගරයේ. මේ හැම ඉඩමක්ම අපි තරඟකාරී පදනමකින් ලබාදී මේ රටේ ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදී තිබෙන එකත් අප අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම ඒ හැම නාගරික පහසුකමක් මගින්ම අපේ ජනතාවගේ සෑම බලගතු ගැටළුවක් විසඳීම සඳහා අපි පියවර තබලා තිබෙනවායි කියන එකත් අපි ප‍්‍රකාශ කරන්න ඕනේ.

