V2025

පුවත්

පළාත් සභා හිටපු පොහොට්ටුවේ සහ එජාප ප්‍රබලයන් 116 ක් : රනිල් දිනවන්න පෙරමුණ අරගෙන !

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලුදෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව භාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා.

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා.

ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා.

නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද, එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි.

ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා.

ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු.

2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි.

එම ජාත්‍යන්තර ප්‍රශ්නය නිසා තවත් කරුණු කිහිපයක් මතුව තිබෙනවා. යුද්ධයක් ඇති වුණොත් තෙල් මිලට මොනව වෙයිද, ඒ වගේම යම් ප්‍රශ්නයක් මතු වුණොත් මැද පෙරදිග සිටින සියලුදෙනා නැවත ලංකාවට ගෙන්වීමට සිදු වෙනවා. 1991 දී ඉරානය විසින් කුවේට් අල්ලා ගත් විට අපට එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. එවිට රටට ආදායම් නැති වෙනවා. දැන් නැගී එන ශ්‍රී ලංකාවට එම තත්ත්වයට මුහුණදීම අසීරුයි.

මේ පිළිබඳ අනිත් රටවල විදේශ ඇමතිවරු සමඟ සාකච්ඡා කරන ලෙස මම විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

මෙම තත්ත්වය පාලනයට ඒකාබද්ධව කළ හැකි වැඩපිළිවෙළ ඔවුන් සාකච්ඡා කරනවා. අපි එම කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ කථානායකවරයා මේ වන විට ටෙහෙරාන් නගරයට ගොස් සිටිනවා. ඔහුව හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. අපි දැන් මෙම තත්ත්වයට සූදානම් විය යුතුයි. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ වගේම මේ නිසා ඇති විය හැකි ආර්ථික විපාක පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ආණ්ඩුව දැන් සිටම පියවර ගන්නවා. වේදිකාවේ සිට කෑගහලා වැඩක් නැහැ. ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ඉවත් කරන්න බැහැ. එය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි. මැතිවරණ පැවැත්වුණත් එම වැඩකටයුතු කිරීම අපේ යුතුකමයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග ඊයේ මේ පිළිබඳ කථා කළා.

ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළයුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා. අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි.

ජනාධිපති, අගමැති ඇතුළු මේ 09 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 07ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

ශ්‍රීලනිප සිරිපාල පාර්ශවයේ සහාය රනිල්ට

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

එහිදී දුමින්ද දිසානායක සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි." යනුවෙනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට බෙදී ඇත.

ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල පාර්ශවය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරද්දී , එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් එම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා නම් කර ඇත. ඒ අතර එම පක්ෂයේ හිටපු මහ ලේකම්, දයාසිරි ජයසේකර වෙනම කණ්ඩායමක් ලෙස මේවනවිට කටයුතු කරයි.

චම්පිකගේ බුලට් එකක් රනිල්ට සහාය දෙමින් එජාපයට එක්වෙයි !

ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමඟ දශක කිහිපයක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

ඊට අදාළ සාමාජිකත්වය ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර වෙතින් ලබාගත්තේය.‍ෙ

මෙම දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇති අතර එය පහත පළවේ.

''රට ගැනත් හිතලා රටේ අනාගතය ගැනත් හිතලා මේ මොහොතේ ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා. මායි නෝනයි දෙන්නම අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තා.

මගේ ජන්ම දිනයට තැබූ සටහනේදී මම කිව්වා මට ජූලි මාසය පෙරලිකාරී ප්‍රවේගකාරී උද්වේගකාරී මාසයක් වේවි කියල.. මේකත් ජාතික අරමුණක්.. ඒ වෙනුවෙන් ඉදිරි සති හත මේ ප්‍රවේගය උද්වේගය උපරිමින් තියා ගෙන තීරණාත්මක මෙම ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා වෙනුවෙන් කැපවෙනවා.. ඉදිරියට යනවා.

අනුරාධපුර පොහොට්ටු හෝදලාම අරගෙන : එස්.එම් ගේ සහාය රනිල්ට !

කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ එකඟත්වය පළ වු බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කළේය.

අද (30) අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතා ගේ නිවස පරිශ්‍රයේ ඇති පොදු ජන එක්සත් පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවැත් වූ දිස්ත්‍රික්සම්මේලනයේදී කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිස විසින් මෙම එකඟතාවයට පැමිණ තිබේ.

මේ සඳහා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් සහ දිස්ත්‍රික්කයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ,ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභා නියෝජිතවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙසීයකට අධික පිරිසක් එක්ව සිටියහ.

අතේ සහාය කාටද ? තීන්දුව හෙට !

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන අපේක්ෂකයා කවුද යන්න හෙට(31) ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවත් එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බව පැවසු මන්ත්‍රීවරයා මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති නිසා නිත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද සඳහන් කළේය.

උදේ නාමල් හමුවූ බව කියපු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හවස රනිල් හම්බෙලා : කොන්දේසි විරහිත සහාය !

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරනවා යැයි ඊයේ දිනයේ ප්‍රකාශ කළ පිරිස අද (30) උදෑසන තම නිවසට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබූ නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ප්‍රමුඛ 92ක පිරිසක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිඳු කොන්දේසියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරිමට කැප වන බවයි.

යළි දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැඟිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවද ඔවුන් සඳහන් කර ඇත.

තමන් අසීරුවෙන් ගොඩනැඟු පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මීට එක්ව සිටී මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අතර, මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇති බවද සඳහන් කර ඇත.

රටේ ආර්ථිකය අස්ථාවර වී, නීතිය හා සාමය කඩවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ මඟ ඝාතනය කළ තැනට වැටී තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවත්, එදා ඔහු පිළිබඳ තැබු විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවත්ය.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවද පැවසිය.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන අලි සබ්‍රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී. හේරත්, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රේමනාත් සී.දොලවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න. ඩග්ලස් දේවානන්දා, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන අය ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වුහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20240730 WA0011

මැතිවරණ කොමිසම හදිසියේ රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා ඇත.

එම රැස්වීමේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බව අනාවරණය වේ.

එහිදී ප්‍රධාන වශයෙන් පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තාවේ.

මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙයයි.

චම්පික අතීරණයක !

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සම්බන්ධයෙන් වන ප පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රීලනිපයෙන් ජන්දයට එන්න ඉල්ලා අස්වූ විජේදාසගේ වාරණය දීර්ඝ කෙරේ !

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (29) නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉල්ලා අස්වූ විජේදාසට වාරණයක් !

මේ අතර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් අද දිර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.

නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් මස 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට එහිදී නියෝග කෙරුණි.

2024 පළමු කාර්තුවේ කොළඹ වරාය ලොව හොඳම වර්ධක වරාය වෙලා !

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  පැවසීය.

එසේම 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මෙසේද පැවසීය.

කොළඹ වරායේ මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව මම මුලින්ම සඳහන් කිරීමට කැමතියි. 2024 වසර තුළ කොළඹ වරාය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප මේ ප්‍රගතිය ලබා ගත්තේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුවන අතරතුරයි. නමුත් ඒවා අපගේ කටයුතු සඳහා කිසිදු බාධාවක් වූයේ නැහැ. 2023 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ලාභයක් වාර්තා කළ අතර 2024 වසරේ පළමු කාර්තුවේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ලබා තිබෙනවා.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්ත හතරම දායක වී තිබෙන බව කිව යුතුයි. මෙම පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා. ඒ අනුව ECT හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 2025 පෙබරවාරියේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම නැගෙනහිර පර්යන්තය සහ උතුරු වරාය සංවර්ධන කටයුතුද සිදු කෙරෙනවා.

එසේම ත්‍රිකුණාමලය, ගාල්ල, කන්කසන්තුරය යන වරායවල සංවර්ධන කටයුතු ද සිදු කරමින් තිබෙනවා. ඒ වගේම කන්කසන්තුරය වරායේ අලුතින් ඉදිකරන ලද පර්යන්ත ගොඩනැඟිල්ල තොටුපළ මෙහෙයුම් සඳහා යොදා ගනිමින් සෑම සිකුරාදාවකම ඉන්දියාවේ සිට මගී යාත්‍රා සේවයක් ක්‍රියාත්මක වේ.

එසේම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වසරට සාපේක්ෂව 25%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. මෙහිදී මගී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර 2023 වසරේ 36ක් වූ ගුවන් සේවා පැමිණීම් 2024 වසරේ ජූලි මාසය වන විට 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් : රාජපක්ෂවරුන් තීන්දුව ගනියි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට අද (29) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී බහුතර ජන්දයෙන් තීරණය වූ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙම සාකච්ඡාව අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ විජේරාම නිල නිවසේ පැවති අතර එහිදී එළැඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් එය බහුතර මතය නොවූ බවද සාගර කාරියවසම් සඳහන් කළේය.

ඒ අනුව එළැඹෙන අගෝස්තු 15 වනදාට පෙර පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව තීන්දුවක් ගන්නා බවත්, ඉදිරියට පක්ෂයේ තීන්දුවට පිටින් කටයුතු කරන ඕනෑම අයෙකු සම්බන්ධව දැඩි විනය පියවර ගැනීමටද අද පැවති සාකච්ඡාවේදී තීන්දු කළ බවද ඔහු පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන බහුතර පිරිසක් මේ වන විට වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන බැවින් ඔවුන් මේ අවස්ථාවට එක්ව සිටියේද කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ ලේකම්වරයා පවසා සිටියේ එම පාර්ශ්වය නියෝජනය කරන පිරිසක්ද අද පැවති සාකච්ඡාවට පැමිණ සිටි අතර ඔවුන් කිහිපදෙනෙකු ද පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට සහාය දක්වමින් ජන්දය ප්‍රකාශ කළ බවයි.

සජිත්ගේ සක්වලට වාරණයක් !

විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ මැතිවරණයක් කැඳවා තිබියදී භාණ්ඩ බෙදීම් වැනි කටයුතු මැතිවරණ නීතිය අනුව තහනම් පදනමින් බවද වාර්තා වෙයි.

ඒ අනුව පාසල් නවයක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදෙන සක්වල වැඩසටහන නවයක් මෙසේ අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බවත් දැනගන්නට ඇත.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ජන රැලි සඳහා මැතිවරණ කොමිසම නිහඬව සිටියද සජිත් ප්‍රේමදාස ගේ වැඩසටහන් මෙසේ අත්‍හිටුවීම අසාධාරණ බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ සක්වල වැඩසටහන් හැත්තෑවක් සංවිධානය කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

විජයදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඔහු අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ,

"කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ."

පොහොට්ටුවේ අපේක්ෂක ධම්මික - උදයංග කියයි : මහින්දගෙනුත් ඉඟියක් !

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ධම්මික පෙරේරා ව ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන බව රාජපක්ෂ පවුලේ නිල නොලත් ප්‍රකාශක ලෙස කටයුතු කරන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

මේ වන විටත් බැසිල් රාජපක්ෂ විසින් එම තීරණය ගෙන අවසන් බවත් හෙට (29) දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් ඔහු පවසයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළේය.

ධම්මික පෙරේරා  ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරවන බවද එහිදී පැවසූ ඔහු කිසිසේත්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අපේක්‍ෂකත්වය ලබා නොදෙන බවද පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව අස්ථාවර නොකර පවත්වාගෙන යෑම සඳහා පක්ෂයක් ලෙස තවදුරටත් සහාය ලබාදීමට තීන්දු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 මහින්දගේ ඉඟිය !

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද (28) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

එහිදී ඔහු ස්ථිරවම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බවයි.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ප්‍රශ්නය - කොහොමද අපේක්ෂකතුමාගේ තත්ත්වය ?

අපි සඳුදාට තීන්දු කරනවා. සඳුදා වෙනකම් ඉවසන්න.

ප්‍රශ්නය - ධම්මික පෙරේරා මහතා අපි දැක්කා ඔබතුමාලා එක්ක ඉන්නවා ?

එකට වාඩිවෙනවා. අපේ මන්ත්‍රීතුමානේ.

ප්‍රශ්නය - ජනාධිපති ගාල්ලේදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ?

ඔව් බොහොම හොඳයි.

ප්‍රශ්නය - එතුමාට සහාය ලබාදෙනවද ?

නෑ... අපේ පක්ෂයෙන් දාන කෙනාට සහාය දෙනවා. අපේ පක්ෂයෙන් තීන්දු කරන්න ඕනේ ඒක. මම අපේ පක්ෂය කියන එක තමයි අහන්නේ. එයාට සහාය දෙන්න කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ. හැබැයි පක්ෂය කිව්වොත් එයාට විරුද්ධව වෙන කෙනෙක් දාමූ කියලා ඒකට එකඟවෙනවා.

පොහොට්ටුව බෙදෙනවාද නැද්ද : තීන්දුව හෙට (29) !

එළැඹෙන ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අති බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහය ජනාධිපතිවරයාට ලබාදෙන බවට මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

එසේම ඊයේ (27) ගාල්ලේ පැවැත්වුණු " එක්ව ජයගමු - අපි ගාල්ල " රැලිය සඳහා ද පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. එසේම ඊට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ පොදුජන පෙරමුණේ 30 කට ආසන්න මැති ඇමතිවරුන් පිරිසක් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇති බැවින් පක්ෂයේ බහුතර මතයට කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

පොලිස්පති අර්බුදය විසඳන හැටි ජනපති කියයි !

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසු ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී අද (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද අප මෙතන සිටින්නේ විගමන ශ්‍රමිකයන් එවු මුදල්වලින් සහ 2022, 2023 යල කන්නය වගා කළ ගොවින් නිසා බව කිවයුතුයි. ඒ කණ්ඩායම් දෙක නොවන්නට අද අපට රටක් ලෙස මෙතරම් සාර්ථකව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප මේ රට භාර ගනිද්දි රටේ තිබු තත්ත්වය අප සියලු දෙනා දන්නවා. අපි එක් පක්ෂයකට අයත් ආණ්ඩුවක් නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනා එක් කර ගනිමින් අලුත් ආණ්ඩුවක් ගොඩනැඟුවා. ඒ නිසා මෙම ආණ්ඩුව අභියෝග භාර ගැනීමට ශක්තියක් තිබෙන ආණ්ඩුවක්. අපි ලෝකයේ රටවල සහ මූල්‍ය සංවිධානවල සහාය ඇතිව මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම ආරම්භ කළා. එහිදී රටට ඩොලර් ලබා දුන් විගමණික ප්‍රජාව කිසිසේත් අමතක කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත විය යුතුයි.

මේ අයුරින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ නැතිනම් අද ජනතාවට මෙවන් සහන හිමි වන්නේ නැහැ.

විදේශගතව සිට නැවත මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට රැකියා ආරම්භ කිරීමට සහාය වීමට අපට යුතුකමක් තිබෙනවා. එදා ඔබ සිදු කළ සේවය නිසා තමයි අද රටේ ජනතාවට මෙවන් සහනයක් ලබාදීමට හැකිවී තිබෙන්නේ.

දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ණය දෙන රටවල් සහ බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම නිසා අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. අප මෙම ගිවිසුම්වලට අත්සන් තැබීමත් සමඟ ජපන් රජයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණ සෑම ව්‍යාපෘතියවක්ම නැවත ආරම්භ කරන බව ජපානය ප්‍රකාශ කළා.

ඒ වගේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය ඇතුළු විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමඟ එකඟ වී තිබෙනවා. ඒ වගේම බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා දැන් ජපානය සහ ඉන්දියාව සමඟ අප මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා.

ඒ වගේම මම චීනයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස. මේ සමඟ මෙරට ඉදිරිකිරීම් අංශය විශාල දියුණුවක් ලබනවා.

ඇතැම් අය හිතුවා අපට රටක් ලෙස නැවත හිස එසවීමට නොහැකි වනු ඇතියි කියලා. මැතිවරණයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් අපි මැතිවරණය පවත්වනවා. තවත් සමහර අය කිව්වා මම මැතිවරණය කල් දාන්න යනවා කියලා.

නමුත් මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම සඳහා මම පළමුවෙන්ම ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

ඇතැම් අය මගෙන් අහනවා මෙම අර්බුදය නිසා මොකක් වෙයිද කියලා. පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා. ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.

ඉන් පසු දින විපක්ෂනායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ.

කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා

ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා. මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.

ඒ නිසා මම මේ පිළිබඳ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. තවත් නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සියලුදෙනා කිව්වේ අප මේකට විසඳුමක් සෙවිය යුතුයි කියලා. එසේ නොවන්නට එයින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.

මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්. පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ. මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.

මනුෂ නානායක්කාර මැතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන. නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි. පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.

එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ. මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ. කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා. ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.

දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි. මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.

මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.

මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නව ව්‍යාපාරයක් මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය ආරම්භ විය යුතුයි. ඒ නිසා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා සැප්තැම්බර් 21 දින මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි අන්දමින් කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

වතු වැටුප වෙනුවෙන් වතුකරයේ කළු කොඩි

වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.

දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

මේ සඳහා වතුකම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ප්‍රදේශයේ වෙළඳසැල් හා රථවාහනවල කළු කොඩි ඔසවා තිබූ බව ද වාර්තා විය.

වතු කම්කරු වැටුප වැඩිකළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හරහා රජය වතුසේවක ප්‍රජාව මුලාවට ලක් කළ බව උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී පවසා ඇත.

පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යයයි

ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසීය.

 පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බව ද ඔහු පැවසීය.

අඩු කළ පාන් මිල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (27) සිට දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

Page 52 of 466