අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමිනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත‍්‍රණයකි. ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය Mamuka Bakhtadze මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සමුළුව ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 75 ක ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, අමාත්‍යවරු ඇතුළු නියෝජිතයින් ඊට එක්ව සිටියහ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකඟතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සිය අදහස් පළ කරනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට අදාළ මූලධර්ම ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව ගත් පියවර පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ තමන් ජනාධිපති ධූරයට පත්වන විට ලෝකයේ කිසිම රටක නොමැති අයුරින් අසීමිත බලයක් ශ‍්‍රී ලංකා විධායක ජනාධිපති ධූරය සතුව තිබු බවයි. තමන් ජනාධිපති ධූරයට පත්ව මාස 06 ක් ඉක්ම යාමට පෙර එම අධික බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට පවරාදී පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා එහිදී පැහැදිළි කළේය.
එසේම එදා අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති, සහ කොමිෂන් සභා නිලධාරින් ද පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන අතර අද එම සියලු කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ව්‍යවස්ථාපිත සභාවක් මගින් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තමන් රට භාර ගන්නා විට දේශපාලන බලය හේතුවෙන් අධිකරණය ද දැඩි දූෂණයට ලක්ව තිබූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමට ද වත්මන් රජය පියවර ගත් බව සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු සියලු කොමිසන් සභා අද ශක්තිමත් වී තිබෙන අතර, කිසිවෙකුගේ ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන සහ අපක්ෂපාති ආයතන ලෙස ඒවා කි‍්‍රයාත්මක වන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
දේශපාලනඥයා වේවා රාජ්‍ය නිලධාරියා වේවා තමා සතු පෞද්ගලික බලය හැකි තරම් අවම කරමින් බලය ව්‍යවස්ථාපිත ලෙස සාමුහිකත්වයට භාරකළයුතු අතර, වැඩමුළු හා සම්මන්ත‍්‍රණ හරහා ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමට මෙන්ම, දූෂණය හා වංචාව පිටුදැකීම පිළිබඳ සිවිල් සමාජය සතු බලතල භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමග එක්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ‍්‍රී ලංකාව ඒ හා එක් විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප‍්‍රථම දකුණු ආසියාතික රට ද වෙයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය දරති.
දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමුහිකව ගතයුතු ප‍්‍රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේ දී පුළුල් අවධානයක් යොමු කෙරේ. සමුළුව හෙටින් අවසන් වෙයි.

