ගංවතුර නිසා අද ජපානයේ, හිරෝෂිමා ඛේදවාචකයට වඩා විශාල විනාශයන් සිදුවන බවත් ඒ ලෙසටම සීතල රටක් වන කැනඩාවේ උණුසුම දරාගත නොහැකිව මිනිසුන් මිය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.
මෙයින් කරන්නේ පරිසරය අපට අවශ්‍ය උනාට පරිසරයට අපි අවශ්‍ය නොමැති බව යැයිද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, ආනන්ද විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ විවෘත කරමින් පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
මහානගර අමාත්‍යාංශය යටතේ වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන ජාතික පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන මගින් මෙම සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ පසුගිය 08 වනදා ආරම්භ කෙරුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ‘මේ ග‍්‍රහ ලෝකය බිහි වෙලා අපි දන්න විද්‍යාව අනුව වසර බිලියන 4ක් වෙනවා. මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය බිහි වෙලා තවම අවුරුදු 200 යි. මේ වසර බිලියන 4කට වැඩි යුගය එක වසරක් ලෙස ගතහොත් මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය ඇතිවී තිබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා රාත‍්‍රී 11.59 ට. එක විනාඩියයි ගෙවිලා තිබෙන්නේ. ඒ අනුව බැලූවහම එක විනාඩියයි අපි හරියට ජීවත් වෙලා තිබෙන්නේ මේ නූතන සමාජයේ. අප නැතුව මේ ලෝකයට පවතින්න පුළුවන්. ඩයිනෝසරයන් නැති වී ගියා වගේ, අප නැතිව ගියත් ලෝකයට පැවතිය හැකියි. හැබැයි අපට පරිසරයට නැතිව පැවතිය නොහැකියි. ඒ නිසා එය අනිවාර්යයෙන්ම ආරක්‍ෂා කර ගත යුතුයි.
අද ජපානයේ හිරෝෂිමාවට බෝම්බ දැම්මට වැඩිය ලොකු විනාශයක් සිදුවනවා ගංවතුරෙන්. කොපමණ දියුණු රටක් වුවත් පරිසරය ව්‍යසනයෙන් වලක්වා ගන්න බැහැ. විශාල ලෙස සීතල රටක් වන කැනඩාව අද රස්නය නිසා මිනිසුන් මිය යන තත්වයට පත්වෙලා තිබෙනවා. ගංවතුර, නියඟය, උණුසුම දරාගත නොහැකි ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එනිසා මේ මහපොළොව රැක ගැනීම අත්‍යාවශ්‍යම දෙයක්. ඔබ මේ මහපොළව රැක ගැනීමට කටයුතු කළ යුතුයි.
දෙවන කාරණය අපගේ සම්ප‍්‍රදාය. අපගේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වගේම ධර්මපාලතුමා වැනි අය ඉදිරිපත් වෙලා කැපවීමෙන් අපේ මේ සම්ප‍්‍රදාය ගෙන එනු ලැබුවේ. එමගින් අදහස් වෙන්නේ නැහැ අපි මේ සම්ප‍්‍රදායි හනමිටිය රකින්න ඕනෙයි කියන එක. නූතනත්වය සමග අපේ සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගත යුතුයි. ඒ සඳහා සිටින එකම පිරිස ඔබයි. මේ පස, මේ දහම, මේ ශාසනය රැක ගැනීමට මේ ලෝකයේ සිටින එකම පිරිස ඔබයි. එය ඔබ හමුවේ ඇති ප‍්‍රබල, බරපතල වගකීමක්.
කීර්තිමත් ඉතිහාසයක් පවතින ආනන්ද විද්‍යාලයේ අපේ දරුවන් අධ්‍යාපනයේදී, ක‍්‍රීඩාවේදී ඒ වගේම ආරක්‍ෂක අංශවල සේවාවන් හිදී, පාරිපාලන අංශවල, නීති අංශවල, ඉංජිනේරු, වෛද්‍ය විද්‍යාවන් වැනි සෑම තැනකම පෙන්වන ජයකෙහෙලි නැංවීම කසළ කළමනාකරණයේදී ත් පෙන්වා මේ පාසල නියම හරිත පාසලක් ලෙස ගොඩනගා ලක් මෑණියන්ට, මිහි මෑණියන්ට ඔබේ වගකීම ඉටු කරන ලෙස ඉතා ආදරයෙන් මතක් කරන බව ද පැවසීය.

