මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේය.
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.
මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පෙනී සිටියේය.

