කංසා වගාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා - රාජිත

කංසා වගාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා - රාජිත

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (13)   පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමිනි.කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සදහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සදහා ඉවත් කර ඇති නමුත් මෙරට  කංසා තහනම් කර ඇත. කංසා දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත්, ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලු ඇති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී  පෙන්වාදී ඇති අතර  ඊශ්‍රාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර කංසා සමුළුවක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍යවරුන් යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් බව ද සඳහන් කර තිබේ.

 එම සමුළුවට සහභාගි වන වෛද්‍යවරුන් කංසා වගා කිරීම සහ අලෙවිය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමකර  ඇති බවත්  කැනඩාව ඇතුලු රටවල් රැසක් පර්යේෂණ සිදු කරමින් කංසා මගින් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ආයුර්වේද ක්ෂේත්‍රය සදහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා, අබිං හිඟවීම ගැටලුවක් බව ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. 

අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළීබද අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

රස බෙහෙත් නිෂ්පාදනය සදහා ප්‍රමිතියෙන් යුත් අළුත් කංසා අවශ්‍ය බව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ ද  මෙහිදී සදහන් කර තිබේ. දිවයින පුරා පළාත්වල සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සදහා අවශ්‍ය කංසා දැනට ලබාදෙන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාව මගිනි. මෙම කංසා ප්‍රවාහනය කිරීමේ දී සහ බෙදාහැරීමේ දී ගැටලු මතුවන බැවින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.මේ අතර පෞද්ගලික අංශය  මගින් තීරු බදු රහිතව ආනයනය කරන ඖෂධ අධික ප්‍රමාණයක් ගෙන්වන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිය පරික්ෂා කිරීමක් ද සිදු නොවන බව මෙහිදී හෙළි විය. ඇතැම් පෞද්ගලික වෙළෙද ව්‍යාපාරිකයින් තීරු බදු සහනයට මුවා වී ගෙන්වනු ලබන ඖෂධ වෙනත් කටයුතු සදහා යොදා ගන්නා බවට පැමිණිලි වාර්තා වී ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. එවැනි විෂමාචාර ක්‍රියා පිළිබදව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතාට උපදෙස් ලබාදෙන ලදි.මෙම අවස්ථාවට පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් වි.ජි.එස් ගුණතිලක මහත්මිය, අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න මහතා, අයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න