Language Switcher

V2025

ශ්‍රීලනිප අප්‍රසාදය හමුවේ : සිරිසේනට පොහොට්ටුවෙන් ගෞරවනීය තනතුරක් !

ජනාධිපති සිරිසේනගේ නොහැකියාව සහ අදුරදර්ශී දේශපාලන හැසිරීම හමුවේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු හෝ ඉදිරිපත් කරගැනීමේ අවස්ථාව අහිමිව ඇති බවත් ඒ හේතුවෙන් ඔහුව නායකත්වයෙන් ඉවත්කර පක්ෂය ගොඩගත හැකි නායකත්වයක් ලබාගත යුතු බවට එම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයන් රැසක් අවස්ථා ගණනකදී මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරණයෙන් අනතුරුව ඒ සඳහා සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට ඔවුන් අතර එකඟතාවයක් ඇතිව තිබෙන බවත් වාර්තා වෙයි.

සිරිසේනට ගෞරවනීය තනතුරක් !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු සිරිසේන ජනාධිපතිට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

මේ අනුව ජනාධිපති සිරිසේන සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වීම නිල වශයෙන් ඇරඹීට සියල්ල තීරණය කර ඇත.

ජනාධිපති සිරිසේන හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමග ඉන්පසුව පැවැති සාකච්ඡාවලදී මෙම තීරණවලට පැමිණ ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

කිසිම එකඟතාවයක් නෑ !

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද අතර පසුගියදා පැවති සාකච්ඡා තුළ කිසිම දේශපාලන එකඟතාවයක් නොමැති බවට ජනාධිපති උපදේශකයකු ලෙස පෙනී සිටින අයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

එම සාකච්ඡාව සාමාන්‍ය දේශපාලන කරුණු පිළිබඳව පමණක් සාකච්චා වූවක් බවත් ඔහු සදහන් කර ඇත.

එහිදී පොදු සන්ධානය හෝ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් වී නැති බවත් එම සාකච්ඡා සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් පල කරන ලද අදහස් බැහැර කරන බවදඔහු පැවසූ බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන්ව ඇත.