Language Switcher

V2025

තනියම බය නම් පවුල පිටින්ම විවාදයට එන්න : සජිත් ගෝඨාට යළිත් අභියෝග කරයි !

ගෝඨාභය රාජපක්ෂ මහතාට  තමන් සමග තනිව විවාදයකට පැමිණිය නොහැකි නම් තම අයියා (මහින්ද රාජපක්ෂ)  සමග හෝ මුළු පවුලම එක්ව තමන් සමග විවාදයකට එන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස  සඳහන් කළේය.

ඇඹිලිපිටිය නගරයේ පැවැති ජනාධිපති ප්‍රචාරණ රැලියකට ඊයේ (26) එක් වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  වැඩිදුරටත් මෙසේද කීය.

“මෙතෙක් කල් පැවැති හැම ආණ්ඩුවකම අනවශ්‍ය වියදම් තියෙනවා. දුෂණය වංචාව හොරකම ඉහවහා ගිහිල්ලා තියෙනවා. සමහරු ජනාධිපති තනතුරට තරග වදින්නේ ඔවුන් ගත කළ සුරසැප විදින යුගය නැවත ඇති කර ගන්නයි. රටේ ජනාධිපතිධූරය කියන්නේ සුර සැප විදින ධූරයක් නොවෙයි, දුෂ්කරක්‍රියා කරන ධූරයක්. ඒ නිසා මගේ ප්‍රතිවාදින්ට දුක් විදලා පුරුද්දක් නැහැ. ඒ අයට දුෂ්කරක්‍රියා කරලා පුරුද්දක් නැහැ. ඒ අයට දිවා රෑ වැඩ කරලා පුරුද්දක් නැහැ.

මම දිවා රෑ නොබලා වැඩකරනවා කිවුවහම එයාලා එය විකෘති කරලා, මඩ වාහිනි කිහිපයක් හරහා මම කියපු දේ කනපිට හරවන්න යනවා. මම මොනවා කරන්නද මගේ ප්‍රතිවාදියාට දිවා රෑ නොබලා වැඩ කරන්න බැරිවෙච්ච එක ගැන. මට වයස අවුරුදු 52 ක් නිසා මට හොදට වැඩ කරන්න පුළුවන්. මට හියිය දක්ෂතාවය කඩිසරභාවය කැපවීම තියෙනවා. මට නිදිවරාගෙන වැඩ කරන්න පුළුවන්.

මම උදේ පාන්දර 4.00 නැගිට්ටාම රෑ 12 වෙනකම් වැඩකරන්න පුළුවන්. මගේ ඒ හැකියාව විකෘති කරලා මඩ වාහිනි හරහා ප්‍රචාරය කරනවා. මඩ වාහිනි මොනවා කිව්වත් මේ රටේ ජනතාව රණසිංහ ප්‍රේමදාසගේ පුතාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවනවා. මම මඩ වාහිනිවලට කියනවා මට කොපමණ මඩ ගැහුවත් ඒවාට ඔරොත්තු දෙන හැකියාව තියෙනවා. මට කොපමණ මඩ ගැහුවත් මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාසගේ සංවර්ධන විප්ලවයට ඉහළින්ම ශක්තිය දෙනවා.

මගේ ප්‍රතිවාදියා වැඩිය මාධ්‍ය ඉදිරියට එන්නේ නැහැ. මොකද මාධ්‍ය ප්‍රශ්න ඇහුවාම වැඩේ ඇනෙනවා. මම මාධ්‍යයට හති වැටෙනකම් ප්‍රශ්න අහන්න ඉඩ දෙනවා. මට උත්තර දෙන්න පවුලේ කව්රුත් අවශ්‍ය නැහැ මම තනියම උත්තර දෙනවා. මොකද මට හොඳ කොඳු නාරටියක් තියෙනවා.

මම මගේ ප්‍රතිවාදියට කියන්න කැමතියි ඔබතුමා අකමැති මාධ්‍ය එක්ක කතා කරන්නනේ. එහෙම නම් එන්නකෝ මේ සජිත් ප්‍රේමදාස එක්ක විවාදයකට. ස්වාධින අපක්ෂපාති විවාදයකට එන්නකෝ. මම කිහිප විටක් කිවා බොහෝම ස්වාධින තැනක මේ විවාදය තියමු කියලා. පැෆරල් සංවිධානය පවත්වපු විවාදයට ඔක්කෝම ආවා මෙයා ආවේ නැහැ. හිස් පුටුවක් තිබුණේ. දැන් තනියම මාත් එක්ක විවාදයට එන්න බයයිනේ. කිසි ප්‍රශ්නයක් නැහැ අයියව අඩගහගෙන එන්න. මම තනියම මුහුණ දෙන්නම්. අයියාගේ කිහිලිකරු දෙක මදිනම් හිටපු කතානායක චමල් රාජපක්ෂව අඩගහ ගෙන එන්න. නැතිනම් බැසිල් මහත්ත්යා අරගෙන එන්න. ඒත් මදිනම් නාමල් රාජපක්ෂ සහෝදරයව එකතු කරගෙන එන්න. ඒ ඔක්කොම මදිනම් එතුමාගේ මුළු පවුල් ගහම අරගෙන එන්න සජිත් ප්‍රේමදාස කේසර සිංහයෙක් ලෙස තනිව මුහුණ දෙන්න ලැහැස්තියි.

මම මොනවාහරි කියපු ගමන් මඩ ගහනවා. මම කියනවා මඩින් එන්න එපා ගොඩින් එන්න. සජිත් ප්‍රේමදාස එක්ක වාදයකට එන්න බය ඇයි. සිංහලෙන් විවාද කරන්න බැරිනම් ඉංග්‍රිසියෙන් විවාද කරමු. මම ඒකටත් ලැහැස්තියි. ඒ නිසා තව තව කිහිලි කරු හැරමිටි තියෙනවා නම් ඒවත් අරගෙන එන්න. ඕන නම් පිටිපස්සෙන් වාඩි කරන හොරු හතලිහත් අරගෙන එන්න. ඒ අය එක්ක වුනත් තනිවම මුහුණ දෙන්න සජිත් ප්‍රේමදාස ලැහැස්තියි. මේ ප්‍රජාතන්ත්‍රවාදි අභියෝගය අරගෙන රටට පෙන්වන්න කොන්දක් තිබෙනවාද නැතිද කියලා.”