‘නර්මදාගේ ස්වයංවරය’ යනු ලේඛක කංචන දිසානායකගේ නවතම නවකතාව යි.
මීට පෙර පාඨකයාට ඉදිරිපත් කළ නවකතාවල තේමාවන්ට ඉඳුරාම වෙනස් තේමාවක් 'නර්මදාගේ ස්වයංවරය' සඳහා භාවිත කර ඇත.
තම අනාගත සහකරුවා තෝරාගැනීම සම්බන්ධයෙන් තරුණියක මුහුණ දෙන සිද්ධි දාමයක් සිය වස්තු විෂය කර ගනිමින් මෙම කතා පුවත දිග හැරේ. එහි දී ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය හා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යන දෘෂ්ටිකෝණයන් දෙකකින් මෙම ආඛ්‍යානය ගොඩනංවා තිබීම විශේෂත්වයකි. නවකතාවක දී පොදුවේ දැකිය හැකි සාමාන්‍ය ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් කතුවරයා සිය කතාව ඉදිරිපත් කිරීමේ දී යොදාගෙන ඇත.
පසුබිම
කතාවේ ප්‍රධාන චරිතය නර්මදා නම් වූ යුවතියකි. මනා අධ්‍යාපනික පසුබිමක් සහිත ඇය ධනවත් පවුලක එකම දියණිය යි. ව්‍යාපාරයකට උරුමකම් කියන ඇගේ මව, සිය සැමියා වන නර්මදා ගේ පියා ගෙන් දික්කසාද වන්නේ නර්මදාට අවුරුදු දොළහක් තරම් වූ කුඩා වයසක දී ය. ඔහු සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. දැනටත් ඔහු මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. නර්මදා ගේ මව දෙවෙනි විවාහයක් සිදු කර ගන්නා අතර ඔහු ද ව්‍යාපාරිකයෙකි. නර්මදා ගේ සුළුපියා සහජාතක දරුවකුට මෙන් ඇයට ආදරය හා රැකවරණය සපයන්නේ කෙදිනක හෝ වෙනස්කමක් නොකරමිනි. නර්මදා ගේ මවගේත්, ඇගේ සුළුපියා ගේත් එකම අභිලාෂය නර්මදා පවුලේ ව්‍යාපාර කටයුතුවලට හවුල් වී ඒවා බලා ගැනීම වන අතර දියණිය ඒ සම්බන්ධයෙන් දරන්නේ වෙනස්ම මතයක් වීම ඇගේ මව නොසන්සුන් කරවන තත්ත්වයකි. නර්මදා ව්‍යාපාරික අදහස් ප්‍රතික්ෂේප කරන්නී ය. එනිසා ඇය රාජ්‍ය නොවන සංවිධානයක (NGO) රැකියාව කරන්නී ය. නවකතාවට අනුව නර්මදා වෙනුවෙන් විවාහ යෝජනාවක් ලැබෙන අතර යෝජිත පවුල නර්මදා ගේ මව ගේත් සුළුපියා ගේත් හිතවත් ව්‍යාපාරික පවුලකි. ඔය අතර නර්මදා, රුක්ෂාන් නම් තරුණ නාට්‍යකරුවකු හඳුනාගන්නී ය. යෝජිත කවිෂ හා නාට්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් යන දෙදෙනා එකිනෙකාට සන්සන්දනය කරමින්, සිය අනාගත සහකරුවා තෝරාගැනීම සම්බන්ධයෙන් නර්මදා මුහුණ දෙන අභ්‍යන්තර අරගලය පිළීබද යථාර්ථවාදී කතාවක් සිය නවකතාව හරහා කතුවරයා විසින් මෙහි දී ඉදිරිපත් කරනු ලබයි.

මවගේ අසීමිත මැදිහත්වීම
නර්මදා අත්විඳින මානසික ව්‍යාකූලත්වයේ තරම නිරූපණය කිරීමට විවිධ අවස්ථා හා සිද්ධි යොදාගෙන තිබේ. නර්මදා ගේ චිත්ත අභ්‍යන්තරය අවබෝධ කරගැනීම සඳහා ඇය ගේ දිනපොත් සටහන් පොත කියවන විට හමුවනු ඇත. තරුණ දියණියක සිටින ඕනෑම මවක එකී දියණියගේ අනාගත සුබසිද්ධිය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන බව නොරහසකි. නිසිකලට තම දියණිය සුදුසු සහරුවකුට සරණපාවා දීම ඕනෑම මවකගේ සිහිනය යි. දූවරු සම්බන්ධයෙන් පමණක් නොව පුතුන් සම්බන්ධයෙන් ද මේ කාරණය මෙසේම ය. සහකරුවා තෝරාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගත යුත්තේ එකී සහකරුවා සමග ජීවිතය බෙදාගන්නා යුවතිය වුව ද විවිධ හේතු මත ඒ තීරණය වෙනුවෙන් දෙමව්පියන්ගේ ඍජු මැදිහත් වීම් සිදුවනු ඕනෑ තරම් දැක ගත හැකිය. මෙම කතාවේ දී සිදුවන්නේද එවැන්නකි. නර්මදාගේ මවගේ අසීමිත මැදිහත්වීම හමුවේ තවදුරටත් නර්මදා මානසිකව කඩාවැටෙන අන්දම කතුවරයා විසින් විමසුමට ලක් කර තිබේ.

“ඔයාට මොනවද ඔච්චර හිතන්න තියෙන්නෙ? ඔයා පොඩි ළමයෙක් නෙමෙයි... දැන් ඔයාට අවුරුදු තිස් දෙකයි. ඔයාගෙ ජීවිතේ ගැන ඔයා ඔයිට වඩා වගකීමෙන් හිතන්න ඕනි”
පිටුව 19
“අන්න කිව්වා බොරුවක්. ඔයා ඊයෙ කරපු හැමදෙයක්ම කළේ හිතා මතාමයි. ඔයාට ඕනි කළේ කවිෂට කැමති නැති බව අපි හැමෝම ඉස්සරහ ක්‍රියාවෙන් පෙන්වන්න. හැබැයි ඔයා දන්නෙ නෑ ඒකෙන් අපිට ඇතිවෙන අවනම්බුව කොච්චරද කියලා..”
පිටුව 135
“වතුර රත් කළාට කමක් නැහැ. හැබැයි අපේ ලේ රත් කරන්න හදන්න එපා”
පිටුව 133
මව ගේ පාර්ශ්වයෙන් මෙකී ප්‍රකාශ සියල්ල සාධාරණ වුව ද තිස් දෙහැවිරිදි නර්මදා ගේ පාර්ශ්වයෙන් ඒවා සාධාරණ නොවන බව මාගේ හැඟීමයි. කතුවරයා මෙකී දෙබස් හරහා නිරූපනය කිරීමට උත්සාහ කරන්නේ තම අවිවාහක දරුවන් සම්බන්ධයෙන් වන ශ්‍රී ලාංකික මවක ගේ චරිත ස්වභාවය නොවේදැයි මම විමසමි. එනිසා දරුවන්ගේ ගමන්-බිමන් ගැන අම්මලා විමසිල්ලෙන් සිටිති. යම් හෙයකින් තරමක් ප්‍රමාද වී පැමිණියහොත් එය ද ප්‍රශ්න කරන්නේ ඔවුන් කුඩා දරුවන් ලෙස සලකමිනි. නර්මදා සම්බන්ධයෙන් ඇගේ මව කටයුතු කරන්නේ ද එසේය.
“පොඩි බබෙක් නොවන හන්දා තමයි මං මේ කියන්නේ.. අඩු ගානේ පරක්කු වෙන කොට කෝල් එකක් දීලා කියන්න පුරුදු වෙන්න ඕනි. වෙනදා හයට ගෙදර එන ගෑනු ළමයා ගෙදර එන්න පරක්කු වෙනකොට අම්මා කෙනෙක් බය වෙන්නෙ නැද්ද?”
පිටුව 44
මෙරට සාමාන්‍ය මවක හැසිරෙන්නේ ද මේ ආකාරයටම ය. යන්නේ කෙහෙද? ඉන්නේ කොතැනද? කරන්නේ මොනවාද? ආදී වශයෙන් පැයෙන් පැයට විස්තර වාර්තා කිරීම දියණියක ගැන වදවෙන මවකගේ පැත්තෙන් සාධාරණ වුව ද, ඉතා හොඳින් අධ්‍යාපනය ලබා රැකියාවක් කරමින් සමාජය ගැනද පුළුල් අවබෝධයක් ඇති තරුණියක ගේ පාර්ශ්වයෙන් එය කෙතරම් සාධාරණදැයි මෙම පොත කියවීමේ දී පාඨකයා වටහාගනු ඇත. එවැනි මවුවරුනට මේ හරහා පණිවිඩයක් ලබා දීමට කතුවරයා ගන්නා උත්සාහය අගය කළ යුතු ය.

සුළු පියා ගේ මැදහත් භාවය
මව එසේ වුවත් නර්මදාගේ සුළුපියා (බාප්පා) ක්‍රියා කරන්නේ වෙනස්ම ආකාරයට ය. ඔහු සෑමවිට ම මව සහ දියණිය අතර සිදුවන වචන හුවමාරුවල දී මැද මාවතක හිඳ ක්‍රියා කරයි. ඇවිළෙන ගින්න නිවා දැමීමට ඔහු කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඉවසීමෙන් යුතුව අවස්ථානුකූලව වචන භාවිත කිරීම හරහා ඕනෑම ගැටුම්කාරී අවස්ථාවක් සමථයකට පත්කර ගැනීමට ඇති හැකියාව යැයි මට සිතේ. නර්මදා, ඇයගේ මව සහ බාප්පා අතර සිදුවන සංවාද මීට උදාහරණ සපය යි.
“චතුරිකා.. ඔයා පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ... මේවා රණ්ඩු වෙලා විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි” ඩන්ස්ටන් කීවේ නර්මදා සහ චතුරිකා දෙස බලමිනි. “නර්මදා, තේ එක අරන් ඇවිත් මෙහෙන් වාඩි වෙන්න.. චතුරිකා, ඔයත් එන්න..”
පිටුව 133
පියා සහ සුළු පියා ගේ භූමිකා
නර්මදා සම්බන්ධයෙන් වන තීන්දු තීරණවල දී, විශේෂයෙන් ම ඇයගේ විවාහය සම්බන්ධයෙන් වන තීරණයේ දී ඩන්ස්ටන් (නර්මදා ගේ සුළුපියා) ගේ ප්‍රගතිශීලී ක්‍රියා පිළිවෙත අගය කළ යුතු ය. ඩන්ස්ටන් සේම නර්මදා ගේ පියා ද මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනුයේ අදාළ තීරණය සිය දියණියට ම ගැනීමට ඉඩ සලසමිනි. මින් පෙර නර්මදාට පැමිණි යෝජනා සම්බන්ධයෙන් වන තීන්දුවල දී රොහාන් (චතුරිකා ගේ පියා) යම් මැදිහත්වීමක් දක්වනු ලැබුව ද කවිෂ සම්බන්ධයෙන් වන යෝජනාවේ දී නර්මදාගේ පියා අඩියක් පස්සට තබයි. නර්මදා සිය අනාගතය සම්බන්ධයෙන් වන වැදගත්ම තීරණය ගැනීමට සිය පියාගෙන් උපරිම සහය පැතුව ද, පියා මැද මාවතක හිඳ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම මෙහි දී ගෙනහැරපාන්නේ පාඨකයාට හිතන්නට යමක් ඉතිරි කරමිනි. සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන නිසා ඇතැම් උපදෙස් ඇය නර්මදාට පවසන්නේ දියණියකට පියකු ලෙස නොව ශිෂ්‍යාවකට සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ය. විවාහය යනු හුදෙක් සරල දෙයක් නොවන බවත්, එය දෙදෙනෙකු අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත බැඳීමක් හරහා සිදුවන කුටුම්භගතවීමක් බවත් නර්මදාට තේරුම් කරන මහාචාර්යවරයා එහි අවසාන තීරණය ගත යුත්තේ අන් අයෙකුගේ බලපෑම මත නොව තම හිතට එකඟව තමාම බව අවධාරණය කරයි. යෞවනත්වය ඉක්මවා වැඩිහිටි වියට පාතැබූ පසු අප ගන්නා තීරණවල අයිතිය ඇත්තේ අපට පමණි. ඒ සම්බන්ධයෙන් වගකීම ඇත්තේද තමාට ය. විවාහ වී දියණියක ලබා සිය බිරිඳගෙන් වෙන්ව සිටින මහාචාර්යවරයා තම ජීවිත අත්දැකීම් ද පාදක කර ගනිමින් නර්මදාට උපදෙස් දෙන්නේ පරිස්සමිනි.
“තනියම ජීවත් වෙනවානම් ඒකට අවශ්‍ය පසුබිම කියන්නේ මුදල්, සිවිල් බලය, ස්ථිර නවාතැනක් වගේ දේවල් විතරක් නෙමෙයි. හොඳ රැකවරණයකුත් අවශ්‍යයි. රැකවරණය කියන්නේ පිරිමියෙකු ළඟ ඉන්න ඕනි කියන එකම නෙමෙයි. ඒ රැකවරණය තමන්ගේ චරිතය සහ පෞරුෂය තුළින් ඇති කර ගන්න ඕනි දෙයක්. ගොඩක් තරුණ ගෑනු ළමයි හිතනවා මුදල්, යාන වාහන, ඉන්න හිටින්න තැනක්, යාළු මිත්‍රයො ඉන්නවනං තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒක වැරදියි. එහෙම ඉන්න ගිහින් බොහෝ දෙනා නොයෙක් කරදරවලට පැටලෙන්නේ ඒ නිසයි.”
පිටුව 206
කතුවරයා ගේ දෘෂ්ටිය
මහාචාර්යවරයා විසින් නර්මදාට එවනු ලබන විද්‍යුත් තැපැල් පණිවිඩයකින් උපුටාගත් යථෝක්ථ ජේදය හරහා විවාහය තුළින් රැකවරණය, යස-ඉසුරු, සැප-සම්පත් පමණක් සොයන සමස්ත ගැහැනු ළමයින්ටම සපයන්නේ පණිවිඩයකි. විවාහ නොවී ජීවිත කාලයම හුදකලාවේ සිටීමට ප්‍රිය කරන අයට ද මෙය වලංගුය. විවාහ වීම හෝ තනිකඩව සිටීම යන කුමන තීරණයක් හමුවේ වුව ද අවබෝධයෙන් සහ පැසුණු මනසින් යුතුව කටයුතු කිරීමට නම් ස්වචරිත අභ්‍යන්තරය තුළින් ගොඩනැගී ඇති පෞරුෂය ඊට ඉවහල් වනු ඇත. සිය කතාව තුළින් කතුවරයා ගොඩනගන මෙවැනි දෘෂ්ටිවාද ඔස්සේ තත්කාලීන සමාජයට වැදගත් පණිවිඩ ලබා දෙන බව මාගේ හැඟීමයි.
තරුණයින් දෙදෙනකු ගේ ආගමනය
නර්මදා යනු හුදෙක් හැඟීම් මත පිහිටා කටයුතු නොකරන යුවතියක බව කතාව කියවන විට පෙනී යයි. මව ගේ විවිධ බලපෑම් හමුවේ මානසිකව වැටෙන ඇය පියා ගේ ඍජු උපදෙස් පැතුව ද, ඒවා සිතන ලෙස නොලැබී යෑමෙන් ඇය තව තවත් ව්‍යාකූලත්වයට පත්වෙයි. මේ හේතුව උඩ නර්මදා වඩාත් සමීප වන්නේ ක්‍රිෂානි නම් මිතුරියක සමඟය. නර්මදා මුදුණදෙන සියලු දෑ ඇය සිය යෙහෙළිය ඉදිරියේ පවසන්නී ය; ඒ තුළින් ඇය කිසියම් අස්වැසිල්ලක් ලබන්නී ය. කොතෙකුත් මිතුරන් සිටිය ද අඩුම තරමින් අපට ඇහුම්කන්දෙන එක මිතුරෙකුගේ හෝ අවශ්‍යතාවය පැනනගින්නේ ජීවිතයේ ගැටලු ඇති වෙන තැන්වල දී ය. ක්‍රිෂානි යනු හොඳින් සවන් දෙන මිතුරියකි. ඇය ද දික්කසාද වී සිටින බැවින් සමකාලීන මිතුරියක ලෙස විවාහය සම්බන්ධයෙන් ක්‍රිෂානි දරන අදහස් තමාට යම් පිටිවහලක් ගෙනදෙනු ඇති බවට නර්මදා සිතන්නී ය. එනිසා ම ඇගේ අදහස් සහ උපදෙස් නර්මදා වැඩිපුර බලාපොරොත්තු වන්නී ය. කෙසේ නමුදු ජනප්‍රිය නාට්‍යකරුවකු වන රුක්ෂාන්ව නර්මදාට මුණගැසෙන්නේ ක්‍රිෂානි ගේ යහළුවෙකු හරහා ය. නර්මදා ගේ ස්වයංවරය සඳහා මං විවර වන්නේ එකිනෙකට වෙනස් අදහස් දරන තරුණයින් දෙදෙනකු ගේ ආගමනය නිසා ය.

කවීෂ පිළිබඳ ලිට්මස් පරික්ෂාව
නවකතාවට අනුව කවිෂට ඇත්තේ ව්‍යාපාරික අදහස් ය. ඔහු සියල්ල මුදල් මත පිහිටුවා කටයුතු කරනවා ද නැද්ද යන්න සැක හැර දැන ගැනීමට නර්මදා ලද පළමු අවස්ථාව ම ප්‍රයෝජනයට ගන්නී ය. ඒ, කවිෂ ගේ අවන්හල් ජාලයේ නවතම ශාඛාව විවෘත වන අවස්ථාවක ඒ වෙනුවෙන් පැවති සාදයක් අතරතුරය.
“දැන් එහෙම අතිරේකව සේවයට ගත්ත අයට ඕටී ගෙවනවද?”
“අපේ රෙස්ටුරන්ට්වල ඕටී ගෙවීමක් කරන්නේ නම් නැහැ. මොකද හැම සේවකයෙක් ම සේවයේ යොදවලා තියෙන්නේ ෂිෆ්ට් ක්‍රමයට. හැබැයි අද දවසට මේ හැමෝට ම විශේෂ දීමනාවක් ගෙවනවා.”
“ඒ වුනාට අද මෙතන වැඩ වැඩියි නේද?”
“වැඩ වැඩි කමක් නම් නැහැ”
“ඒ කියන්නේ ඒ අය හෙට උදේට ආයෙත් වැඩට එන්න ඕනිද?”
“ඔව්. ට්‍රේනින් අයට නිවාඩු නැහැ”
(පිටුව 126)
තමා යටතේ වැඩ කරන සේවකයින් සම්බන්ධයෙන් සේවක හිමියා දරන්නේ ඉහත සංවාදයට අනුව පෙන්නුම් කරන ප්‍රතිපත්තියක් නම්, ඒ අදහස්වලට එකඟ නොවන අයකු ඔහු සමග නොපෑහෙනු ඇත. කවිෂ ගේ අදහස් සමග නර්මදා ගේ සිත බිඳෙන පළමු තැන එය යි. අවස්ථා කීපයක දී ම නර්මදා ඔහුව පරීක්ෂා කිරීමට පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය.
වාමාංශික නාට්‍යකරුවා සහ ධනවාදී කලා රසිකයා
නාට්‍යකරුවකු වන රුක්ෂාන් කවිෂට වඩා හාත්පසින්ම වෙනස් අදහස් දරන්නෙකි. නර්මදා රුක්ෂාන් සම්බන්ධයෙන් දරන ආකල්පය ඇත්තට ම ප්‍රේමයක් බවට පත්වන්නේ ද යන්න දැන ගැනීමට නම් මෙහි අවසාන පිටුව දක්වාම කියවිය යුතු ය. මෙහි මතුපිටින් පෙනෙන්නට ඇත්තේ අනාගත සහකරුවකු තෝරාගැනීම සම්බන්ධයෙන් නර්මදා මුහුණ දෙන අභ්‍යන්තර අරගලය පිළිබඳ කතාවක් වුව ද කතාවේ උඩුපෙළට කිසිදු හානියක් නොවන අන්දමට කතුවරයා විසින් යටිපෙළක් ද සිය පරිකල්පනය ඔස්සේ නිර්මාණය කර ඇත. කතුවරයා ගේ විවිධ දෘෂ්ටිවාද මේ හරහා පාඨකයාට සන්නිවේදනය කරවීමට කතුවරයා උත්සාහ ගනියි. නර්මදා සහ රුක්ෂාන් අතර සිදුවන පහත දෙබස ඊට කදිම උදාහරණයකි.
“බලාගෙන ගියාම වාමාංශික නාට්‍ය කරුවා නාට්‍ය නිර්මාණය කරන්නේ ධනවාදී කලා රසිකයන් ගේ අධාර මුදල් වලින්”
පිටුව 282
නොගැළපෙන වම - දකුණ
අප රටේ නාට්‍යකරුවා මුහුණදෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඔවුන්ගේ නිර්මාණ සඳහා මුදල් යෙදවිය හැකි අයකු සොයා ගැනීමය. වාමාංශික නාට්‍යකරුවා සිය බහුතරයක් නාට්‍ය ඔස්සේ ධනවාදය විවේචනය කළ ද අවසානයේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත්වනුයේ ධනවාදී කලා රසිකයින් වීම සරදමක් නොවන්නේද? වර්තමානයේ මේ තත්ත්වය එතරම්ම දරුණුවට නැතත්, අප රටේ සමස්ත නාට්‍යකරුවා ගේ ඉරණම කාලයට සාපේක්ෂව කතුවරයා විසින් මෙහිදී විමසුමට ලක් කර තිබෙන බව පෙනී යයි. ධනවාදය හෝ සමාජවාදය වෙනුවට අප රටට වඩාත් ගැළපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් බව කතුවරයා මෙහි දී පවසයි. (පිටුව 283) නර්මදා සහ කවිෂ අතර සිදුවන ඇතැම් සංවාද තුළින් දක්ෂිණාංශික සහ වාමාංශික පන්ති දෙකේ අදහස් අතර පවතින නොගැළපීම සහ මත ගැටුම වක්‍රාකාරව සිය අඛ්‍යානය හරහා පිළිබිඹු කිරීමට කතුවරයා උත්සාහ කර ඇති බව පෙනේ.
දික්කසාදය දරුවකුට බලපාන්නේ කෙසේ ද...?
විශේෂයෙන් ම සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ කතුවරයා විසින් ‘නර්මදා’ නැමැති චරිතය වඩාත් යථාර්ථවාදීව ගොඩනංවා තිබීම යි. කතාව ගොඩනැංවීමේ දී යොදාගෙන ඇති අනු චරිතවල හැසිරීම සහ චරිත ස්වභාව නිසා නර්මදා ගේ චරිතයේ හැසිරීම සහ චරිත ස්වභාවය ආඛ්‍යානයට උචිත පරිදි තබා ගැනීමට ඔහු සමත් වී ඇත. දික්කසාදය පිළිබඳව ඍජුවම කතා නොකළ ද නර්මදා යනු දික්කසාද වූ යුවළක ගේ දියණියක නිසා දික්කසාදය නමැති කාරණයේ දී පවුලක් තුළ දරුවකු ගේ පෞරුෂයට සිදුවන බලපෑම ද කතුවරයා යම්තාක් දුරකට මෙහිදී විමසුමකට ලක් කර ඇත. නර්මදා ගේ පෞරුෂය ගොඩනැගෙන්නේ ද මෙවැනි වටපිටාවක් තුළ ය. විවාහය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමේ දී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඇගේ මනස ක්‍රියාත්මක වන්නේ ඒ හේතුව නිසා යැයි පාඨකයාට අනුමාන කළ හැකි ය.

යුතුකම් සහ වගකීම් වෙනුවෙන් එකට එක්ව...
එකිනෙකාට ආදරයෙන් ජීවත්වූ දෙදෙනකු කාලයත් සමග ඇතිකර ගන්නා අන්‍යෝන්‍ය අවබෝධය මත දෙපසට වීමට තීරණය කළ ද, ඔවුන් දෙදෙනා ගේ උවමනාව නිසා මෙලොවට බිහිවූ දරුවන් වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් කිසිවිටෙකත් පැහැර නොහරින කොතෙකුත් දෙමාපියන් තත්කාලීන සමාජය තුළ අපි දැක ඇත්තෙමු. කාලයක් තිස්සේ ඉතා සමීපව හුන් දෙදෙනකුගේ ආදරය වේළී, ඉරිතැළී ගිය පසු තවදුරටත් එකිනෙකාට චෝදනා කර ගනිමින් ද්වේෂසහගත ලෙස හැසිරීම වෙනුවට අවශ්‍ය තැන් වලදී තම යුතුකම් සහ වගකීම් වෙනුවෙන් එකට එක් වී කටයුතු කිරීම මනුෂ්‍යත්වය ඉක්මවා ගිය කාරණයක් ලෙස විටෙක මට සිතේ. ආදරය කළ බිරිඳ වෙනත් අයෙකු සමග දිවි ගෙවන බව දැන දැනත් නර්මදා ගේ පියා සිය දියණිය වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කිරීම දික්කසාද වුවත් දරුවන් සිටින පියවරුන්ට ආදර්ශයක් සපයනු බවට සැක නැත. සිය සමාජ විද්‍යාත්මක දැනුම ඔහු ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ උපේක්ෂාවෙනි.

කතුවරයා ගේ අභිප්‍රාය
මෙම කතාවේ ඇත්තේ විවෘත අවසානයකි. බොහෝ කතා වලට නිශ්චිත අවසානයක් තිබුණ ද මෙහි අවසානය එසේ නොවේ. පාඨකයාට සිය සිතැඟි පරිදි කැමති අවසානයක් වෙනුවෙන් කතුවරයා ඉඩ තබා ඇත. සිය ස්වයංවරයට අනුව නර්මදා තෝරා ගන්නේ කවුරුන් ද? ඔවුන්ට විවාහ වීමට අවස්ථාවක් ලැබෙන්නේ ද? විවාහ නොවී එකට ජීවත් වීමට ඔවුන් තීරණය කරාවි ද? කතාවේ අවසානය මේ සියල්ලට ම ඉඟි සපයනු ඇත.
මෙම නවකතාව හරහා නර්මදාගේ ස්වයංවරය පිළිබඳ කතාව දිගහැරුණ ද, එහි යටිපෙළ හරහා පුළුල් සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික කාරණා කීපයක් ම කතුවරයා විමසුමට ලක් කර ඇති බව පෙනී යයි. රචනා කර තිබෙන සුමට සහ සරල බස් වහර නිසා කියවන පාඨකයා පළමු පිටුවේ සිට අවසාන පිටුව දක්වාම එකම ස්ථරයක රඳවා තබාගැනීමට කතුවරයා සමත්වී ඇති බව කිව යුතුය. කතාවට යොදාගෙන ඇති නම නිසා බැලූ බැල්මට මෙය හුදෙක් ආදර කතාවක් ලෙස පෙනුණ ද එසේ නොවන බව කිව යුතු ය.
මෙම ආඛ්‍යානය තුළින් විමසීමට බඳුන්වන විසල් පරාසයක විහිදී ඇති කාරණා මනාව ග්‍රහණය කර ගෙන ස්වකීය පාඨක විඥානය පුළුල් කරගැනීමට පාඨකයා කටයුතු කරන්නේ නම් කතුවරයා සිය පොත හරහා සමාජගත කිරීමට උත්සාහ කරන පණිවිඩය යථාර්ථයක් වනු ඇත.
චතුරංග වර්ණකුලසූරිය

