මිනීමරු 'සුදු වෑන්' මෙහෙයුම් කාගේ වැඩක්ද ?- හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි (VIDEO)

මිනීමරු 'සුදු වෑන්' මෙහෙයුම් කාගේ වැඩක්ද ?- හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි (VIDEO)

රාජපක්ෂ පාලන සමයේදී දකුණේ තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ හෝ මරාදැමුනු මිනීමරු 'සුදු වැන්' සංස්කෘතිය බිහිකොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ වගකිවයුතු බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ජනප්‍රිය SL VLOG සමාජ මාධ්‍යය සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී ඔහු එබව අවධාරණය කර තිබේ.

''සුදු වෑන් සංස්කෘතියක් තිබුණා කියලා අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඔබතුමා පිළිගන්නවද  රාජපක්ෂ පාලන සමයේ  කාලේ මේවා වුණා කියලා.'' යයි SL VLOG ප්‍රධානි දර්ශන හඳුන්ගොඩ කළ විමසීමේදී 'ජාතික ජනතා ව්‍යාපාරයේ' ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මෙසේ පැවසිය.

''පැහැදිළිවම පිළිගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ කවුද කරේ, කාගේ උවමනාවටද කරේ කියන එකයි. අහිංසක සෙබළුන් කිහිප දෙනෙකුත් මේ සඳහා ඈඳිලා තියෙනවා. ඒකට වගකියන්න ඕනේ සෙබළා නෙවෙයි, කරවපු මිනිහා.''

 මෙම සම්මුඛ සාකච්ජාවේ දී පළවූ අදහස් කිහිපයක් පහත පළවේ.

 ''ගෝඨාබයට එදා වගේ දැන් දඟලන්න බෑ" - ජෙනරාල් මහේෂ්

 SL VLOG :
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක්. ගෝඨාභය සම්බන්ධයෙන් ඔබතුමා‌ගේ කියවිම කුමක්ද?

මහේෂ් :
යුද හමුදාවෙදි මම ඔහු සමග කටයුතු කරලා තියෙනවා කෙටි කාලයක්. ඔහු කෙරෙහි මගේ තියෙන්නේ ගරුත්වයක්. ඒ ගරුත්වය තිබෙන්නේ හමුදා නිලධාරියෙක්ගෙන් නිලධාරියෙක්ට තිබෙන ගරුත්වයක් හැටියට පමණයි. ඊට එහා මේ දේශපාලන භූමිකාවේදී මම කිසිසේත්ම ඔහුට ගරු කරන්නේ නැහැ. මොකද ඔහු වටා ඉන්නේ නැවත එම හොරු රැලමයි.

SL VLOG :
2019 මැයි මාසේ 16 වැනිදා හැන්දෑවේ හතරෙන් පස්සේ යම්කිසි ආකාරයෙන් ගෝඨාභය මේ රටේ ජනාධිපති වුණොත් ඔබතුමා නැවත ඩුබායි යනවද නැද්ද?

මහේෂ් :
මම ලංකාවෙමයි ඉන්නනේ. එදා කරපුවා ඒගොල්ලන්ට දැන් කරන්න හම්බවෙන්නේ නැහැ. එහෙම කරන්න එතුමා මෝඩයෙක් කියලා මම හිතන්නේ නැහැ. එදා හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. අනික මේ අවුරුදු පහ තුලදී අපිට අවස්ථාවක්  ලැබිලා තියෙනවා. මානව හිමිකම් මේ රටේ තියෙනවා. මේ රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ ඒක තිබුණේ ඔවුන් අතේ. ඒකයි ප්‍රශ්නය වුණේ.

SL VLOG :
 ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්න කාලේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේද ඔය ස්වාධීන අධිකරණයක්, පොලිසියක්, ඒවා කිසිම දෙයක් තිබුණේ නැහැ, ඒවා විනාශ කරාද?

මහේෂ් :

ඔව් විනාශ කරා කියලා මම කියන්නේ. එහෙම නැත්නම් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලුවා කියලා එතුමාට එහෙම කරන්න ඕනේ නැහැ. ලංකාවේ මිනිස්සු හරිම බයකින් ජීවත් වුණේ ඒ කාලේ. සුදුවෑන්වලින් පැහැරගත්ත ඒවා, මාධ්‍යවේදීන් පාරේ මරලා දාපු ඒවා, ගහන ඒවා, ඒවා සිදුවුණේ ඒ කාලේනේ.

 SL VLOG:
යුද හමුදාපති හැටියට වගකිව යුතු ධූරයක් හොබවලා ඔබතුමා විශ්‍රාම ගත්තේ, ඔබතුමා පිළිගන්නවද පැහැදිළිවම, ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වුණා තිස් හයක් විතර, මට මතක හැටියට, ඝාතනයට ලක්වුණා . පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්ලා වගේ ගත්තම නාමාවලියක් තියෙනවා. සුදු වෑන් සංස්කෘතියක් තිබුණා කියලා අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඔබතුමා පිළිගන්නවද  ඒ කාලේ මේවා වුණා කියලා.

මහේෂ් :
පැහැදිළිවම පිළිගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ කවුද කරේ, කාගේ උවමනාවටද කරේ කියන එකයි. අහිංසක සෙබළුන් කිහිප දෙනෙකුත් මේ සඳහා ඈඳිලා තියෙනවා. ඒකට වගකියන්න ඕනේ සෙබළා නෙවෙයි, කරවපු මිනිහා.

 SL VLOG:
ඒ කියන්නේ එතුමා සම්බන්ධයි ඒවට?

මහේෂ් :
සම්බන්ධ වෙන්නට ඕනේ,  නැත්නම් අපේ සොල්දාදුවන්ට කිසිම සම්බන්ධයක් නැහැ මේ අහිංසක මාධ්‍යවේදීන් එක්ක. ඔවුන් මාධ්‍යවේදීන් අඳුරන්නෙත් නැහැ. ඇත්තවශයෙන්ම කියනවා නම් එක්නැලිගොඩ කියන මහත්මයාව අපි කවුරුත් දන්නෙත් නැහැ. මගේ සොල්දාදුවෙක් ඒක කරලා තියෙනවා නම්, ඔහු දන්නෙත් නැහැ ඔහුව.  නමුත් එම තොරතුරු සහ එම අණය ලැබෙන්නේ ඔවුන්ට ඒ අයගෙන්.

යුද්ධයෙන් පස්සෙත් ලංකාවේ මිනිස්සු ජීවත් වුණේ අස්ථාන බියකින්. සුදුවෑන්වලින් පැහැරගත්ත ඒවා, මාධ්‍යවේදීන් පාරේ මරලා දාපු ඒවා, ගහන ඒවා, ඒවා සිදුවුණේ ඒ කාලේනේ. පැහැදිළිවම මම හිටපු හමුදාපති වශයෙන් පිලිගන්නවා මේ දෙවල් වෙලා තියෙනවා කියලා. කවුද කරේ කාගේ උවමනාවටද කරේ කියන එකයි ප්‍රශ්නය තියෙන්නේ. ''

සම්පුර්ණ සංවාදය මෙතනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න