Language Switcher

V2025

ජයසූරියට ක්‍රිකට් තහනමක් : දඬුවමට අදාළ නීතිය මෙන්න !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවේ.

ICC දුෂණ මර්දන ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන ලියවිලි ලබා නොදීම සහ ඒවා සඟවා තැබීම සනත් ජයසූරියට එරෙහිව නගා ඇති චෝදනා වෙයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු ප‍්‍රධානියාද වූ සනත් ජයසූරිය ද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග‍්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන තිබේ.

වගන්තිය 2.4.6

දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් සාධාරණ හේතුවකින් තොරව සහයෝගය නොදීම හෝ සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම. එම විමර්ශන සඳහා අදාළ වන පරිදි දූෂණ මර්ධන ඒකකය විසින් ඉල්ලා සිටිනු ලබන කිසියම් තොරතුරක් හෝ ලියවිල්ලක් සැපයීම ප‍්‍රතික්ෂේප කිරීම නැතහොත් සම්පූර්ණ නොකිරීමද මෙම වගන්තියට ඇතුළත් වේ.

වගන්තිය 2.4.7

දුෂණ මර්ධන ඒකක විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් බාධා කිරීම හෝ එම විමර්ශන ප‍්‍රමාද වන පරිදි කටයුතු කිරිම. එම විමර්ශන සඳහා අදාළ වන තොරතුරු හෝ සාක්ෂි හෙළිදරව් විය හැකි තොරතුරු වසංකිරීම හෝ විකෘති කිරීම නැතාහොත් විනාශ කිරීමද මීට ඇතුළත් වේ.

ICC හී දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ ක්‍රිකට් කී‍්‍රඩාව දුෂණයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම විමර්ශන වලට සහාය දීම ඉතාමත් වැදගත් මෙන්ම මූලික ආයුධයක් බවත් කී‍්‍රඩාවේ අවංකභාවය රැකගැනීම සඳහා මෙම නීති රීති අත්‍යවශ්‍ය මෙවලම් වන බවත්ය.