Language Switcher

V2025

මැලේරියාවට දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය : කොරෝනා ආසාදිතයන්ට !

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් නියම කිරීමත් සමඟ ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමුවී ඇත.ඒ අනුව මෙරට නව කොරෝනා ආසාදිතයන් සඳහා ද මෙම ඖෂධය ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබේ.

මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇති බවත් වාර්තා වෙයි.

රෝගීයකු තරමක් සුව අතට ! 

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදීමද ඉකුත් 20 වැනිදා සිට ආරම්භ කෙරුණු බවත් ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවත්ය.මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප්‍රකාශ කරයි.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව කියා සිටියේය.

හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප්‍රතිඵල ගෙනදිය හැකි බවද ඔහු මෙහිදී සිහිපත් කර සිටියේය. 

එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 

ලක්‍ෂ 25ක ඖෂධ ඔසුසළ සතුයි ! 

කොරෝනා වෛරසය ආසාදිතයන් සුවපත් කිරීම සඳහා දැනට මෙරට සාකච්ඡා මට්ටමේ ඇති ඖෂධය ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු කලහොත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් පරිදි තමන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ මිලියන දෙකහමාරක පමණ ඖෂධ තොගයක් සංස්ථාව සතුව ඇති බවයි.මෙම ඖෂධය ලබාදෙන්නේ නම් ඒ ලබාදෙන්නේ කාටද, කොපමණ ප්‍රමාණයකින් ද යන්න පැහැදිලිව දක්වමින් වෛද්‍ය මණ්ඩලය අනුමැතිය අවශ්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය.