පුවත්

නඩු දාන්නේ පළිබෝධ නාශක 9කට පමණයි : මේක හොර කාබනික වගාවක් !
ලංකාවේ කරන්නේ ඩොලර් වෙනුවට රත්තරං වලින් ගෙවලා, හොරට ගෙන්නලා, හොරට බෙදන, හොරට විකුණන, හොර කාබනික වගාවක්‘ බවට හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ,දිවයින පුරා හොරට විකුණන පළිබෝධක නාශක 30 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් 9 ක් පමණක් අල්ලා නඩු පැවරීමට ක්‍රියාකාර න ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නියෝග කර ඇති බවය.
දිගු කලක් ඇස් කන් වසාගෙන සිටි රජය 2021 සැප්. 23 තමන් විසින් සිදු කළ හෙළිදරව් කිරීමෙන් පසුව සැප්. 24 මෙම නියෝගය කර ඇති බවත් පළිබෝධනාශක පනත යටතේ නීති විරෝධී කෘෂි රසායන අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ඇරඹීම සතුටට කරුණක් නමුත් නීති විරෝධී පළිබෝධකනාශක 9 ක් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් උග්‍ර විශ සහිත රසායන නිදහසේ විකීණිම සඳහා ආණ්ඩුව පරිසරය නිර්මාණ්‍ය කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
කලකට පෙර ලංකාවේ තහනම් කළ අධි විෂ සහිත මොනක්‍රොටපස්, මැලතියන් හා කාබෝෆියුරාන් පවා අසිමිත ලෙස රටට ගෙන්වීම මේ වන විට සිදුවේ. ඒවා විවිධ නම්වලින් ඇසුරුම් කර මේ වන විට අලෙවි කෙරේ. රටට-ලෝකයට කාබනික කෘෂිකර්මාන්තය පෙන්වමින් බෝට්ටු කෘෂි රසායන මගින් මහ කන්නයේ වගාව සිදු කිරීම රජයේ සැලසුම වී ඇත.
රජයේ නිල ඩොලර් ගිණුමට බරක් නැති, රත්තරං වෙනුවට කෘෂි රසායන හොරෙන් ගෙන්වන ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ආශිර්වාදයක් ලෙස සලකමින් කෘෂිකර්ම ලේකම් උදය ජයසිංහ, මහාචාර්ය ප්‍රියන්ත යාපා, තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ ඇතුළු පිරිස කටයුතු කරති.
රේගුවට හොරෙන් බෝට්ටුවෙන් ගෙන්වා, හොරට රට පුරා බෙදා, හොරට අලෙවි කරන කෘෂි රසායන යොදා ගනිමින් නමට පමණක් කාබනික ගොවිතැනක් දැන් රටේ නිර්මාණය වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමන-තකතීරු ප්‍රතිපත්තිය මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කළු කඩය මත යැපෙන තැනකට තල්ලු කර ඇත. මේ කළු කඩ ප්‍රතිප්තිය රු. 6000 ට තිබූ කෘෂි රසායන දැන් රු. 12,000 දක්වා මිල ඉහල නැංවීමට හේතු වී ඇත.
පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් ට නියෝග කර ඇත්තේ කෘෂි රසායන 9 ක් පමණක් සොයා මෙහෙයුම් කර නඩු පවරණ ලෙසය. (එම නිවේදනය මේ සමඟ අමුණා ඇත) එමගින්, අනෙකුත් සියලු නීති විරෝධී කෘෂි රසායන අලෙවියට විවෘත නිල නොවන බලපත්‍රයක් ලැබී ඇත.
වහා ක්‍රියාත්මක වන පරිදි මෙරට අලෙවි වන සියළුම නීති විරෝධී කෘෂි රසායන අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කරන ලෙසත්, ජාවාරම්කරුවන්ට නඩු පවරණ ලෙසත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.
(අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති ලියාපදිංචි නොකළ හා තහනම් කෘෂි රසායන වර්ග ඡායාරූපවල දැක්වේ.)
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

කොරෝනා මරණ 12680 ක් දක්වා ඉහළට !
තවත් කොරෝනා මරණ 71ක් ඊයේ දිනට (25) අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (26) නිකුත්කර ඇත.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12680ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 39 ක් කාන්තාවන් වන අතර ඉතිරි 32 පිරිමි ය.
වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද ජීවිතක්ෂයට පත්වූවන් අතර සිටින අතර , අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ගණන 14 කි.
ඉතිරි ආසාදිතයින් 56 ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

මෙරට පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය AY.28 ලෙස නම් කෙරේ
මෙරට තුළ පැතිර යන ඩෙල්ටා අනුප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනෙයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ටිව්ටර් පණිඩියක් නිකුත් කරමින් ඒ පිළිබද කියා සිටී.
මේ අනුව එම අනු ප්‍රභේදය හඳුන්වා ඇති නිල නාමය AY28 බවද හෙතෙම සඳහන් කළේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරසයේ මෙම අණු ප්‍රභේදය මුලින්ම හඳුනා ගනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි.
එසේම මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිය හැඳින්වෙන්නේ 701එස් ලෙස යැයිද වෛද්‍ය ජීවන්දර ප්‍රකාශ කළේය.
මෙම අනු ප්‍රභේදය සහිත සාම්පල 382ක් ලෝකයේ විවිධ රටවලින් හමුවී ඇතත් ඉන් 228ක්ම ශ්‍රී ලංකාවෙන් හමුවීම විශේෂත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලට අනුව මේ රටේ පැතිර යන වයිරසවලින් 95 වැඩි ප්‍රමාණයක් ඩෙල්ටාය.

යුරෝපා කොමිසමේ නියෝජිතයන් 27 එයි : GSP + සඳහා විශේෂයි !
GSP + බදු සහනය ලබා දීමට අදාල ජාත්‍යන්තර සම්මුතීන්ට යටත්ව ශ‍්‍රී ලංකාව කටයුතු කරමින් සිටින්නේ ද යන්න විමර්ෂණය කිරීම සදහා යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් හෙට (27) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ජී.එස්.පී බදු සහන ලබන රටවල් නිරීක්ෂණය කිරීම සදහා සෑම දෙවසරකටම වරක් සිදුවන්නක් වන අතර එය සාමාන්‍යයෙන් සිදුකරන කටයුත්තකි.
නමුත් මෙවර යුරෝපා සංගම් නියෝජිතයන් මෙරට සංචරය කරන්නේ යුරෝපා පාර්ලිමේන්තුව විසින්, මෙරටට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසුව පළමු වතාවටය.
2021 මාර්තුමාසයේ දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් සංවිධාන 11 ක් තහනම් කිරීම සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක් රදවා තබා ගැනීම යුරෝපා සංගමයේ අවධානයට ලක්ව තිබුණි.

බැසිල් සමග ශ්‍රීලනිප මන්ත්‍රී සාකච්ඡාව අවලංගුයිලු !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් ජාතික සංවිධාන එකමුතුව ඇතුළු පාර්ශ්ව වෙත සහය දක්වන ලීඩ් නිව්ස් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ (25) පස්වරුවේ ය.
නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
යුගදනවි බලාගාර ඇමරිකාවට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.
යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් මෑතකදී දන්වනු ලැබීය.

රාජ්‍ය ඇමතිගේ යට ඇඳුම් හැර අනෙක් සියල්ල ජනතා මුදලින් !
පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී.බී හේරත් මහජන මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා ලක්ෂ ගණනක ගෘහ භාණ්ඩ සහ උපකරන රැසක් ලබාගෙන ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හෙළිකරයි.
මෙම කරුණු හෙළිකරනු ලැබූවේ අද (26) පෙරවරුවේ ලිඛිත සාක්ෂි සහිතව මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී මිලදී ගෙන නොමැත්තේ ඇමැතිගේ යට ඇදුම පමණක් බවද ඔහු පැවසීය.
මෙම තත්ත්වය අනාවරණය වීමත් සමග අදාළ ගනුදෙනුව නීත්‍යානුකූල කර ගැනීම සදහා කටයුතු සිදුවෙමින් පවතින බවද නාමල් කරුණාරත්න කීය.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඩී.බී හේරත් ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ධම්මික රත්නායක විසින් ගෘහ උපකරණ සහ භාණ්ඩ 48ක ලේඛනයක් ඉදිරිපත් කර ඇත.
එයින් කොටසක් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසට ලබාගෙන ඇත. කොළඹ 07 පිහිටි එම නිල නිවස අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 50ක් වැය කර ඇති බවද එම මාධ්‍ය හමුවේදී හෙළි කරනු ලැබීය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සන්ජීව කරුණාසාගර, වාරියපොල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුජීව දිසානායක යන අයද එක්වී සිටියහ.

රාත්‍රී ඇඳිරි නීතිය දිගටම !
ඔක්තොම්බර් 01 වනදා සිට දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමත් කළ ද රාත්‍රී කාලයේ නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි පවසන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා එම ඇඳිරි නීතිය පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසූ බවය.
එමෙන්ම එදින සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිතව ඇති බවත් සමූහ වශයෙන් ජනතාව එක්රැස් වීම දැඩි සීමා සීමා කරමින් මෙම මාර්ගඋපදේශ මාලාව නිකුත් කරනු ඇති බවත් අදාළ පුවතේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මන්ත්‍රී චන්දිමටත් කොරෝනා
තමාට කොවිඩ් -19 වයිරසය ආසාදනයවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ(25) රාත්‍රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද ඔහු පැවසීය.
දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ ගැටළුව දේශපාලන පක්ෂ ගැටුමකට යට කරන්න දෙන්න බෑ !
ඖෂධ නියාමන අධිකාරියේ ගැටළුව දේශපාලන පක්ෂ ගැටලුවක් හෝ ගැටුමක් නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම හොරකමක ඇතර මැද අවස්ථාවක් බවත් එය පක්ෂ දේශපාලන ප්‍රශ්නයකට මැදි කර යට ගැසීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මේ බව සඳහන් කළ අතර තමන්ට ඇත්තේ වැඩියෙන් හොරකම් කලේ කොයි ඇමතිද කියන ප්‍රශ්නය නොවන බවත් හොරකම් නවත්වන්න හදපු නියාමන අධිකාරිය හොරකම් වලට චෝදනා ලැබීම බවත් පැවසීය.
ඔහු එය උපමා කර සිටියේ පොලිසිය හොරකම් කරන තත්ත්වයකටය.
"ඒක හරියට පොලිසිය රෑට රෑට ගෙවල් වලට පනිනවා වගේ එකක්. පොලිසිය පාරේ යන අයගේ මාල කාඩාගෙන දුවනවා වගේ වැඩක්
එන්නතෙහි අවශ්‍යතාවයට මුවා වෙලා අධික මුදලකට මිලදී ගැනීමේ මාෆියාවක් තිබෙනවා." යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

තවත් කොරෝනා මරණ 79 ක් !
තවත් කොරෝනා මරණ 79ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (24) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (25) නිකුත්කර ඇත.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12609 දක්වා ඉහල ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 41 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 38 දෙනා කාන්තාවන් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 22 දෙනෙකු සිටින අතර ඉතිරි 57 ම, වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

රට එකවර විවෘත කිරීම අනතුරුදායකයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන්නන්ද සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස පිළිපැදිය යුතු බවත් නිකුත් කර ඇති සෞඛ්‍ය මර්ගොපදේශ මාලාවන්ට අනුකූලව සිය කටයුතු පවත්වාගෙන යා යුතු බවත් ඔහු සඳහන් කරයි.
සෑම විටම පොදු ස්ථානවලට යෑමේදී නාසය හා මුඛය ආවරණය වන සේ මුහුණු ආවරණය නිසි පරිදි පැළඳීම, එකිනෙකා අතර මීටර් 2ක දුරස්ථභාවයක් පවත්වාගැනීම මෙන්ම සබන් හෝ විෂබීජනාශක දියරයක් (සැනිටයිසර්) යොදාගෙන හොඳින් දැත් සෝදා ගැනීම යන පිළිවෙත් නිරතුරුව අනුගමනය කිරීමට ජනතාව මෙහිදී කටයුතු කළ යුතු බවද වෛද්‍ය හේරත් පවසයි.

සුබෝධනී වාර්තාවට අනුව වැටුප් වැඩි කරන්න බෑ - අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
සුබෝධනී කමිටු වාර්තාවේ සදහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරීම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඉදිරි අය වැය ලේඛනයෙන් ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ තීරණ නිකුත් කරන තුරු ලැබී ඇති රු. 5000.00 දීමනාව ලබාගෙන යළි සේවයට වාර්තා කරන ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

පාසල් විවෘත කිරීමට පෙර වැටුප් ගැටලුවට විසඳුම් දෙන්න - වෘත්තීය සමිති සන්ධානය
සෞන්දර්යය විෂයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව ඊයේ දිනයේ දී සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කිරීමෙන් පසු පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රකාශ කර තිබෙන හෙයින් ඊට ප්‍රථම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම දිය යුතුව ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේය.
ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරු සහභාගී වීම අනිවාර්ය කාරණයක් වන හෙයින් එම පරීක්ෂණවලට පෙර මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු බවයි ස්ටාලින් අවධාරණය කළේය.
මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් ඉල්ලා තිබුණද ආණ්ඩුව තවදුරටත් එය මඟහරිමින් තිබෙන බවයි ඔහු පැවසුවේය.
ආණ්ඩුවේ හැසිරීම මෙලෙස නම් ඊට සෙසු වෘත්තීය සමිති සමඟද එක්ව පොදු විරෝධයක් හරහා පිළිතුරු දීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.=
එමෙන්ම යළි පාසැල් විවෘත කිරීමට ප්‍රථමව ද මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු වන අතර එසේ නොවුණහොත් ගුරු විදුහල්පතිවරු පාසල් වෙත වාර්තා නොකිරීමට කටයුතු කරන අතර ඒ ගැන සාකච්ජා කර තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේය.
මෙම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූයේ ගුරු විදුහල්පති වැඩවර්ජනය නිසා බවට පසුගිය දිනවල රජයේ පාර්ශවයෙන් පැවසුවද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූ බවට වන අතර, මෙතෙක් කල් ගුරුවරුන්ට එල්ල කළ චෝදනාව පසෙක තබා ඇත්ත පිළිගැනීම ගැන සතුටු වන බවද ස්ටාලින් මෙහිදී කියා සිටියේය.

අදියර 04ක් යටතේ පාසල් විවෘත කිරීමට පියවර
පාසල් යළි ආරම්භ කිරීම අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා උපදෙස් දී ඇති බවත් එහි පළමු අදියර ඔස්සේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල 1 – 5 ශ්‍රේණි ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
“සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්තුමා අපිට අදියර 4කින් පාසල් ආරම්භ කරන්නට උපදෙස් දීලා තිබෙනවා. ඊයේ දිනයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා සියලුම ආණ්ඩුකාරතුමන්ලා කැඳවලා ඒ අනුව කටයුතු කරමින් ලංකාවේ තිබෙන සම්පූර්ණ සමස්ත පාසලක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් තිබෙනවා 3,884ක්. 200ට අඩු ඉන්නවා 5,131ක්. එතකොට ලංකාවේ තියෙන පාසල් 10,155න් 1 – 5 ශ්‍රේණි පමණක් තිබෙන පාසල් තිබෙනවා 3,884ක්. එතකොට මේ පාසල් සියල්ලම අපිට ආරමභ කරන්න පුළුවන් කියන විශ්වාසය සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් ලබා දුන්නා ඇමතිතුමාට.”
එවැනි පාසල් තුළ ළමුන්ට ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය පවතිනවා ද? යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අද දින සිට නිරීක්ෂණය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“ඒ අනුව කටයුතු කරමින් ඔවුන් අද දිනයේ සිට පළාත් අධ්‍යක්ෂකවරුන් 09 දෙනා, කලාප අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන් සමග එකතු වී භෞතිකව නිරීක්ෂණයක යෙදෙනවා දරුවා ආරක්ෂිතව පාසල තුළ රඳවා තබාගැනීම සඳහා සුදුසු ද? කියන එක ඔවුන්ගේ ඇසෙන් ම දැකගන්න. ඊට අමතරව ලබන සතිය ඇතුළත අමාත්‍යතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරුන් කැඳවලා ඔවුන්ගෙත් සහය ලබාගන්නවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුර මහේලට
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම පත්වීමත් සමඟ ජයවර්ධන එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.
මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 82 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 31 දෙනා කාන්තාවන් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 21දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 61 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (24) වාර්තා කරන ලද මෙම මරණ 82 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ආණ්ඩුව විරුද්ධවාදීන් දඩයමේ : CID යන ගමන් චම්පික කියයි !
පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පුද්ගලයකු ලෙස එම සාක්ෂි එලියට පැමිණීමේදී ආණ්ඩුවට කට උත්තර නැති වී දේශපාලන දඩයම් කිරීමට අරඹා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මෙසේ සඳහන් කර සිටියේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබු කැඳවීමකට අනුව එහි පැමිණි අවස්ථාවේ ය.
තමන් මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ ප්‍රවර්ධන වැඩසටහනක්, මූල්‍ය අවභාවිතාවක් බව කියා ඒ සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව අමාත්‍යවරයා පවසයි.
හිටපු නීතිපතිවරයා පාස්කු දින ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසීම හේතුවෙන් ආණ්ඩුව පත්ව ඇති අසරණකම පෙනෙන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

කාබනික පොහොර ආනයනයට ශ්‍රීලනිපයත් විරුද්ධයි !
චීනයෙන් ගෙන්වීමට යන කාබනික පොහොරවලින් මෙරට පසට සිද්ධ වෙන විනාශයට වගකියන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රශ්න කර සිටියි.
මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද ගෙනෙන කාබනික පොහොරවලද යම් යම් ප්‍රශ්න ඇති බවත්, මේ හරහා යම් බැක්ටීරියාවක් හෝ කෘමියකු අපේ පසට ඇතුලු වුවහොත් ඊට වගකියන්නේ කව්රුන්ද යන්නත්ය.
එවැන්නක් සිදුවුවහොත් තවත් වසර දෙක තුනකින් මහා විනාශයක් සිදුවනු ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාබනික පොහොර ආනයනය කිරීමට එකඟතාවක නොමැති බව දැනගන්නට ඇත.
Page 434 of 474