Language Switcher

V2025

ගෝඨාට නඩු නම් සිරිසේනට දෙන්න : මහින්දගෙන් පොරොන්දුවක් !

අගෝස්තු 11 දා පොහොට්ටු පක්ෂයේ සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කළ ද ඔහුට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ යම් නීතිමය බාධාවක් මතුවුවහොත්, ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති සිරිසේන වෙත ලබාදෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොරොන්දුවක් ලබාදී ඇතැයි ඉතා විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තාවේ.

විපක්ෂ නායකවරයා එම පොරොන්දුව ලබාදී ඇත්තේ පසුගිය 05 සඳුදා රාත්‍රී ජනාධිපතිවරයාව හමුවූ අවස්ථාවේදී බව ද ඉහත ආරංචිමාර්ග පවසයි.

මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවැති එම හමුවට ඔවුන් දෙදෙනා පමණක් සහභාගීව තිබේ.

පසුගිය වසරේ (2018) ඔක්තෝබර් 26 වනදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා හැර තමාව අගමැති කරලීම සඳහා ජනාධිපතිවරයා ගත් එඩිතර පියවර රාජපක්ෂවරුන් කිසිදා අමතක නොකරන බව එහිදී සඳහන් කර ඇති විපක්ෂ නායකවරයා, තමා විසින් දුන් පොරොන්දුව කඩ නොකරන බවට ද යලි යළිත් සහතික වී ඇතැයි පැවසේ.

පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වුයේ, ඉදිරි ජනධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ සහය මෛත්‍රීපාල සිරිසේනට ලබාදෙන බවට මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් පොරොන්දුව මතයැයි ඒ දිනවල මාධ්‍යය වාර්තාවල සඳහන් විය.

ගෝඨාභය රාජපක්ෂට යම් නීතිමය බාධාවක් මතුනොවී ඔහු පොහොට්ටුවේ අපේක්ෂයා ලෙස තහවුරු වුවහොත්, මෙම ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර සිටීමේ හැකියාවක් පවතී ද යන කාරණය සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දෙපාර්ශ්වයේ සෙසු නියෝජිතයන් සමග සාකච්ඡා කර අවසන් එකඟතාවයට පැමිණීමට නායකයන් දෙදෙනා එකඟතාවකට පැමිණ ඇති බවත් වාර්තා වේ.

සජිත්ට දෙන්නෙම නැතැයි කියලා !

ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා අතර පැවති එම තීරණාත්මක සාකච්ඡාව පැයකට අධික කාලයක් පවත්වා ඇති බවත්, මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දේශපාලනික තොරතුරු මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරි දේශපාලන ස්ථාවරයන් හා ශ්‍රී ලංනිප මන්ත්‍රී කණ්ඩායමේ දේශපාලන අනාගතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා 'අද' පුවත්පත වාර්තා කරයි.

ඔවුන් දෙදෙනාගේ හමුවේ දී පක්ෂ දෙකට අදාල තොරතුරු හැරුණකොට වෙනත් පක්ෂවල ඕපාදුප සම්බන්ධයෙන් ද කතාබහ කර ඇත. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල පවතින ගැටුම ගැන අදහස් දක්වා ඇති විපක්ෂ නායකවරයා, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට හිමිනොවන බව මෙහිදී අවධාරණය කර ඇතැයි ද පැවසේ.

අගමැතිවරයාට සමීප අමාත්‍යවරයෙකු ඒ බව ගෝඨාභය රාජපක්ෂට සහතික කර ඇති බව මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේනට එහිදී පවසා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර පැවති එම සාකච්ජාවේ දී එළැඹි එකඟතා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළ කරමින් මෙසේ පැවසිය.

"ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් අපි ඉන්නවා. එතනින් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම දිගටම කරන්න හේතුව ඒකයි. කෙසේවෙතත් අවසන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිතුමා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා පිළිබඳ මාධ්‍යයට කියන්න විදිහක් නෑ. ඉදිරියේදී ගන්නා තීරණ අනුව ඒ පිළිබඳව පැහැදිළි වෙයි."

ගෝඨාවාදී හිටපු හමුදා ලොක්කන්ට උසස්වීම් : රහස් කතාවල ප්‍රතිලයක් ද ?

පාස්කු ඉර්දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක නිර්දේශ සම්පාදනය කිරීමට රාජපක්ෂවරුන් සමග එක්වූ හිටපු හමුදා ප්‍රධානීන්

unnamed

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයවූ ප්‍රධානීන් දෙදෙනාට ගෞරවාන්විත ඉහළම නිලයන් සඳහා උසස්වීම් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇති අතර එය විපක්ෂ නායකයා සමග පැවති රහස් සාකච්ජාවේ ප්‍රතිපලයක් විය හැකිබවට සමාජ මාධ්‍ය සැක මතු කරයි.

විශ්‍රාමික ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එසේ උසස්වීම් ලැබූ නිලධාරීන් දෙදෙනාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළම උසස්වීම වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන තනතුරට රොෂාන් ගුණතිලකට උසස් වීමක් ලබාදී තිබෙන අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නාවික හමුදාවේ ඉහළම ධුරය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ධුරයට උසස් කරනු ලැබ තිබේ.

කෙසේවුවද ඔවුන් මෙම තනතුරුවලට උසස්වීම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනාය.

ජනාධිපතිවරයා මෙම ගෞරව තනතුරු ඔවුන්ට ලබා දී තිබුණේ අඟහරුවාදා (අගෝස්තු 06) නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනි.

සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර:

ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා ඉදිරියේදී ගන්නා තීරණ අනුව පැහැදිළි වෙතැයි ශ්‍රීලනිප මහ ලේකම් කල ප්‍රකාශය උපුටා දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය, වසන්ත Manjari Disanayakeකරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකට මෙසේ උසස්වීම් ලබාදුන්නේ එම එකඟතාවයන්ට අනුවදැයි විමසා සිටියි.maniari

එසේම, ජනාධිපතිවරයා හදිසියේ මෙම හිටපු නිලධාරීන්ට මෙවැනි උසස්වීමක් ලබාදීම ගැන සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවී තිබේ. කල්ගත වී හෝ මෙම නිලධාරීන් කළ සේවය ඇගයීම ගැන ඇතැමුන් ජනාධිපතිවරයාට ස්තුතිය පළකරද්දී තවත් සමහරුන් මෙය හඳුන්වාදී තිබුණේ මැතිවරණ සමයක දේශපාලන වාසි සඳහා සිදුකළ කටයුත්තක් හැටියටය.

කෙසේ නමුත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට උසස්වීමක් ලබාදීම දැඩි ලෙස විවේචනය වී තිබුණේ ඔහු මේවන විට 2008 සහ 2009 අවධියේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පවසන සිද්ධියට සම්බන්ධව චෝදනා ලබා සිටීම හේතුවෙනි.

අවස්ථා කිහිපයකදී මෙම සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලද අතර, පසුව ඔහු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය. ඒ ව්‍යාජ තොරතුරු මත තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවට පෙත්සමක් ඉදිරිපත් කරමිනි.

2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.
අතුරුදන් කළ තරුණයින් ...

unnamed 2

අදාළ නඩුව බදාදා (අගෝස්තු 07) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ අධිකරණයට කරුණු දැක්වූ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදිනී අචලා සෙනෙවිරත්න ජනාධිපතිවරයාගේ ක්‍රියාව දැඩි විවේචනයට ලක් කළාය.

"රටක මිලිටරියකට සම්බන්ධ පිරිස් නීති විරෝධීව අහිංසක මිනිස්සු කප්පම් වලට උත්සන් ගිහින් අතුරුදන් කරලා ඒකට වගකිවයුත්තන් විදියට අධිකරණය නම්කරපු සැකකරුවන්ට ඒ ක්‍ෂේත්‍රයන්ගේම ෆීල්ඩ් අදිමිරාල්ල විදියට උසස් විම් දෙන ලෝකේ එකම රට මේ රට ... හරිම සතුටක් දැනෙන්නෙ මේ දෙමාපියන්ට ඔහුන්ට ඉදිරියෙ ලැබෙන යුක්තිය සාධාරණය ගැන හිතද්දි," යනුවෙන් ඇය සඳහන් කළාය.

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නියෝජිත ත්‍යාගි රුවන්පතිරණ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ හා සමාන අදහසක් පළ කර තිබුණි.

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණේ, "මෙයයි මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලනය. පැහැරගැනීමේ සැකකරුවන් උසස්වීම් ලබනවා, මිනීමරුවන් නිදහස් වෙනවා" යනුවෙනි.

thy

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
unnamed 3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී බලයට පත්වූ විගස යුද සමයේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා එවකට ඔහු දැරූ ජෙනරාල් තනතුරේ සිට ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කළේය. එය ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස්ම ධුරය වේ.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)