ඇමැති නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට

ඇමැති නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ සමීපතයෙක් බව පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අම්පාර උහන ප්‍රදේශයේදී පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්පාර, වෑරැන්කැටගොඩ, වළගම්බාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (14) දිනයේදී අම්පාර මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීම සදහා වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචා කර ඇති බව මේ වන විට කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.  මෙම සැකකරු මුදල් වංචා කර රටින් පිටව යාමට සූදානම් වෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ අනුව වහාම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජර්මනියේ හෝටලක රැකියා අවස්ථා ඇති බවත් ඒ සදහා රුපියල් ලක්ෂ විස්සක මුදලක් අවශ්‍ය බවත් අත්අඩංගුවට පත් සැකකරු රැකියා අපේක්ෂිත තරුණයින් දෙදෙනෙක්ට පවසා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ එකොළහක මුදලක් ලබාගෙන ඇත. මෙම මුදල ලබාගැනීමෙන් පසුව රැකියාව ලබා නොදෙමින් මුදල් වංචා කර තිබුණි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ල අනුව කළ විමර්ශණවලදී උහන ප්‍රදේශයේදී  සැකකරු අත්අඩංගුවට ගත්තේය.

තමන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යමණ්ඩලයේ සේවය කරන අයෙක් බවත් රජයේ ප්‍රභල ඇමැතිවරයෙක් වන විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ මස්සිනා තමන්ගේ හිතවතෙක් බව පවසමින් තවත් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් බැංකු වාර්තා ඉදිරිපත් කරන ලෙසත්  බී වාර්තාවක් ඉදිරිපත් කරමින් විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ, විශේෂ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ජී. වෙලගෙදර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නීති ක්‍රියාත්මක කිරිමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් පරීක්ෂක කේ.එස්. පුෂ්පකුමාර, කාර්යාංශ නිලධාරී අමිල පෙරේරා සහ අජිත් ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකළහ.

විදේශ රැකියා සදහා පුද්ගලයින් බදවාගැනීමට අවසර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනයකට පමණක් බවත් නීත්‍යානුකූල නොවන ආකාරයට රැකියා ලබාදෙන ආයතනවලට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේ නීති විරෝධී ලෙස රැකියා ලබාදෙන හා මුදල් වංචාකරන ආයතන හෝ පුද්ගලයින්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න