Language Switcher

V2025

ජනතාව සවිබල ගන්වන : දුප්පතුන්ට රැකවරණය දෙන : 2019 අයවැයට මංගල සුදානම් !

2019 වසර සඳහා වන අයවැය යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග ඊයේ (03) දිනයේ පානදුර ගොරකාන ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ දී ඊට අදාළ අවසන් කටයුතු සැලසුම් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අයවැය යෝජනාවලිය හෙට (05) පස්වරු 1.30ට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය 06 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථා විවාදය 13 වැනිදා සිට අප්‍රේල් මස 05 වැනිදා දක්වා පැවැත් වේ.

අයවැයට අදාළ තෙවන වර ඡන්ද විමසීම අප්‍රේල් 05 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර 2019 අයවැය ආර්ථික ප්‍රතිලාභ සෘජුව ජනතාවට සමීප කිරීමේ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකින් සමන්විත බව වාර්තා වෙයි.

ජනතාව සවිබල ගන්වන අයවැයක් !

හෙට (05) පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පත් ජනතාවට ආර්ථික රැකවරණ සපයන යන කරුණු ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ බවත් වාර්තා වෙයි.

ව්‍යවසායකත්වය පුළුල් කිරීම !

එසේම මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළුත් කර තිබේ.

රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 යි : රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 යි !

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි.) 4.5%ක් පමණ වේ.

අයවැය පරතරය 2020 වන විට ද.දේ.නි.යෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන මෙම රජය 2015 වසරේ සිට ම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය පසුරා ගනිමින් පවතී. 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේ දී 5.3% දක්වා අඩු කරන ලදී. 2019 වසරේ දී 4.4% දක්වා තව දුරටත් අඩු කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට ළගා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.

ණය ගැති බව අඩුකරන විධිමත් ප්‍රතිපත්ති !

තව ද දශක පහක පමණ කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ (Primary Balance) ප්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති අතර එය 2019 වසරේ දී තව දුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික ශේෂයේ වැඩි වීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී බැවින් ණය ගැනීමේ සීමාව ද සාපේක්ෂව අඩු වනු ඇත. ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200 ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනි දින සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් මස 05 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනි දා සවස් භාගයේ දී අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.