පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව සහ ණය මුදල් නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධනගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුගේ දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් නියම කර ඇත.
පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය වශ්‍යයෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) මුදල් හා ඊට අදාළ පොළී මුදල් උපයා ගැනීම සඳහා පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩව පවරා තිබිණි.
දෙවැනි විත්තිකාර බන්ධුල ගුණවර්ධන මහතා අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනයෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක බැංකු අයිරා සහ ණය මුදල් ලබාගැනීමේදී නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානය ඇපයක් වශ්‍යයෙන් ඉදිරිපත් කොට තිබු බව පැමිණිලිකාර බැංකුව අධිකරණයට දැනුම් දී තිබිණි.
අදාළ ණය මුදල් හෝ ඊට අදාළ පොළී මුදල් නොගෙවීම මත එම මුදල් අයකර ගැනීම ස`දහා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පිහිටි දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණීම සඳහා මෙම නඩුව පවරනු ලැබිණි.
එහිදී බැංකුව වෙනුවෙන් එහි බැංකු නිලධාරීන්, නීතී නිලධාරීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදී ඇති අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණයේ සාක්කි දෙමින් තමා බැංකුවේදී ඇපකරයක් වශ්‍යයෙන් යම් ලේඛණයකට අත්සන් කළ මුත් උකස්කරයකට අත්සන් නොකළ බව පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විමසීම අවසානයේදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දෙවැනි විත්තිකාර බන්ධුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බව පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන යම් ලේඛණයකට අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දුවේ සඳහන් කොට ඇත.
ගුණවර්ධන මහතා අත්සන් කරන්නේ උකස්කරයකට බව හොදින්ම දැන ඔහු අදාළ ලේඛණ වලට අත්සන් කොට ඇති බව පැහැදිලිව පෙනී යන බව සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ විනිසුරුවරයා පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් අංක 28 දරණ දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසද නියම කළේය.
පැමිණිලිකාර පෑන් ඒෂියා බැංකුව වෙනුවෙන් නීතීඥ වරුණි එගොඩගේ ගේ උපදෙස් මත නීතීඥ ඉර්ෆාන් බාචා සමඟ නීතීඥ වරුණ සේනාධිර පෙනී සිටියේය.
විත්තිකාර හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ ජයන්ත ද සිල්වාගේ උපදෙස් මත නීතීඥ නුවන් රූපසිංහ සමඟ ජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ පෙනී සිටියේය.

