සංස්කෘති සඟරාව සිය ප්‍රතිපත්තිය මංගල කලාපයේ දක්වා ඇති අතර එකී සඳහන අනූව විවේචනය, විග්‍රහය සහ විචාරය මනාව සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.
ඒ අනුව යමින් නිසි විචාර මාර්ගය හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම ප්‍රඥාව වෙත ප්‍රවේශ වීමට ඉඩ සැලසෙන පරිසරයක් ඇතිකරලීමට ඉවහල් වනු ඇත.
සංස්කෘති සගරාවේ සමාරම්භකයකු වන අමරදාස වීරසිංහ විසින් මේ පිළිබඳව වැඩිදුර අවධාරණය කරමින් සංස්කෘති ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ ධර්මසිරි ඒකනායක සූරීන් ගේ නිබන්ධ සමූහනය කර පළ කළ ''සාහිත්‍යය සහ විචාර කලාව'' කෘතියෙහි දැක්වෙන අදහස් ඔබගේ අවධානයට යොමු කරමින් එම කෘතිය පරිශීලනය කිරීමට ආරාධනය කරමි.
විචාරකයා ගේ කාර්යය
සාහිත්‍යයක දියුණුවට විචාර කලාව ඉතා ම අවශ්‍ය ය. සාමාන්‍ය පාඨක ජනයා ග්‍රන්ථයක් කියවා රස විඳීමට දැන සිටිය ද ඒ ග්‍රන්ථයේ අගය මැනීමට සමත් නොවේ. ඔවුන් ඇතැම් ග්‍රන්ථ හොඳ යැයි ද ඇතැම් ග්‍රන්ථ නරක යැයි ද තීරණය කරන බව සැබෑ ය. එහෙත් තමා එක්තරා ග්‍රන්ථයක් ප්‍රිය කිරීමටත් තවත් ග්‍රන්ථයක් අප්‍රිය කිරීමටත් හේතු වූ කරුණු බුද්ධියට ගෝචර වන පරිදි, නිරාකුල ව ප්‍රකාශ කිරීමට සාමාන්‍ය පාඨකයා සමත් නොවේ.

ග්‍රන්ථයක් කියවීමෙන් තම සිත තුළ පහළ වූ හැඟීම් පැහැදිලි ව ප්‍රකාශ කළ හැක්කේ සාහිත්‍ය විචාරයෙහි පරිචයක් ඇති විචාරකයකුට පමණි. විචාරකයා ගේ කාර්යය වනුයේ සාහිත්‍ය ග්‍රන්ථ වල අගය, හේතු සහිත ව පාඨකයින්ට පෙන්වා දීම ය. ඔහු ගේ විචාරය කියවන පාඨකයා. වැදගත් නැතහොත් නිස්සාර ග්‍රන්ථ මොනවා ද ඒ ග්‍රන්ථ වැදගත් හෝ නිස්සාර හෝ වන්නේ කුමක් නිසා ද යන්න වටහා ගනියි. විචාරයෙන් පාඨකයාට පමණක් නොව ගත්කරුවාට ද ප්‍රයෝජනයක් සිදු වේ.
ගත්කරුවා තමා නිර්මාණය කළ ග්‍රන්ථයේ අඩු ලුහුඬුකම් අගතිගාමී නො වී වටහා ගැනීමට අසමත් වෙයි. ඔහු ගේ ග්‍රන්ථයේ උස් පහත්කම ගැන විචාරකයා අමුතු ම දෘෂ්ටි කෝණයක පිහිටා පළ කරන මත තමා ගේ නිර්මාණයේ ශක්තිය හෝ දුර්වලකම හෝ අවබෝධ කර ගැනීමට ලේඛකයාට උපකාර වෙයි. එබැවින් සාහිත්‍ය විචාරය උසස් සාහිත්‍යය ග්‍රන්ථ නිර්මාණයටත් පාඨක ජනයා ග්‍රන්ථවලින් ලබන ආස්වාදය තියුණු කිරීමටත් හේතු වේ. විචාර කලාවේ දියුණුවත් සාහිත්‍යයේ දියුණුවත් අත්වැල් බැඳ ගෙන යන්නේ ඒ නිසා ය.
විචාරකයා සතුව පැවතිය යුත්තේ මොනවා ද...?
පළමුවෙන් ම විචාරකයකුට අවශ්‍ය වන්නේ තියුණු වින්දන ශක්තියකි. ජීවිතය සහ සාහිත්‍යය ආශ්‍රයෙන් සියුම් හැඟීම් උපදවා ගැනීමේ ශක්තියක් ඔහුට තිබිය යුතු ය. මේ ශක්තිය විචාරකයකුට පමණක් සීමා වු අපූරු දෙයක් නොවේ. සෑම මිනිසාට ම මෙය අඩු වැඩි වශයෙන් සහජයෙන් ම පිහිටා තිබේ. විචාරකයා දීර්ඝ කාලයක් තිස්සේ තම හැඟීම් ශික්ෂණය කිරීමෙන් ඔහුගේ වින්දන ශක්තිය තියුණු කර ගත්තෙකි. ජීවිතයේ යම් කිසි අවස්ථාවකට මුහුණ දුන් විට හෝ සාහිත්‍ය කෘතියක් කියවන විට හෝ ඒ අත් දැකීම විචාරකයාට වහා ම ඉන්ද්‍රිය ගෝචර වන්නේ ඔහු තියුණු වින්දන ශක්තියක් ඇත්තකු නිසා ය. වින්දන ශක්තිය සහජයෙන් ම පිහිටන දෙයක් වුවත් හිතා මතා දියුණු කර ගත හැක්කකි.

විචාරකයකුට අත් දැකීමක අගය මැනීමේ ශක්තියක් ද තිබිය යුතු ය. වයසින් සහ අත් දැකීමෙන් මෝරන විට මිනිසා ගේ අගය මැනීමේ ශක්තිය ද මෝරයි. තියුණු වින්දන ශක්තියකින් හෙබි විචාරකයා සාමාන්‍ය මිනිසාට වඩා වයසින් අඩු වුවත් අගය මැනීමේ ශක්තියෙන් දියුණු වූවෙකි. ඔහු ජීවිතයෙන් සහ සාහිත්‍ය කෘති හැදෑරීමෙන් ලත් අත්දැකීම් ආශ්‍රයෙන් සකස් කර ගත් හර පද්ධතියේ ආධාරයෙන් අලුත් අත් දැකීමක අගය මනියි. විචාරකයකු වශයෙන් ඔහු ගේ පරිණත අපරිණත භාවය හෙළි වන්නේ ඔහු අත්දැකීමක අගය මනින ආකාරයෙනි.
පැරණි හණ මිටිය ම කර තබාගතහොත්…
අපේ සාහිත්‍යය දියුණු මගකට හැරවීමට නම්, උසස් විචාර සම්ප්‍රදායක් ගොඩ නැංවීමට අප සැම උත්සාහයක් යුතු ය. පැරණි හණ මිටිය ම කර තබාගතහොත් අපට කිසි කලක එවැනි විචාර සම්ප්‍රදායක් බිහි කළ නොහැකි ය. එවැනි විචාර සම්ප්‍රදායක් අපට බිහි කර ගත හැකි වන්නේ ව්‍යාජ ජාතිවාදය ඉවත ලා උසස් විදේශීය සාහිත්‍යවල හරය උකහා ගැනීමට අප සුදානම් වුවහොත් පමණි. සිංහල විචාර සම්ප්‍රදායක් ගොඩ නැංවීම පිණිස විදේශීය විචාර මූලධර්ම උකහා ගන්නා විට අපේ සාහිත්‍යයට විශේෂ වූ අංග ලක්ෂණ ගැන ද සලකා බැලිය යුතු ය. මේ කාර්යය කිරීමට ආරම්භ කිරීමේ දී නොයෙන් වැරදි සිදුවීමත් අවුල් ඇති වීමත් ස්වාභාවික ය.
අලුත් විචාර සම්ප්‍රදායක් බිහි කිරීම හීන් සීරුවේ කළ යුතු දුෂ්කර කාරියකි. එහෙත් අප බොහෝ දෙනා දරන පටු මත ඉවත ලා පුළුල් දෘෂ්ටියකින් බැලීමට අප පුරුදු වුව හොත් අවසානයේ දී දැනට පවතින අවුල් සහිත තත්ත්වය මඟ හැරී සුඛනම්‍ය සාරවත් විචාර සම්ප්‍රදායක් බිහිවනු නො අනුමාන ය. අප දැනට මුහුණ පා සිටින ප්‍රශ්න විසඳිය හැක්කේ විදේශීය බලපෑම් තුරන් කිරීමට අපේ කන්වල ඉටි ඔබා ගැනිමෙන් නොව. ඒ බලපෑම්වලට කෙළින් මුහුණ දී ඒවායේ සාරය උරා ගැනීමට පුරුදු වීමෙනි.
(භාරත පෙරේරා)
උපුටා ගත්තේ 'සිංහල සුරකිමු නව ලොව උදෙසා' whatsapp සමූහයෙන්

