නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බවට ජනාධිපති සිරිසේන කරන ප්‍රකාශය පිටුපස ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අවධානමක හෙළීමේ අවධානමක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ජනතා ප්‍රසාදය අහිමිවූ සෑම පාලකයකුම අවසානයේ යහපත් පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වැනි උතුම් වචන කිළිටිකර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට උත්සාහ ගනු ලැබූ බවත් ජනාධිපති සිරිසේනගේ මේ ප්‍රකාශයද ඊට නොදෙවෙනි බවත් ඔවුන් පෙන්වා දෙයි.
සිරිසේනත් මහින්ද ගිය පාරේ !

17 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් තරමකට හෝ තහවුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අමුඅමුවේ කෙළෙසා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත් ඒ හරහා තහවුරු කරගනු ලැබූ අත්තනෝමතික ඒකාධිපති පාලනයක් වෙනුවෙන් වූ විධායක බලතල යළිත් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් හරහා තහවුරු කර ගන්නට අවස්ථාව ලැබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා බවත් ඔවුන් සිහිපත් කරයි.
ඒ අනුව විධායක ජනාධිපති සතුවූ අත්තනෝමතික බලය සැළකිය යුතු මට්ටමකට පාලනය කෙරුණු නමුත් එය මේ මොහොතේ ජනාධිපති සිරිසේනට දරාගත නොහැකිවී ඇත්තේ සිය අත්තනෝමතික හැසිරීමට එයම බාධාවක්ව තිබෙන නිසා බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.
සිරිසේනගේ අත්තනෝමතික හැසිරීමට 19 බාධාවක් !
මේ වන විට අවස්ථා ගණනකදී ජනාධිපති සිරිසේන ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති අතර එය පසුගිය ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද තහවුරු වූ බවත් විචාරකයන් පෙන්වා දෙයි. කෙසේ වුවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තවදුරටත් ජනාධිපති සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඇතැම් තීන්දු තීරණ ගන්නේ සිය දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවය.
එජාප ආණ්ඩුවේ සාර්ථක උපක්‍රමය !

ඒ අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ජනාධිපති සිරිසේනට එරෙහිව කටයුතු කිරීම වෙනුවට වැඩි වැඩියෙන් සංවර්ධන ව්‍යාපෘති සිදුකරමින් ජනතාව අතරට යන උපක්‍රමයක් අනුගමනය කරන බවක් පෙන්නුම් කරන අතර එය දේශපාලන වශයෙන් සාර්ථක උපක්‍රමයක් බවට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පෙන්නුම් කරන හැසිරීම අනුව ඔවුන් ජනාධිපති සිරිසේනව හෝ ඔහුගේ කියුම් කෙරුම් නොතකන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඒ ඉවසා ගැනීමට තරම් දේශපාලන පරිණත භාවයක් නොමැති ජනාධිපතිවරයා උදේ හවස විවිධ ප්‍රකාශ නිකුත් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ ගැටුමක් ඇතිකර ගෙන ජාතික මට්ටමේ වියවුලක් ඇති කිරීමේ උපක්‍රමයක් දියත්කර ඇත.
එහෙත් ඒ ගැන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව කිසිසේත් නොතකන හෝ ඒ කිසිවක් බරපතළ ලෙස නොගන්නා බැවින් ජනාධිපති සිරිසේන අර්බුදයකට ගොස් තිබේ. එය මේ වන විට කොතරම් බරපතළද කියනවා නම් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන ලබාදුන් ප්‍රජාතන්තවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ පොරොන්දු ජනාධිපතිවීමෙන් පසුව ඔහුගේම මැදිහත්වීම මත තහවුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ආපසු හැරවීමට සිරිසේන ජනාධිපතිම යෝජනා කරන තැනට ඔහු පත්ව ඇත.
18 සහ 19 ව්‍යවස්ථා සංශෝධන යළි සංශෝධනය වියයුතු බවට ජනාධිපති සිරිසේන කරන ප්‍රකාශයම ඊට සාක්ෂි දරයි.
හැට දෙලක්ෂයේ ජනවරම !
19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව ගනුලැබූ අත්තනෝමතික තීරණයක් නොව යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ දේශපාලන පොරොන්දුවකි. ඒ පොරොන්දුව යහපාලන පාර්ශවය 2015 ජනාධිපතිවරණ වේදිකාවේ පෙරමුණට ගත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒකාධිපති බලයක් අත්පත් කරගෙන ප්‍රජාතන්තවාදයට අන්තිම ඇණයත් ගැසූ මහින්ද රාජපක්ෂ රෙජීම පාලනයට එරෙහිවය.
ඒ අනුව එදා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 18 ඉවත්කර 19 අනුමත කළ බවට එදා ලක්ෂ 62ක ජන්දය තහවුරු කරයි. යහපාලන ආණ්ඩුව බලය ලබාගත් විගස පාර්ලිමේන්තුව තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නට සිදුවූයේද ඒ අනුවය. ඊට අවශ්‍ය 2/3 ක ජන වරම ගන්නට මැදිහත්වූයේද ජනාධිපති සිරිසේනය. එහිදී එදා පාර්ලිමේන්තුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ඓතිහාසික අවශ්‍යතාව සහ වැදගත්කම ජනාධිපති සිරිසේන කීවේ මේ ආකාරයටය.
19 සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික ජයග්‍රහණයක් - සිරිසේන
"මේ ඓතිහාසික අවස්ථාව රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, යහපාලනය සඳහා මේ රටේ අද ජීවත්වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන් සඳහා අපි මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ"
" ඒ නිසා මේ ඓතිහාසික අවස්ථාවේ ඒ ඓතිහාසික ගෞරවය මේ ගරු සභාවේ නියෝජනය කරන 225 දෙනාටම ලැබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕන."
" ඒ නිසා මෙතැනදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජාතික පක්ෂයද, එහෙම නැත්නම් අනිත් දේශපාලන මිත්‍රශීලී පක්ෂද මේ ගැන පක්ෂ වශයෙන් වෙන වෙනම හිතන්නේ නැතුව මම ඉතාම සතුටු වෙනවා මේ වන විට යම් එකඟතාවයකට පැමිණ තිබීම"
"මේ වන විට යම් විසඳාගත යුතු කරුණු දෙපාර්ශවයෙන්ම ඉදිරිපත්ව තිබෙනවා. අද විවාදය ආරම්භ වීමෙන් පසුව අද සම්පූර්ණ දවසත්, හෙට දහවල් 12 තුරුත් විවාදය තිබෙනවා , මේ පිළිබඳ තියන ගැටළු සහගත තැන් නිරාකරණය කරගන්න. ඒ නිසා අප විවාදය මේ සිට ආරම්භ කර දෙපාර්ශවයට තියන ගැටළු නිරාකරණය කරගෙන හෙට 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා, ඒ ඓතිහාසික මහා ගෞරවය, මේ ගරු සභාවේ සියලු දේශපාලන පක්ෂ, සියලු මන්ත්‍රීවරුන්ට, ලබාගන්නා ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකා ජනතාවට මේ උතුම් දායාදය , නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්තිවිදීමට ජනතාවට ලබාදීම මහා භාග්‍යයක්, පුන්‍යකර්මයක් , පිංවන්ත දෙයක් බවත් මම විශ්වාස කරනවා."
එසේ කියූ ජනාධිපති සිරිසේන අද එක් වරම ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක් ගැනීම සම්බන්ධව මේ වන විට මැතිවරණ සදහා සම්බන්ධ සංවිධාන වලද විවේචනයට භාජනය වී තිබේ.
පැෆ්රල් සංවිධානයෙන් දැඩි විවේචනයක් !
මේ සම්බන්ධව අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානය සදහන් කරන්නේ පුද්ගලික හේතු කාරණා මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් එය රටට කිසිසේත් උචිත නොවන බවය.
වර්තමානයේ සිදුකළ යුතුව පවතින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර ඊට සංශෝධන එක් කිරීම පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.
යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධන අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළේය.

