දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑමත් සමග ඇතැම් පිරිස්, එයට හේතුව ආසන්න කාලයේ ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීම නිසා බව ප්‍රකාශ වන පෝස්ට් පළ කර තිබුණා; ශෙයාර් කර තිබුණා. ඒවා පළ කරපු , ශෙයාර් කරපු පිරිස් අතර දැන උගත් බුද්ධිමත් යැයි සමාජය විසින් හඳුනන පිරිස් හිටියා.

ආගමේ මූලික හරය අවබෝධ කරගෙන තිබෙන්නෙ සීමිත ප්‍රමාණය යි
බුකියෙ බොහෝ දේවල් ගැන විවෘතව කතා කළත් ආගම් ගැන මම කතා කරන්න කැමති නෑ. මොකද ආගමක්, ලබ්ධියක් ඇඳහීම පෞද්ගලික යි. ආගම් ඇදහීම පෞද්ගලිකව සිදුවෙනව නම් මේ ලෝකෙ මීට වඩා ලස්සනයි. ආගම් අදහන අයගෙන් එහි මූලික හරය අවබෝධ කරගෙන තිබෙන්නෙ සීමිත ප්‍රමාණය යි. නමුත් අර බුදු පිළිම කතාවත් එක්ක ආගම් ගැන කතා කිරීම ගැන මා විසින් මට ම පනවාගෙන තිබූ ස්වයංවාරණය බිඳින්න තීරණය කළා. මේ ආපදාවෙන් ගෙවල් දොරවල් ගොඩනැගිලි විනාශ වුණා.
ඒවයෙ තිබුන ජේසුස් ප්‍රතිමා පමණක් නෙවෙයි බුදු පිළිම පවා විනාශ වුණා. මා දන්න බුදුන් වහන්සේ අපා දෙපා සිවුපා ඇතුළු ලොව සියලු සත්වයින්ට මෛත්‍රිය කළ කෙනෙක්. මෛත්‍රී භාවනාවේ කියන්නෙ 'මා මෙන්ම සියලු සත්වයන් නිදුක් වෙත්වා...! නිරෝගි වෙත්වා...!! සුවපත් වේවා...!!!' කියල. බුදු රජාණන් වහන්සේ රහසින්වත් කිසිවෙකුට හානියක් කළ අයෙක් නෙවෙයි.
බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය කියන්නෙ දෙකක්
බුදුන් වහන්සේ යනු: නාලාගිරි, අංගුලිමාලා, දේවදත්ත යනාදි තමන්ව මරන්න ආපු අයටත් මෛත්‍රිය කළ අයෙක්. උන් වහන්සේ දේශනා කළේ තමන් කිව්වත් පිළිගන්න එපා. විමසා බලා තම නැණ පමණින් එය වටහාගෙන තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමණක් එය පිළිගන්න කියලයි උන් වහන්සේ දේශනා කළේ. අද බුදු හාමුදුරුවන් නෑ. උන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනය අදටත් පවතිනවා. දර්ශනයක් තියෙන්නෙ හදාරන්න සහ අනුගමනය කරන්න. බෞද්ධ දර්ශනයේ යම් යම් කොටස් මත බෞද්ධ ආගමකුත් ගොඩනැගිල තිබෙනවා. බෞද්ධ දර්ශනය පැත්තකින් තියල අද බොහෝමයක් දෙනා එය ආගමක් ලෙසට ඇදහීමක් කරනවා. ඔයට අමතරව බෞද්ධ ශිෂ්ටාචාරයකුත් තියෙනවා. පුරාණ වෙහෙර, විහාර, ප්‍රතිමා, පිළිම, පන්සල්, සංඝාවාස, ගොඩනැගිලි වැනි භෞතික දේවල් එක්ක ගොඩනැගුණු අධ්‍යාත්මික සංස්කෘතික වටිනාකම් බොහොමයක් තියෙනවා. ඕනෑම ආගමක ජාතියක සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වෙන්න ඕනි. බෞද්ධ සංස්කෘතික වටිනාකම්ද ආරක්ෂා විය යුතුයි. හැබැයි ඉතින් බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය කියන්නෙ දෙකක්.

බුද්ධාගම තියෙන්නෙ අපිට බේරෙන්න මිසක අපි විසින් බේරගැනීමට නොවේ
ඊට පස්සෙ තියෙනවා බෞද්ධ සාහිත්‍යය කියල එකකුත්. සාහිත්‍යයක් තියෙන්නෙ රස විඳින්න. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම්වලින් සෑහෙන්න වෙනස් වෙනවා. මොකද සාහිත්‍ය නිර්මාණයක් කියන්නෙ ඉතිහාසයක්, ආගමක් හෝ දර්ශනයක් හෝ ගෙඩිය පිටින් ලිවීමක් නෙවෙයි. ඒ තුළ නිර්මාණකරුවා තමන් ගේ පරිකල්පනයෙන් ගොඩනගන කොටසකුත් තියෙනවා.
නමුත් බෞද්ධ සාහිත්‍ය බුද්ධාගම කියල හිතන අයත් ඉන්නවා. පිළිමයක් ඉවත් කරා, කැඩුවා, පන්සලක් අයින් කරා කියල බෞද්ධ දර්ශනය හෝ බුද්ධාගමට හානියක් වෙන්නෙ නෑ. ඒකෙන් බෞද්ධ ශිෂ්ටාචාරයේ සංස්කෘතිකමය දේවල් හානියට පත්වෙන්න පුළුවන්. ඒවා වැළැක්විය යුතුයි. දුශ්ශීල භික්ෂුන්ගේ අශ්ශීල ක්‍රියා සහ කතා විවේචනය කරා කියල බුද්ධාගම නැති වෙන්නෙ නෑ. දුශ්ශීල භික්ෂුන් නිසා බුද්ධාගම නැති වෙන්නෙත් නෑ.
හැබැයි සාසනය පිරිහීමට ලක්වෙනවා. කාලෙන් කාලෙට දේශපාලකයින්, භික්ෂූන්, ගිහියන් බුද්ධාගම නැතිවෙනවා. එය ආරක්ෂා කරගන්න ඕනි කියල කෑගහනව නෙ. බුද්ධාගම හෝ බෞද්ධ දර්ශනය කියන්නෙ එහෙම නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කාටවත් නැති කරන්නත් බෑ. බුද්ධාගම තියෙන්නෙ අපිට බේරෙන්න මිසක් අපි විසින් බේරගන්න නෙවෙයි.
බුදු රජාණන් වහන්සේ පළිගන්නෙක් ද...?
මම දන්න අති ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා තමයි බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේ පරිසරයට කොපමණ ආදරය කළා දැයි කියනව නම් ඉපදෙන්න තෝරගත්තෙ ස්වාභාවික සෞන්දර්යෙන් අනූන පරිසර පද්ධතියක්. බුදු වුණේ ගසක් යට. පිරිනිවන් පාන්න තෝරගත්තෙ සල් උයනක්. උන් වහන්සේ නිශ්ශබ්දතාව උපරිමයෙන් අගය කළ අයෙක්. ඉතාමත් ශාන්ත මිහිරි ස්වරයෙන් දම් දෙසූ අයෙක්. උන් වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි සකල ලෝ වාසීන්ට ම ආදරය කරුණාව දැක්වූ අයෙක්. බුදු පිළිමයක් ඉස්සීමෙන් මහා විනාශයක් වුණා කියන පිරිස ව්‍යංගයෙන් කියන්නෙ බුදු රජාණන් වහන්සේ පළිගන්නෙක් කියල. ඒ වගේ ම උන් වහන්සේ යකෙකුට සමාන කිරීමක් කරනවා ඔවුන් නොදැනුවත්ව. බුද්ධාගම කියල පොතපතේ තියෙන සමහර දේවල් මටනම් පිළිගන්න බෑ. නමුත් ඒවා විවේචනය කරල රැඩිකල් පොරක් වෙන්න අවශ්‍යතාවක් නෑ. ඇත්තෙන් ම එය බුද්ධාගම නෙවෙයි පසුකාලීනව බමුණන් සහ සාහිත්‍යකරුවන් විසින් එකතු කළ ඒවා. විය නොහැකි අතිශයෝක්ති වගේ දේවල් නිර්මාණය කර තිබෙන්නෙම මිනිස්සු කෙරෙහි ආගමික ශ්‍රද්ධාවක් ඇති කරන්න. ඒවා තිබුණා කියල කාටවත් හානියක් නෑ. හැබැයි ඉතින් ඒවා විවේචනය කරන්න සොයා බලන්න තහනමකුත් නෑ. හොයා බලන තරමට හොඳයි. එතකොට මූලික හරය හොයාගන්න පුළුවන්.
උපුටා ගත්තේ Chathuranga Amarathunga ගේ face book පිටුවෙන්

