උතුරේ කොළ කොඩි නැංවීම : එජාපෙ අපේක්ෂාවයි - ඇමති රවී

උතුරේ කොළ කොඩි නැංවීම : එජාපෙ අපේක්ෂාවයි - ඇමති රවී

2015 ජනවාරි මාසේ 08 දා වෙද්දි මේ ජනතාව බයෙන් ජීවත් වුණා. අද බයක් නැහැ. නමුත් ජනතාව සම්පූර්ණයෙන්ම සතුටෙනුත් නැහැ. අපි ඒ තත්ත්වය වෙනස් කරලා ජනතාව සතුටෙන් තියන්න වැඩ කරනවා. එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපිට මේ පළාතෙ ජනතාවගෙන් ලැබුන සේවය අමතක කරන්න බැහැ. ඒ තත්ත්වය තවත් වර්ධනය කරලා, කොලපාට කොඩිය යාපනයේ එසවෙන්නම ඕන" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක, රවී කරුණානායක පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති සංචාරකදී, යාපනය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,

"යාපනය කියන්නේ අපිට අළුත් තැනක් නෙමෙයි. අපේ පක්ෂය කියන්නේ, සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියළුම ජාතීන් එකට ජීවත්වන එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රශ්න තිබෙන කාලවලදි අපිත් සමග සිටියා වගේම, අද සාමය තිබෙන අවස්ථාවේදි මේ යාපනයේ ජනතාව මේ ආකාරයෙන් අප සමග සිටීම අපට සතුටට කරුණක්. එක්දහස් නවසිය අසූ ගනන්වල අපි මේ ප්‍රදේශයට පැමිණිලා එදා නායකත්වය දුන්න මහේෂ්වරන් මැතිතුමා සමග දේශපාලන කටයුතු කළා. අද එතුමාගේ බිරිද විජයකලා මහේෂ්වරන් මැතිනිය එක්සත් ජාතික පක්ෂය තුළින් මේ ජනතාවට විශිෂ්ට සේවයක් සැපයීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා.

අද මේ ප්‍රදේශයේ සාමයත් සමග තිබෙන විශ්වාසය, බලාපොරොත්තුව පිළිබදව අපි දන්නවා. අපට තිබෙන්නේ එම විශ්වාසය තවදුරටත් සුරකින්නයි. අපි බලයට පත්වෙලා කෙටි කාලයයි. සෑම ප්‍රශ්නයක්ම එකපාරට විසදන්න බැහැ. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න අපි අනිවාර්යයෙන්ම විසදනවා. මේ ප්‍රදේශයට, ජනතාවට උදව් කරන්න අපි අමාත්‍යාංශ ගණනාවකට කොටස් වශයෙන් බාරදීලා තිබෙනවා. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි, රැකියා වලට යම් යම් ආකාරයෙන් සුදුසුකම් අවශ්‍යවීම.

ඔබේ වැදගත් සේවය සහ විශ්වසය නිසා අපි 2015 ජනවාරි 08 දා බලයට පත් වුණා. නමුත් අපට තිබුණේ තනි පාලනයක් නෙමෙයි, පවුල් පාලනයක්. ඒක තුළ තිබුණ හදන්න අවශ්‍ය අමාත්‍යාංශ අපට ලැබුණා. රැකියා දෙන්න පුළුවන් අමාත්‍යාංශ අනිත් පක්ෂයට ගියා. විදුලිබල මණ්ඩලයේ රැකියා තිබුණා. නමුත් ඒ අවස්ථාවන් ලැබිලා තිබෙන්නේ මේ ප්‍රදේශ වල දමිල ජනතාවට නෙමෙයි. දැන් මේ ප්‍රදේශයේ ජනතාවට රැකියා දෙන්නත් ඕන. කලින් දුන්න අයව එළියට දාන්නත් බැහැ. විජයකලා මහේෂ්වරන් මහත්මිය නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේදී ඔබ වෙනුවෙන් හඩ නගනවා. අපි කොහොමහරි ඔබ වෙනුවෙන් යුතුකම් ඉටුකරනවා.

අපි දැන් කතා කරන්නේ නැතිව, ජනතාවට උදව් කරන්න කැපවෙලා වැඩ කරනවා. ඒක තමයි අවශ්‍ය වන්නේ. ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ අපි ගැන විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න. සෑම දෙනාටම එකවර උදව් කරන්න බැහැ. ප්‍රමුඛත්වය අනුව යම් ප්‍රතිශතයක් ලබාදෙන්න මම පොරොන්දු වෙනවා. එ.ජා.ප.යේ මූළික ලක්ෂණය තමයි සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජාතියකටම මේ මගේ රට කියන හැගීම ඇතිව ජිවත්වීමට ඉඩකඩ සැලසීම. ඒ වෙනුවෙන් අපි කැපවෙලා කටයුතු කරනවා" යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න