ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දියානු ආයෝජන වැඩිදියුණු කිරීමටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සදහා ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදීමටත් දිගින් දිගටම කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමැතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශකර තිබේ.
ඒ ඊයේ (27 වන දා) වියට්නාමයේ හැනොයි නුවර, ෂෙරටන් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ වන අතර ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන් ද දිනෙන් දින වර්ධනය වනු දැක්ම සතුටට කරුණක් බවද ඉන්දීය විදේශ අමාත්‍යවරිය පවසා ඇත.
ඉන්දීය සාගරයට සම්බන්ධ සියලූම පාර්ශ්වයන්ගේ දායකත්වය ඇතිව නිදහස් නාවුක ගමනාගමනය සහ ඉන්දීය සාගරයේ සාමය හා ආරක්‍ෂාව ස්ථාපිත කරලීම සඳහා එකඟත්වයකට එළැඹිමට සුදුසුම වේදිකාව ඉන්දීය සාගර සමුළුව බව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
ප්‍රධාන සමුළුවට අමතරව පාර්ශ්වකරුවන් අතර නිරන්තර සාකච්ඡා හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම මගින් සමුළුවේ අරමුණු වඩාත් විධිමත්ව හා කඩිනම්ව ඉටු කර ගැනීමට අවකාශ උදා වන බව ද මෙහිදී සඳහන් විය.
මෙම අවස්ථාවට ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සශිකලා ප්‍රේමවර්ධන, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන, අග්‍රමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූහ.

