2015 න් පසුව විල්පත්තු වන විනාශයක් නෑ : ගුවන් හමුදා නිරීක්ෂණ මෙන්න !

2015 න් පසුව විල්පත්තු වන විනාශයක් නෑ : ගුවන් හමුදා නිරීක්ෂණ මෙන්න !

මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුල දැඩි අවධානයක් ගෙන ඇති විල්පත්තු වනය සම්බන්ධ කරුණට අදාල අරක්ෂක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත්කර ඇත.

ගුවන් හමුදාව විසින් සිදුකර ඇති නිරීක්ෂණ පදනම් කරගෙන ඒ නිකුත්කර තිබෙන අතර එය පහත දැක්වෙයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් ජනාවාස පිහිටි ප්‍රදේශයේ වන ගහනය සම්බන්ධව නවතම වාර්තාව
හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.

මේ අනුව 2015 සිට අදාල ජනාවාසයේ ව්‍යාප්තිය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. 2015 දෙසැම්බර් මස 22වන දින සිට විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් 178ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියුම්ව සතිපතා කරන ලද නිරීක්ෂණ වලදී අදාල ජනාවාසයේ ව්‍යාප්තියෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ජනාවාසය ව්‍යාප්ත වීමක් හෝ වගා කටයුතු සඳහා විල්පත්තු වනෝද්‍යානය හෙළි කිරීමක් සිදු කරනවා ද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලදි.

2015 වර්ෂයේදී මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේදී සියුම්ව හඳුනාගත් වන විනාශයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාල බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් නැවත වන වගාව ස්ථාපිත කිරීමටත් අදාල බලධාරීන් කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම පියාසර මෙහෙයුමකදීම මිනිස් ක්‍රියාකාරකම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් වගකිවයුතු නිලධාරීන් හට ක්ෂණිකව දැනුවත් කිරීම් සිදු කරන ලදි.

කැලෑ ගිනි තැබීම් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයුරු ද නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත්ව නොතිබුණු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චිකඩ්ඩි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ''3 අ ''වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 24 වැනිදා අත්සන් තබා තිබිණි.

දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් ලබාගත් ඡායාරූප සැලකිල්ලට ගැනීමේදී තහවුරු වන්නේ 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැත. අවසාන වරට ගුවන් නිරීක්ෂණ චාරිකාව සිදු කරන්නේ 2019 මාර්තු 22 දිනයි.

vilpatthu 650

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න