පුවත්

සිමෙන්ති තොග මිල ඉහළට
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි එම මිළ ඉහළ දැමීම සිදු කර ඇති බව වෙයි.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසයි.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි.

මාතර බන්ධනාගාරය කොටවිලට
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද ( 07) පස්වරුවේ එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසදුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා. මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මාතර මහනගර සභාවේ නගරාධිපති ජයන්ත පතිරණ, මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්විය.

මොහු දුටුවොත් දැනුම් දෙන්න......
කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807
ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735
ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

පොසොන් සතිය අදින් ඇරඹෙයි
පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.
ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය පැවසීය.
ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.
රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය සඳහන් කළේය.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට නව මුහුණක්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර වෙත බාර දෙනු ලැබීය.

ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන සහ මුදල් අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා - ජනපති
රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.
කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
මෙවර ජගත් පරිසර දින තේමාව "ප්ලාස්ටික් භාවිතය දුරලමු" වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව "දලුලන්න - ඉඩදෙන්න" යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.
බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදියද මෙහිදී සිදුවිය.
පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , “ක්ලීන් ශ්‍රී ලංකා" ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක් ව මෙවර පරිසර දිනය සමරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
"අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා."

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ, චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්නැයි කළ දැනුම්දීමකට අනූව ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණි තිබේ.

දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් අද (04) විවෘත කෙරිණි.
අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 WhatsApp අංකයෙන්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කළ හැකිය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) උදෑසන සම්ප්‍රාප්ත විය .
මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ( Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග විසින් පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබුණි .
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව , පානදුර , මොරටුව ඔස්සේ , එම ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීම සදහා අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute ) පවත්වා , පිළිගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත , රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද පිළිගනු ලැබීය.
මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර , ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වන අතර , ඉතිරි 13 පටු බද සහිත ( Narrow Body ) ගුවන් යානා වන අතර , තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මෙම යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළේය .
ඒ අනුව ඒ.- 330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class ) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන ( Business Class )18 කින් සමන්විත වේ .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් හැංගරය වෙත පැමිණීමෙන් පසුව , සර්ව ආගමික ආශීර්වාද කිරීම සදහා ආගමික පූජකවරුන් ගුවන් යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කළහ .
මෙම නව ගුවන් යානය පැය 04 කට වඩා කාළය වැය වන ඕස්ට්‍රේලියාව , ලන්ඩන් , පැරිස් , ෆෑන්ක්ෆර්ට් , මැදපෙරදිග චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතය .
මෙම ගුවන් යානය පිළිගැනීමට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සග ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම යන සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .

විදුලි බලයට නව සභාපතිවරයෙක්....
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල පත්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) සමත් වී තිබෙයි.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.
මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය පසුගිය පෙබරවාරි 18වනදා වාර්තා විය.
එදින එම අගය සටහන් වුණේ ඒකක 17,193.80ක් ලෙසයි.

පිය - පුතු ඇප මත මුදා හැරේ
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද(03) නියෝග කළා ය.
ඇප නියම වූයේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 03ක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප 03ක් ලෙසයි.
සැකකරුවන්ට ඇප දෙමින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළා ය.
අධිකරණය නියෝගය කළේ, තුන් වැනි සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක ද රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් හා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙසය.
අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළවයි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පමණක් පුද්ගලයින් 15 දෙනකු සේවයට බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
නඩුව ඔක්තෝබර් 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කෙරිණි.

COVID -19 වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරයි.
ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වේ,
2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලැබීය.
SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයකි. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේද 2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර ඇත.
2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැත.
ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක් විය. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරයි.
ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතී.
පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝග වල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවේ. එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැත.
උණ, සෙම්ප්‍රත්ශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී. නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍යවේ.
කෙසේ වුවද මෙම COVID – 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් වේ.
කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීමහෝ විෂබීජනාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම, අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ.
එමෙන්ම යම් අයෙක් ශ්වසන රෝගයකින්පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනයවීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම වැනි දේ යෝග්‍ය වේ.
රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ, යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමනවා - ජනපති
ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමන බව , ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, කිසිදු ආර්ථික සාධකයක් සඳහා දේශපාලන තීරණ නොගන්නා බවයි.
ජාතික බදු සතියේ සමාරම්භක උත්සවය අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
2024/2025 තක්සේරු වර්ෂ සඳහා වන බදු වාර්ග අන්තර්ජාලය මුදා හැරීම මෙහිදී සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය ඒකාබද්ධව ශ්‍රී ලංකා රේගුව සඳහා හඳුන්වා දෙන ASYHUB එළිදැක්වීමත් මෙහිදී සිදුවිය.
එමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වීමේ කටයුතු වඩා කාර්යක්ෂවම සහ විනිවිදභාවයකින් සිදු කිරිමට අවස්ථාව උදා වෙනු ඇත.
දේශීය නිෂ්පාදනය කරනු ලබන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් බෝතල් සඳහා විශේෂ ආරක්ෂික සලකුණු සහිත ස්ටිකරයක් සහ ඩිජිටල් කේත හඳුන්වාදීමත් සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

අනුදි යළි දිවයිනට
ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියේය.
එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි.
එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විමත් සමග ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.
72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් විය.
ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.
කෙසේ වුවද 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ලොව පුරා මහත් බලාපොරොත්තු තැබූ ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාටද සිය කිරුළේ බලාපොරොත්තුව අහිමි විය.

‘බන්දුල පෙතියා’ වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් කරයි
991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික ( Point Endamic) මත්ස්‍යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද(02) කෑගල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ දී පැවැත්විය.
මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.
වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත, මෙම මත්ස්‍යයා ඇල්ලීම, තුවාල සිදුකිරීම , සන්තකයෙහි තබා ගැනීම හෝ විකිණීම , ප්‍රවාහනය , ප්‍රදර්ශනය කිරීම හෝ වාසස්ථානවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු විය.
පසුගිය 22වන දින නික්කඳුපොල දොළ පහර පිහිටි ප්‍රදේශයට ආසන්න පාසල් 03ක් සම්බන්ධ කරගෙන “බන්දුල පෙතියා” සුරකිමු තේමාව යටතේ පැවැත්වූ චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම නියෝජ්‍ය අමාත්‍යවරයා , වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් විසින් සිදු කළේය.
Page 8 of 476