Language Switcher

V2025

මහින්ද ඉල්ලා  අස්වූ තනතුර ගැන මනුෂට ප්‍රශ්නයක් !

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අධිකරණයෙන් වැඩ තහනමට ලක්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට අගමැතිධූරයක් නොතිබූ බවත් ඔහු ඉල්ලා අස්වූයේ කුමන ධූරයෙන්දැයි තමන් ප්‍රශ්න කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

අද (15) මාධ්‍ය  ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර  ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සටතුට අද අපිට බුක්ති විදීමට හැකියාව ලැබී තිබෙන බවත්  ප්‍රජාතන්ත්‍ර විරෝධීව, රස්තියාදුකාර විදියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් මාස එකහමාරක නාඩගම අවසන් වෙමින් තිබෙන බවද  පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මේ නාඩගම නතර කිරීමට හැරවුම් ලක්ෂය බවට පත්වූ කෙනා විදියට, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රැල්ල අනික් පැත්තට හැරවීමට මූලිකවූ කෙනා විදියට තමයි අද මම කතා කරන්නේ. සමහර මන්ත්‍රීවරු සල්ලි මිටි පෙන්වද්දී එක්සත් ජාතික පක්ෂය දාල යද්දී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට කිසිම කෙනෙක් එන්නේ නැතිව සිටියදී සියලු වරප්‍රසාද පැත්තකට දාලා, මම තනියම තීන්දුවක් ගත්තා. එදා මම ගත්ත තීන්දුව නිවරදි බව අද රටේ ජනතාව වගේම අධිකරණයත් පෙන්නුම් කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීම සදහා මම එදා මම හෘදය සාක්ෂියට අනුව ගනිපු තීන්දුව අද වන විට නිවරදී වී තිබෙනවා.
එදා ඔක්ත්තෝම්බර් 26 වැනිදා හද පානේ හොර රහසේ අගමැතිවරයෙක් දිවුරුම් දුන්නට පස්සේ දහ තුන් වතාවක් ඇමැති මණ්ඩලයක් දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තුවේ 113 හදාගන්න සල්ලි මිටි පෙන්නුවා. ඒත් ඒ උත්සාහයන් අසාර්ථක වුන බව ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට ඇවිත්ම කිව්වා. පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තුව කල් දැම්මා.මේ වෙලාවේදී හැරවුම් ලක්ෂය බවට පත්වෙමින් මම හරි තීන්දුව ගත්තා. ඒ වෙලාවේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා හැරියා. මේ වෙලාවේ අධිකරණය ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවීමේ තීන්දුව ලබාදුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුව රැස්වුනා. පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට නැති බව පේනකොට පාර්ලිමේන්තුවේ යකා නැටුවා. කතානායකවරයාගේ පුටුවට වතුර වත් කළා. පොලිස් නිලධාරීන්ට පහරදුන්නා. පාර්ලිමේන්තුවේ දේපල විනාශ කළා. ඒ හැම දෙයක්ම කරලා පාර්ලිමේන්තුව කඩා කප්පල් කළා.
මේ වෙලාවේ අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මුලින්ම හඩින් ගත්තා. ඉන් පසුව විද්‍යුත් ක්‍රමයට ගත්තා. ඊට පස්සේ නමින් අරගත්තා. මේ හැම විදියකටම අරගෙන බහුතරය තියෙන්නේ කාටද කියලා පෙන්නුවා. පාර්ලිමේන්තුවේ 113 සොයාගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තු කැන්ටිමට වෙලා පාර්ලිමේන්තුව වර්ජනය කළා. අපි පාර්ලිමේන්තුවෙන් නතර වෙන්නේ නැතිව අධිකරණයට ගිහින් අලුතින් පත් කළ අගමැතිවරයාගේ වැඩ තහනම් කරගත්තා. පාර්ලිමේන්තුව විසුරවාහැරීම නීත්‍යානුකූල නොවන බව අධිකරණය තීන්දු කළා. වැඩ තහනම ඉවත් කරන්න කියලා මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක කල් දැම්මා.

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අගමැතිවරයා, අධිකරණයෙන් වැඩ තහනමට ලක්වූ අගමැතිවරයා දැන් ඉල්ලා අස්වුනා. මේ අගමැතිවරයා මොකෙන්ද ඉල්ලා අස්වුනේ. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න අගමැතිධූරයක් තිබුණේ නෑ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් වගේම අධිකරණයෙනුත් ඔහු ඉල්ලා අස්කරලා ඉවරයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා ගනිපු තීරණ නිසා රට මාස එකහමාරක් ආපස්සට ගමන් කළා. දැන් ඔබතුමා නටපු නාඩගමට හොදටම ඇති. රට තවත් අගාධයට යවන්න එපා. අපිට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක්. දැන් හවුල් ආණ්ඩු හදලා, මේක කැද හැලියක් බවට පත් කරලා ආණ්ඩුව අවුලක් බවට පත් කරන්න එපා. නැවත වාවක් අර්බුද නිර්මාණය කරන්නේ නැතිව, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රට උකසට තියන්න එපා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති, හිටපු අගමැති, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙනුත් ඉල්ලන්නේ මේ රට අවුලෙන් අවුලට පත් කරන්න එපා කියලයි. මහින්ද රාජපක්ෂ කියන්නේ වටිනා නායකයෙක්. ඒත් කීප දෙකේගේ බල තහන්හාව නිසා ඔහු විනාශ මුඛයට ඇදලා වැටිලා. ඔහුට තිබුණ පිළිගැනීම, ආදරය, නැති කරලා. අනේ මහින්ද මහත්තයා පව්.

එදා මහින්ද රාජපක්ෂ 113 හදාගන්න, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට අවස්ථාවක් තිබුණා නම් ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩුවක් කරගෙන යනවා. එහෙනම් රට වෙනුවෙන් කියලා මන්ත්‍රීවරු රාජපක්ෂලා ළගට යනවා. හැබැයි ඒක අපිට හරවන්න පුලුවන් වුනේ එදා මම ගනිපු තීන්දුවත් එක්කයි. මම ගනිපු තීන්දුවත් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමට හැකියාව ලැබුණා.

අපි ගනිපු තීන්දුවත් එක්ක අපිට දැන් මඩ ගහන්න අරගෙන තිබෙනවා. බොරු පැමිණිලි ඉදිරිපත් කරලා මගේ සහෝදරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. බොරු පැමිණිලි දාලා අපිට හිරිහැර කරන්නේ අපි ගනිපු පියවර නිසයි. ඒ නිසයි මට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණ කරන්නේ. හෙට මම හිරේ දැම්මත් අපි කරන සටන නතර කරන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කරන අරගලය නතර කරන්නේ නෑ.