වතුකරයට නව ගම්මාන ඉදිකර දීමට තමා දුන් පොරොන්දුවට අනුව ආණ්ඩුවේ තුන්වැනි වසර අවසන් වන විට එම "මහත්මා ගාන්ධි පුරම්" ගම්මානය විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (12) නුවරඑළියේදී පැවසීය.
මීට වසර තුනකට පෙර මෙම ආණ්ඩුව බලයට පත් වන විට රට තුළ ජාතිවාදයක් තිබු බවත් ඒ කාලයේ වතුකරයේ ජනතාව බියෙන් පසු වුණත් ජාතිවාදය නොමැතිවීම හේතුවෙන් අද වතුකරයේ ජනතාවට බියක් නොමැතිව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණයවී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අද ජනතාව ජීවත් වෙමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මෙහිදී ඉන්දීය රජයේ ආධාර ඇතිව වතුකරයේ නිවාස 1000 ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබුණු අතර, අද විවෘත කෙරුණු මහත්මා ගාන්ධි පුරම් ගම්මානයේ නිවාස සඳහා පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.
වතු කම්කරු ජනතාව සඳහා වන නිවාස යෝජනා ක්‍රමයේ "මහත්මා ගාන්ධි පුරම්" ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නුවරඑළිය, පූඩලූඔය, ඩන්සින් වතුයායේදී මෙම අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද කීය.
අපේ ආණ්ඩුව බලයට පත් වූයේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමටයි. මෙම ගම්මානය විවෘත කිරීම නිසා අද සිට මෙහි ජීවත් වන ජනතාවට ශ්‍රී ලංකාවේ අනෙකුත් ගම්මානවල ජනතාවට සමානව සැප පහසුකම් බුක්ති විදිමට හැකි වනවා.
යුද්ධය නිසා අවතැන් වූ උතුරේ ජනතාවට ඉන්දියන් ආධාර යටතේ නිවාස ලබාදීමට අපට හැකි වුණා. ඒ වගේම මීට සති තුනකට පෙර යාපනයේදී නරේන්ද්‍ර මෝදී අගමැතිතුමා, ශ්‍රී ලංකාවට පළමුවර පැමිණීමේදී ලබාදුන් සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර සම්පූර්ණ කිරීමත් සිදු කෙරුණා.
මෙම ගම්මානය තුළ නිවාස 400 ක් ඉදිකර තිබෙනවා. ඔබේ ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් "ගම්පෙරළිය" සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන් යටතේ අවශ්‍ය මුදල් ලබා ගනිමින් ඉන් ප්‍රයෝජන ගැනීමට ඔබ කටයුතු කළ යුතුයි.
අපේ රට ණය බරින් බේරා ගනිමින් රටේ ජනතාවට අනාගතයක් ඇති කිරීමට අද අප ක්‍රියා කරමින් සිටිනවා. මෙම අවස්ථාව ආවරණය කිරීමට මෙහි පැමිණ සිටින මාධ්‍ය ආයතනවලින් දෙකක් හැර අනෙකුත් සියලුම මාධ්‍ය ආයතන අද රාත්‍රියෙත් අපිව විවේචනය කළත් ඒ කිසිවෙකුත් සුදු වෑන්වලින් පැහැර නොයන ආකාරයේ නිදහසක් අපි රට තුළ ඇති කර තිබෙනවා.
එම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, කඳුකර නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu), කොත්මලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අශෝක හේරත් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගිව සිටියහ.
{gallery}wathu_ranil{/gallery}

