V2025

පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා - ජනපති

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.

කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත්, රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කළේය.

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද ඇතුළුව අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් මෙන්ම හිටපු මැති ඇමතිවරු සහ ගාල්ල දිස්ත්‍රික් ජනතාව 15,000කට අධික පිරිසක් එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවූහු සපථ වූහ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ජනාධිපතිවරයා අවධාණය කළේය.

තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත් සියලු දේශපාලන භේද පසෙකලා තරුණ පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වන ලෙස සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වෛද්‍ය රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් යන  ද ජන හමුව ඇමතුහ.

ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් වෙයි

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය. එසේ ම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද කී ය.

ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසි සේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් සාවද්‍ය මත පැතිර යන බව කී අමාත්‍යවරයා කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවත් එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100ක ක්‍රියාත්මක ව ඇති බවත් ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවත් එම ගුරුවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ රට හැර නොයන ලෙස බවත් පැවසී ය.

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක් !

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අභියෝග කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේ පැවසීය.

"මේ ජනාධිපතිවරයා මේ මැතිවරණයට ටිකක් අර බල්ලා නාවන්න අරගෙන යනවා වගේ තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් තිබුණා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා. සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. මේ රනිල් වික්‍රමසිංහ මඟ හැරීම සඳහා කරන උත්සාහයට තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න.

ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පුළුවන් නම් ඒක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා දිය රත් වෙනකම් තමයි කකුළුවා නටන්නේ කියලා. වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ."

පොලිස්පති අවුල පාර්ලිමේන්තුවෙන් අධිකරණයට

ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදුව නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කළේය.

එසේ පත්කරන ලද පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියා පටිපාටියක් ඇති බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.

එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයින් නිර්දේශ මත පත්කරන ලද පුද්ගලයෙකු ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

 කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

 එමෙන්ම ජනාධිපතිවරයාද මැතිවරණ තත්ත්වය තුළ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් කිසිවක් සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් තමන්ද පෙර ස්ථාවරයේම සිටින බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට අධිකරණයට ගොස් කරුණු විමසීමක් යළි සිදු කළ හැකි බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.

ජනාධිපති ස්ථාවරය මෙන්න !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙන බවයි.

ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටි බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර පොලිස්පති ධුරයේ තනතුරු පුරප්පාඩුවක් සිදුවී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙයි.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් නිසා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැති බවටත් වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවත් වාර්තා වෙයි.

අධිකරණ තීන්දුව අනුව සිදුව ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරී කරගෙන යාමේ බාධාවක් පමණක් යයිද එම නීති උපදේශකයන් ගේ අදහස බවත් දැනගන්නට ඇත

සමහර මාධ්‍යවලට මාලිමාවේ ලාල් අනතුරු අඟවයි !

අද බලයේ ඉන්න අය පැරදුණු පසුව සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂයේ ජන හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය .

‘දැන් අප මේ කතා කරන වේලාවේ බලයේ ඉන්නෙ පරදින අය. සමහර ජනමාධ්‍යයත් ඒගොල්ලන්ගෙයි. පරදින්න ඉන්න අයගෙයි. ඒගොල්ල පැරදුනාට පස්සෙ මේ සමහර ජනමාධ්‍ය ජනතාවගෙ ඒවා බවට පත් වෙනවා. සමහර ඒවට මොනව වෙයිද දන්නෙ නැහැ. වහල දායිද මොකක් වෙයිද දන්නෙ නැහැ. ජනමාධ්‍ය ආයෙ නොකර ඉඳියි ද දන්නෙ නැහැ. ඒ තරම් පච කියන්නෙ සමහර ජනමාධ්‍ය මඟින්. එක මාධ්‍යයක් තිබෙනවා අකුරු දෙකයි තිබෙන්නේ. එකට මඩ ටී.වී. කියන්නත් පුළුවන්. උදේ හිටන් රෑ වෙනකල් මඩ’

තරුණ ඉල්ලීමට සැපයුම දෙන්න ෆොනී එයි : දිලිත්ලාගේ අපේක්ෂකයා අගෝස්තු 4 එළියට !

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

" ජන පීඩන පාලනයට එරෙහිව " යන තේමාව යටතේ යක්කල නගරයේ දී අද (26) සවස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

" මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි පිරිසක් ඉදිරිපත් වෙනවා.ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. අපේක්ෂකයින් කිසිවෙකුටත් සියයට පනස් එකක් ලබාගැනීමට නොහැකි වේවි. මම හිතනවා ලක්ෂ තිස් පහක් පමණ ගන්නා කෙනෙක් ඉදිරියෙන් ඉදීවි. මේ රටේ පාවෙන ඡන්ද ලක්ෂ හැත්තෑවක් විතර තියෙනවා.

මැති ඇමතිවරුන් රටේ පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. කාගෙන්වත් ආරාධනා ලැබෙන තෙක් නොසිට රටේ තත්ත්වය සහ පක්ෂ දේශපාලනයෙන් සිදුවූ හානිය සහ පක්ෂ මෙහෙයවන අයගේ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රටේ ජනතාව පසුගිය කාලයේ වෙනසක් ඉල්ලුවා. තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළා. ජනාධිපති මන්දිර කුඩු කළා. ඒ වෙනස දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නෙ.රටේ වැඩිහිටියො තේරුම්ගන්න ඕනෙ , මෙතෙක් කල් කරපු වැරදි නොකර සියලු දෙනාට පෙළ ගැසීමට හැකි තැනක් අපි හදනවා.

දිලිත්ලා ගේ අපේක්ෂකයා 4 වෙනිදා එළියට !

මේ අතර "සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද දැනගන්නට ඇත.

මුලින්ම ඇප තිබ්බ ජනපති රනිල් : ගාල්ලෙන් වැඩ අරඹයි !

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (26) උදෑසන ඇප මුදල් තැන්පත් කළා.

ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

ඔන්න ඒත් එක්කම හෙට 27, ඒ කියන්නේ සෙනසුරාදා ගාල්ලේ තියන ජන රැලියේදී රනිල් සුබ ආරංචිය කියන්න යනවා කියලත් ආරංචියි.

එක්ව ජයගමු - අපි ගාල්ල මැයෙන් පැවැත්වෙන මේ ජනරැලිය සංවිධානය කරන්නේ රමේෂ් - මනුෂ කියන අමාත්‍යවරුන් සහ එජාප සභාපති වජිර මන්ත්‍රීවරයා ගේ මුලිකත්වයෙන්.. එදාට ආණ්ඩුවේ මැති ඇමතිවරු සෑහෙන පිරිසක් ගාලු එන්න ඉන්න බවත් ආරංචියි.

ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඇප මුදල් තියලා හා හාපුරා කියලා ජනාධිපති රනිල් දකුණෙන් වැඩ අල්ලන්න යන්නේ. ඒ වගේම ජනාධිපතිවරණය කල් දාන්න යනවා කියලා විපක්ෂය කරේ තියාගෙන දිව්වට රනිල් ජනාධිපති හීනියට තමන්ගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙනිහින් විතරක් නෙවෙයි , මුලින්ම ඇප මුදල් බඳින්න පවා සැලසුම් කරලා. ජනාධිපති ගේ ගැටේකට විපක්ෂයේ ඇත්තෝ අහුවුණාද කියලත් හිතුනට වැරදි නෑ වගේ.

  • දේශපාලන වාර්තාකරු

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දුන්නට ජනපතිගේ ප්‍රණාමය !

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මෙම පාසලට පැමිණෙන විට මම පාසල් ගිය කාලය මට සිහිපත් වුණා. එදා අපට තිබුණේ කළු ලෑල්ල සහ, හුණු කෑල්ල පමණයි. එදා මෙම පහසුකම් තිබුණේ නැහැ. මම පළමුවරට පරිගණකයක් දුටුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කිරීමෙන් පසුවයි. අද ඔබට නවීන උපකරණ සහිත සුහුරු පන්ති කාමර ලැබී තිබෙනවා. අද ලෝකය සෑම අංශයකින්ම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපත් ඒ වෙනසට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගත යුතුයි.

මේ රට බංකොළොත්ව පැවති සමයේ දී එම බංකොලොත්භාවයෙන් නිදහස් වීමෙන් පසුව අප රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද කියා මම සිතුවා. ඒ වගේම අපට අවශ්‍ය විදේශ විනිමය සොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබුණා. නව තාක්ෂණ දැනුම සමඟ ඩිජිටල් ආර්ථිකයකට අප කඩිනමින් ගමන් කළයුතු බව එහිදී අප තීරණය කළා. අප දැන් සිටම ඒ සඳහා කටයුතු කළයුතුයි.

කෘෂිකර්ම සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළට මෙන්ම පාසල් තුළට ඩිජිටල්කරණය ගෙන ඒමට ඒ අනුව අප පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාසල් සහ පිරිවෙන්වල මෙම සුහුරු පන්ති කාමර ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවලට ද මෙහි ප්‍රතිලාභය ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණ එම වැඩකටයුතු ආරම්භ කිරීමට මම ඊලෝන් මස්ක් මහතාට ආරාධනා කළා. දැන් ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කර තිබෙනවා. හැකි උපරිම අයුරින් තාක්ෂණ දැනුම ගමට ගෙන යාමට අප අපේක්ෂා කරනවා. එය භාවිතා කරමින් ඉදිරියට යාමට ඔබ සූදානම් විය යුතුයි.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ඔබට මෙම තාක්ෂණ දැනුම භාවිතා කළ හැකියි. රට තුළ හරිත ආර්ථිතයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කළ යුතුයි. පසුගිය බදාදා AI තාක්ෂණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. එහිදී බොහෝ කතිකයන් කථා කළේ ChatGPT වෙතින් කරුණු අරගෙනයි. පාර්ලිමේන්තුව දැන් එවන් තත්ත්වයකට පත්ව තිබෙනවා. අප මෙම තාක්ෂණය නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි.

ඒ වගේම ඇතැම් විට මෙම තාක්ෂණය භාවිතයෙන් ආගමික කරුණු විකෘති කිරීමට හැකියාව තිබෙනවා. එම ත්ත්ත්වයන් වැළැක්වීමට අදාළ නිති කෙටුම්පත් අප මේ වන විට සකස් කරගෙන යනවා. ඒ වගේම මෙම නව තාක්ෂණය හඳුන්වාදිමේ දී ඉන්දියාවේ සහාය ලබා ගැනීමට ද අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම තාක්ෂණික දැනුමත් සමඟ නව ආර්ථික පරිවර්තනයක් රට තුළ ඇති කරමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සකස් කිරීමට අප ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව අප පාර්ලිමේතුවේ දී විවාද කළා. එහිදී විවිධ අදහස් පළ වුණා. අවසානයේ කිසිවෙකුගේ විරුද්ධත්වයකින් තොරව එය සම්මත වුණා. සියලුදෙනා එක්ව මෙම කටයුතු සිදු කිරීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයකටම ස්තූතිවන්ත වෙනවා. ඒ පිළිබඳ ස්තූති කරමින් අප සියලුදෙනා එක්ව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යමු කියා ප්‍රකාශ කරනවා.

අද ඉන්දියාව, චීනය වැනි රටවල් වේගයෙන් ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මුදල් ගනුදෙණු සියල්ල සිදුවන්නේ ජංගම දුරක්ථනය භාවිතයෙන්. අපත් එම තත්ත්වයට පත්විය යුතුයි. එහිදී QR කේතය වැදගත් වෙනවා.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර එම තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදිය යුතුයි. ඒ නිසා මෙම වැඩසටහන ඉතා වැදගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි.

ඉදිරියේදී මේ රටේ ඕනෑම අයෙකුට ඉන්දියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු සියලු රටවල ආර්ථිකයන් සමඟ එක්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි රුපියල ශක්තිමත් කළ යුතුයි.

ඒ වගේම අපේ විදේශ සංචිතය ඉහළ නංවාගත යුතුව තිබෙනවා. එම වැඩකටයුතු මේ වන විට අප සිදු කරගෙන යනවා. මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සමඟ අපට තිබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා. එවැනි විදේශ විනිමය සංචිතයක් සමඟ අපට කිසිඳු ගැටලුවකින් තොරව එම රටවල් සමඟ ගනුදෙණු කිරිමට අවස්ථාව ලැබෙනවා.

මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරි වසර 10 තුළ මේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. එය කොළඹට සීමා නොකර ගම්බද ප්‍රදේශවලටද ලබාදීමට කටයුතු කරනවා.

ජනපතිවරණය සැප්තැම්බර් 21වැනිදා

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 එමෙන්ම නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිතයිි.

download

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි පියවර කිහිපයක් අන්තර්ගත වන අතර 2023 වසරේ සම්මත කරගන්නා ලද දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, මාස හයකට වරක් එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අවශ්‍ය විධිවිධාන එහි අන්තර්ගත වේ.

2025 – 2029 කාලරාමුව සඳහා පැහැදිලිව ජාතික දූෂණ විරෝධී සැලැස්මක් නිර්මාණය කිරීමටද මෙකී න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. තවද විගණකාධිපතිවරයා සතු නීතිමය බලතල තවදුරටත් පුළුල් කරමින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමද මෙම ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.

එම සංශෝධනයන්ට අනුව ප්‍රශ්න ගත විගණනයන්හි සම්පූර්ණ වාර්තාවන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ප්‍රථම එමගින් අනාවරණය කරගනු ලබන වංචා සහ දූෂණ පිළිබඳ සිදුකළ හැකි අපරාධමය විමර්ශනය සඳහා, නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ මූලික හෝ වෙනත් සොයා ගැනීම් හුවමාරු කර ගැනීමට විගණකාධිපතිවරයා වෙත අවසර ලබාදීමට යෝජනා කර තිබේ. එමෙන්ම අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිසි වගකීම් ඉටුකිරීමට අපොහොසත් වන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් ඊට අදාළ අධිභාරය අය කරගැනීම සඳහාද විගණකාධිපතිවරයා වෙත බලය පැවරීම ද මේකී දූෂණ විරෝධි ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු වත්කම් ප්‍රකාශනයන් සහ බැඳියා පිළිගැටුම් කාර්ය ක්‍රමයක් ස්ථාපිත කිරීමටද මේකී ජාතික න්‍යාය පත්‍රය මගින් යෝජනා කර තිබේ. බැඳියා පිළිගැටුම් සම්බන්ධයෙන් නීති (Conflict-of-Interest Rules) සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වත්කම් ප්‍රකාශ කිරීම පිළිබඳව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ රෙගුලාසි බලාත්මක කිරීම, බැඳියා පිළිගැටුම් යන්න නිර්වචනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, පිළිගැටුමක් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සැපයීම, ඒවා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දඬුවම් පැමිණවීම සහ මීට අදාළ කාර්ය සාධනය සම්බන්ධයෙන් වාර්තා කිරීමද ඇතුළත් කර ඇත.

එමෙන්ම දූෂණ විරෝධී පනතට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා මෙකී වත්කම් ප්‍රකාශන නම් කරන ලද වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීමටද අවශ්‍ය විධි විධාන සලසා ඇති අතර වැඩපිළිවෙළෙහි අර්ධ වාර්ෂික හා වාර්ෂික ප්‍රගති සමාලෝචන සිදු කළ යුතු බවටද නියම කර තිබේ.

අපරාධ සහ මුදල් විශුද්ධිකරණය මගින් උපයා ගත් ධනය නැවත අයකර ගැනීම සඳහා ජාතික ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ද කටයුතු කර ඇත. මේ සඳහා අල්ලස් කොමිසම වෙත ලබාදී ඇති නව බලතල අනුව නිසි අයුරින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සහ නව විමර්ශන මගින් නිසි ලෙස නඩු පැවරීම සහ වරදකරුවන් කිරීම පිළිබඳවත්, දේශපාලනික වශයෙන් අනාවෘත වූ පුද්ගලයන් (Politically Exposed Persons)හඳුනා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද මීට ඇතුළත් කර තිබේ.

දූෂණ නඩු සම්බන්ධ විමර්ශන හා ඊට නඩු පැවරීමට අදාළ කටයුතු ශක්තිමත් කිරීමටද මෙම ජාතික න්‍යාය පත්‍රය මඟින් කටයුතු සලසා ඇත. සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු සැපයීමට සහාය පළ කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමටත් විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා පොදු අර්ථලාභීන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමත් මීට අන්තර්ගත වේ.

රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් (Public Procurement Law) බලාත්මක් කිරීමත්, රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවල තොරතුරු ප්‍රකාශයට පත් කිරිමත් දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් වේ.

බදු නිදහස් කිරීමේ වටිනාකම් පිළිබඳ ඇස්තමේන්තුවක් සහිතව බදු නිදහස්කිරීම් ලබන සියලුම සමාගම් ප්‍රසිද්ධ කිරීම, ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි පිරිවැයකරණය හා යෝජනා ඇගයීම සඳහා නිසි ක්‍රියාවලියක් සකස් කරන තුරු ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත තාවකාලිකව අත්හිටුවීම, පුහුණ හා ස්වාධීන කාර්යමණ්ඩලයක් ඇති කිරිම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ රජයට ආදායම් ලබාදෙන දෙපාර්තමේන්තුව තුළ කෙටිකාලීන දූෂණ විරෝධී පියවර ගැනීම වැනි සාධනීය පියවර ද මීට ඇතුළත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු කළමනාකරණය අවසන් කරනු ලබන සේවක අර්ථ සාධක අරමුදල සඳහා නව කළමනාකරණ කටයුතු ස්ථාපිත කිරීම, විධායක හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීම වැඩිදියුණු කිරීම මගින් රජයේ හිමිකාරීත්වය සහිත බැංකු සඳහා සංස්ථාපිත පාලනයන් ශක්තිමත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව බලාත්මක කිරීම ආදී ප්‍රතිසංස්කරණද මෙම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කිරීම සම්බන්ධ විධිවිධානද ඇතුළත් කර තිබේ.

එමෙන්ම වත්මන් දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 මැයි මස 29 වැනි දින නිකුත් කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මේ රට සමස්ත දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට මෙම න්‍යායපත්‍රය මඟින් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත.

ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පහසුකම් සැපයීම, රාජ්‍ය ආදායම් පරිපාලනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම යන අංශ ද ඇතුළත් වේ

අපේ සහාය රනිල්ට : පොහොට්ටු ප්‍රබලයන් 30ක් මහින්දගේ මූණටම කියලා : නාමල් පරල වෙලා !

ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද (25)දැනුම් දී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එයින් පක්ෂයේ ඡන්ද පදනම⁣ට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට පෙන්වා දී ඇති බවද සඳහන් වෙයි.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද මෙම මැති ඇමති පිරිස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවයි.

රනිල්ට උදව් කරලා පක්ෂය කැඩුණා : නාමල් පරළ වෙයි !

මේ අතර පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට උදව් කිරීමෙන් ලැබුණු එකම දායාදය පක්ෂය දෙකට කැඩීම බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ නෙලුම් මාවත පොහොට්ටු පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

''අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා පක්ෂයක් විදියට.. විපක්ෂ නායකතුමාට ආරාධනා කලා, එතුමා ආවේ නෑ.. අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යතුමාට ආරාධනා කලා එතුමා ආවේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනා කලා එතුමා ආවා, එතුමා බාරගත්තා, අපි එතුමාට අපි පූර්ණ සහයෝගය දුන්නා..

මං හිතන්නේ අපි අද වෙනකන් වචනෙකින්වත් එතුමාටවත් ආණ්ඩුවටවත් අපිට නොගැලපෙන දේවල් කෙරුවත්, අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලත්, වචනෙකින්වත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හෝ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කරලා නෑ.. හැබැයි පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදෙ නම් පක්ෂය දෙකට කඩපු එක. හැබැයි ඒ කෙසේ වෙතත් අපි අපේ වගකීම ඉටු කරලා තියෙනවා. ඉදිරියේදී අපි හොඳ දේශපාලන තීන්දුවක් ගමු..

මහ බැංකු අධිපති : අනුරගේ ඇප නැති බැංකුවේ ඇප නැති කරයි !

ජාතික ජන බලවේගය පක්ෂයේ ආණ්ඩුවක් යටතේ ඇප නැතුව මූලික ප්‍රාග්ධනයන් ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් බිහිකරන බවට එම පක්ෂයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

සංවර්ධන බැංකුවක් කියන අදහස ගොඩක් කල් ඉඳන් සාකච්ඡා වෙච්ච එකක්. ඇප නැතිව ණය දෙනව කියන එක කවුරු හරි ඇප සහතික කළ යුතුයි. ඒ අනුව රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න.. ඒක දෙන්න පළුවන්.

එතකොට රජය සහතික කරනවා කියන්නේ ණය ආපසු ලබාගත්තේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් ඒ ණය පියවනවා කියන එකයි.

ඉතින් ඔබතුමන්ලා බදු ගෙවන්නන් විදිහට කැමතිනං කවුරු හරි ගත්ත ණයක් පියවන්න, ඒක ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.

ශ්‍රීලනිප අර්බුදය : තිලංගගේ නඩුවට අතුරු තහනම් නියෝගයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත්කර ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ මෙම නියෝගයට අනුව අදාළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 දින දක්වා ක්‍රියාත්මක ය.

අදාළ නියෝගය මාලිකන්ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මැතිවරණ පැවැත්වූවත් උරුමය වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි !

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ  පැවසීය.

උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම වසර දෙකක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මෙසේද පැවසීය,

මෙම දෙවසර තුළ මෙරට ජනතාවට වඩාත්ම වැදගත් වූ වැඩසටහන වන සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන, අප අමාත්‍යංශය යටතේ සිදු කෙරෙනවා. මෙම වැඩසටහන තුළින් වසර දෙකක කාලයක් තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ වන විට ඒ සඳහා ලක්ෂයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

උරුමය වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් බවද පැවසිය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියරයි. මෙය කිසි සේත්ම දේශපාලන වැඩසටහනක් නොවෙයි. මැතිවරණ පවත්වන කාලවලදී වුවත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කෙරෙන වෙනත් සේවාවන් පරිදිම ඔප්පු ලබා දීමද සිදු වෙනවා. එබැවින් මැතිවරණයකට දින නියම කිරීම මෙම වැඩසටහන නවත්වන්න හේතුවක් වෙන්නේ නැහැ. කිසිම මැතිවරණ නීති උල්ලංඝණයක් මෙම වැඩසටහනින් සිදු වන්නේ නැහැ. ඒ මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම ප්‍රසිද්ධ වේදිකාවල හෝ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කාල සීමාව තුළ සිදු නොවන නිසයි. ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනා ලබා දීමද අනුමත කර තිබෙනවා

අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් අත්‍යවශ්‍යයි !

අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී මෙරට තේ කර්මාන්තය එහි සියලු මානයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් ඒ වෙනුවෙන් විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

“සිලෝන් ටී” සඳහා ජාත්‍යන්තරය තුළ ඇත්තේ ප්‍රමුඛ සන්නාමයක් බව පැවසූ ජනාධිපතිවරයා නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ එය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරම්භ වූ “කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ (Colombo International Tea Convention)” සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය “තේ – ජීවන රටාවක් සහ ජීවනෝපායක්” යන තේමාව යටතේ කොළඹ තේ වෙළඳ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව සංවිධානය කර ඇත.

කෙන්යාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධනිය, ගල්ෆ් කලාපිය රටවල් සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසකින් තේ භෝගයේ සිට තේ කෝප්පය දක්වා වන සමස්ත ගෝලීය තේ වටිනාකම් දාමයේ කර්මාන්ත ප්‍රවීණයන්, විශේෂඥයන් ප්‍රමුඛ සන්නාම සහ සමාජ සංවිධාන මේ සඳහා එක්ව සිටී.

මෙරට තේ නිෂ්පාදකයින් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර රැසක ප්‍රදර්ශනයක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබේ.
කොළඹ තේ වෙළෙඳ සංගමයේ සභාපති සංජය හේරත් මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අද අප මෙහි රැස්ව සිටින අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත විවාදයට ගනිමින් තිබෙනවා. පහුගිය අවුරුදු හතරක කාලසීමාව තුළ අප සිදු කළ වැඩකොටස පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

නමුත් අපගේ ආනයනික භාණ්ඩ සඳහා ගෙවීමට තවමත් විදේශ විනිමය අවශ්‍ය බව අප මතක තබා ගත යුතුයි. ඉදිරි දශකය තුළ අපනයන ආර්ථිකයකට රට පරිවර්තනය කිරිම වෙනුවෙන් අප කැපවී සිටින්නේ ඒ නිසයි. එය ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්කය සපුරාගත් සහ ඩිජිටල්කරණය මත පදනම් වූ ඉහළ තරගකාරි ආර්ථිකයක් ද විය යුතුයි. අද විවාදයට ගැනෙන මෙම පනත තුළ ඊට අදාළ මූලධර්ම හා ආයතනික ව්‍යුහය අන්තර්ගත වෙනවා.

පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ සියලුදෙනාගේ සහාය මේ සඳහා හිමි වනු ඇතැයි මම විශ්වාස කරනවා. රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කිරීමේ දී තේ කර්මාන්තයට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා. 19 වැනි සහ 20 වැනි සියවස්වල පැවති වැඩවසම් ආර්ථිකයේ සිට නවීන ආර්ථිකයකට අප පරිවර්තනය වූයේ තේ ඇතුළු අපගේ වැවිලි කර්මාන්තය නිසයි. තේ කර්මාන්තය නොතිබුණා නම් අද මේ රටේ බොහෝ නවීකරණ ක්‍රම ඇති නොවන්න තිබුණා. තේ කර්මාන්තය ඇති නොවන්න ඇල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් නොවන්නත් ඉඩ තිබුණා.

අප දැන් සිටින්නේ එහි තවත් සුවිශේෂි අදියරකයි. මෙහිදී අප යථාර්ථවාදී විය යුතුයි. අප වසර 30-40ක් තිස්සේ ඉඩම්වලින්, වතුකරයෙන් ලබාගැනීමට හැකිව තිබු ආදායම් අහිමිකරගත් රටක් බවට පත්වී තිබෙනවා. එම ආදායම් නැවත ලබා ගැනීම වෙනුවෙන් වතුකරයත්, රටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

එහිදී ඉහළම ඉපැයීම් දෙස අවධානය යොමු කරන කුඩා වතු හිමියන් සහ විශාල කළමනාකරණ සමාගම් යන දෙඅංශයෙන්ම දියුණු වන කෘෂි ව්‍යාපාර අපට අවශ්‍යයි. එහිදී සුවිශේෂි පියවර දෙකක් තිබෙන අතර වැටුප් ප්‍රශ්නය විසඳීම එහි පළමු අවශ්‍යතාවයයි. වතුකරයේ ජනතාව පසුගිය ආර්ථික අර්බුදයට හමුවේ වැඩිම පීඩාවකට ලක් වු ජනතාව අතර ඉදිරියෙන්ම සිටින බව අප අමතක නොකළ යුතුයි.

එසේම වතුකරයේ දැනට පවතින සියලුම ලයින් කාමර සහ ඒ අවට ප්‍රදේශ රජයට පවරාගෙන ගම්මාන ලෙස නැවත ගැසට් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට වතුකරයේ ඇති වන දියුණුව සමඟ ලයින් කාමර සංකල්පය තුරන් වී යනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ බහුමාන දරිද්‍රතා දර්ශක, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද වඩා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අප මේ කෙරහි ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කළයුතුයි. ඒ වගේම මෙම කාලය තුළ ඇතැම් ව්‍යවසායන්, විශේෂයෙන් කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් මුහුණ දී සිටින ණය ප්‍රශ්නය විසඳන්නේ කෙසේද යන ගැටළුව තිබෙනවා.

එසේම රුසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් බවට පත්ව තිබෙනවා. රුසියාව වෙත පනවා ඇති සම්බාධක ඔවුන්ට කිසිඳු ආකාරයකින් පසුබෑමක් ඇතිකර නැහැ. ඔවුන් කෙසේ හෝ ආසියාවට පැමිණ තිබෙනවා. ගැටලුව ඇතිවී තිබෙන්නේ රුසියාව සමඟ වෙළඳාම් කිරීමට සිටින අප වැනි රටවලටයි. අපට නව දැක්මක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය එනතෙක් අපට බලා සිටිය යුතුයි. එතෙක්, ඔබ ඔබේ තේ රුසියාවට ගෙන යන ආකාරය පිළිබඳ ඔබේ මාධ්‍යයන් භාවිතා කළ යුතුයි.

අපේ රටේ කුඩා වතු හිමියන් විශාල පිරිසක් සිටින අතර, ඒ හරහා වැවිලි කර්මාන්තය කෘෂි ව්‍යාපාරයක් බවට පත් කරන්නනේ කෙසේද කියා අප අවධානය යොමු කළයුතුයි. අප තේ වගාව පමණක් සිදු කරනවාද, නැතහොත් ඔබේ ප්‍රදේශවල සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ඉඩ ලබා දෙනවාද? කියා තීරණය කළ යුතුයි. ඉදිරි කාලය තුළ කෘෂි ව්‍යාපාර වර්ධනය සඳහා රටේ අනෙකුත් ප්‍රදේශවල ඉඩම් ලබාදීමට ද අප අපේක්ෂා කරනවා. ඒ පිළිබඳ සොයා බැලීමට ඔබට අවස්ථාව තිබෙනවා.

අපේ ඇතැම් සමාගම් පිටරට ගොස් ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා. තේ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛයා වී සිටින තාක් එය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවෙයි. ඒ යටතේ අප තවදුරටත් ඉදිරියට යා යුතුයි. තේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව ආධිපත්‍ය දැරිය යුතුයි.

අද තේ සඳහා පවතින ඉල්ලුම කුමක්දඅ? 80 සහ 90 දශකවල ඉපදුණු (Millennials) සහ Gen Z පරපුරේ අවශ්‍යතාව කුමක්ද, ඔබ මෙහි සිදුකරන ප්‍රවර්ධන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු හැර එම වැඩපිළිවෙළ ශ්‍රි ලංකාව තුළ හඳුනාගෙන නැහැ. එහිදී ඔබ යුරෝපය සහ ඇමරිකාව වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර නව ප්‍රවනතා සොයා බැලිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ඒ වගේම අපගේ තේ පර්යේෂණ ආයතනය ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

අප සියලුදෙනා එක්ව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. අපනයන ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනය ඉතා වැදගත් වෙනවා. එම කටයුතු සඳහා රජය සමඟ එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර :

මෙරට තේ තර්මාන්තය සහ එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ තිරසරව පවත්වාගෙන යාමට පරිවර්තනීය ගමනක් අප ආරම්භ කර තිබෙනවා. 2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ තේ සඳහා ගෝලීය වශයෙන් පිළිගත් ජාතික තිරසාර ප්‍රමිතියක් අප ස්ථාපිත කරනවා. මෙය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති අතර සංවර්ධනය සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවට ද පත්වෙනවා.

මෙම නව ප්‍රමිතිය මගින් අඩු කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් පුනර්ජනනීය කෘෂිකාර්මික ආකෘතියක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වනු ඇතියි. මෙම බහුවිධ ක්‍රියාපටිපාටි සහිත ප්‍රවේශය සඳහා අපගේ තේ නිෂ්පාදන ක්‍රියාවලීන් පාරිසරික වශයෙන් තිරසර හා ආර්ථික වශයෙන් වටිනා බව සහතික කිරීම සඳහා ශක්තිමත් ජීවන චක්‍ර විශ්ලේෂණයක් සිදු කිරීම ද ඇතුළත් වෙනවා.

මෙම සම්මේලනය සිලෝන් තේ සහ ගෝලීය පාර්ශවකරුවන් සඳහා වැදගත් සංසදයක් වෙනවා. ලොව පුරා තේ කර්මාන්තය තීරණාත්මක කාලයකට මුහුණ දී සිටින අතර “තේ – ජීවන රටාවක් සහ ජීවනෝපායක් ” යන මෙම සමුළුවේ තේමාව තේ කර්මාන්තය සඳහා කාලෝචිත සහ තීරණාත්මක වෙනවා. ඉදිරි දින දෙක තුළ සැලසුම් කර ඇති මෙම සංවාද තේ කර්මාන්තයේ අනාගතය සඳහා ඉතා වැදගත් වෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සම සභාපතිවරුන් වන ගනේෂ් දේවනායගම් සහ අනිල් කූක් ඇතුළු තේ වතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමියන් සහ තේ කර්මාන්තයට සම්බන්ධ දෙස් විදෙස් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රැමිස් (RAMIS) ගැන හොයන්න පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට !

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත පිළිගැන්වීය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 24/0696/604/079 වෙත ලබා දුන් 2024 අප්‍රේල් මස 8 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කෙරිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කළ අතර මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති සහකාර ලේකම් රසාලි විජේසූරිය  කටයුතු කළාය.

එසේම මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට සහාය වීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංගගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරීන්ගේ කමිටුවක් ද පත්කර තිබිණ.

සමන් රත්නප්‍රියගේ මැදිහත්වීමෙන් බෙල්ලංවිලට නව ක්‍රීඩාංගණයක් !

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීමේ සහ තරුණ තරුණියන්ගේ මානසික සහනය සඳහා ගෙනයන වැඩපිළිවෙලේ එක් වැඩසටහනක් ලෙස බෙල්ලන්විල ප්‍රදේශයට නව ක්‍රීඩාංගනයක් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රියගේ ප්‍රධානත්වයෙන් ඊයේ, (24) සිදු කෙරිණ.

බෙල්ලන්විල ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා කිරීමට නිසියාකාර ක්‍රීඩාංගනයක් නොතිබීම හේතුවෙන් ඔවුන් විවිධ දේශපාලනික සහ විවිධ පුද්ගලයන්ගෙන් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය සපුරාලන ලෙස ඉල්ලා තිබිණ .

එම ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාරයක් දක්වමින් කැස්බෑව එජාප ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් බෙල්ලන්විල විහාර මාවතේ දිවුල් පිටිය පාරේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩමක් ක්‍රීඩාංගනයකට සුදුසු පරිදි සකස් කොට ලබාදී තිබේ.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් සිදුකෙරුණු මෙම ක්‍රීඩාංගනය ලබාදීමේ අවස්ථාවට
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති කොමදෝරු හිරාන් S. බාලසූරිය ද සහභාගි වී සිටියේ ය.

එසේම කැස්බෑව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක්ද බෙල්ලන්විල ක්‍රීඩා සමාජයේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රීඩාංගණය නිල වශයෙන් බෙල්ලන්විල ක්‍රීඩා සමාජයේ සභාපති හට බාරදීමෙන් අනතුරුව පිරිස සුහද ක්‍රිකට් තරගයක් සඳහා ද සහභාගී වූහ.

පසුව මාධ්‍ය ඇමතු එජාප කැස්බෑව ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තරුණ තරුණියන් සවි බල ගැන්වීමේ වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වීමක් සිදුකළේ ය.

රුපියල් 3000ක දීමනාවක් සමඟ විශ්‍රාමික ප්‍රජාවට සුබ ආරංචියක් !

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ බව තහවුරු කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේ සඳහන් කර ඇත.

"රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා."

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විශ්‍රාමික ප්‍රජාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩනයකට මුහුණ දුන් පිරිසක් බැවින් ඔවුන් සම්බන්ධයෙන් වන සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට රජය ගෙන ඇති තීන්දුව අතිශය වැදගත් බවයි.

එසේම රට අර්බුදයෙන් මිදෙමින් ආර්ථික ස්ථාවරත්වයක් කරා ශක්තිමත් ලෙස ගමන් කිරීමට ගෙන ඇති බව මේ හරහා තවදුරටත් තහවුරු කෙරෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වුවත් වත්මන් ප්‍රතිපත්තියේ කිසියම් හෝ වෙනසක් අනාගතයේ සිදුවුවහොත් මේ පළමුව අහිමි වන්නේ සහ කප්පාදු වන්නේ මෙවැනි සුබසාධක ප්‍රතිලාභ බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Page 53 of 466