Language Switcher

V2025

කියන තරම් රසවත් නැති රුහුණේ මී කිරි කතාව !

මහ ලේවායේ මිදුණු ලුණුත්, ගෙපැලක් ගෙපැලක් පාසා මිදුණු මීකිරිත්, නිසා "රුහුණ” යනු මෙරට ජනයාගේ මිහිරි මතකයේ කොටසකි. රජමැදුරත්, ගැමි ගෙදරත්, මුළුතැන්ගෙයත්, කෑම මේසයත් යා කළ කිරි සහ ලුණු යනු රස දෙකක් නොව රුහුණේ පාරම්පරික මහා කර්මාන්ත දෙකකි.
 
 මිහිරි "මි කිරි” යනු රුහුණු ජනපදයක් ජනපදයක් පාසා පැතිර ගිය නිපදවීමකි. විල් පොකුණු, කුඩා වැව්, දියකඩිති, ඇළ මාර්ග, ලඳු කැලෑ හා තණබිම් සහිත මේ නිවර්තන කලාපීය තැනිතලාවත්, එහි ම කකා බිබී නිදැල්ලේ ලෙස දිචි ගෙවූ මි ගව රංචුවත්, රුහුණු මී කිරි සන්නාමය ලොවට හඳුන්වා දීමට රුහුණේ ජනතාවට ලැබුණු දායාද ය. ගව රංචුවලට නිදැල්ලේ අවශ්‍ය ආහාර පාන සොයා ගැනීමට ඉඩහැර තිබු මේ සත්ත්ව පාලන ක්‍රමය නිදැලි ක්‍රමය ලෙස හඳුන්ව යි.
 
ආහාර විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව සමතුලිත ප්‍රෝටින් අගය තිබෙනුයේ කිරිවලත්, බිත්තරවලත්, කුරහන්වලත් පමණි. මෙම සමතුලිතභාව ලැබෙන්නේ සියලු ඇමයිනෝ අම්ල අවශ්‍ය පරිමාණයට ම ආහාරවල අන්තර් ගතවීම නිසා ය. ඒ අනුව රුහුණේ හරක්කාරයා ද, ගම්බාරේලා ද, ඉටුකළේ ද, ඉටුකරමින් සිටින්නේ ද සුළුපටු මෙහෙවරක් ද නොවේ.
 
හෙළ රජ සමයේ, බලහරුව නම් ගම ගෝණබැද්ද දිසාව යටතේ පාලනය වු බවත්, එම දිසාවගේ විශේෂ වගකීම වුයේ රජවාසල සඳහා පස්ගෝරස සැපයීමට ඉතා උසස් තත්වයේ ගව පට්ටි මේ ප්‍රදේශයේ නඩත්තු කිරීම බවත් ඓතිහාසික ලේඛන පවසයි.
 
රසය, සුවඳ හා කිරිවල ඝණත්වය ඉතා ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යාමේ ‘කිරි කලාවක්’ පැරුන්නන් සතුව තිබු බව ඒ ඉතිහාසය අපට තහවුරු කරයි. දේශීය වෙදකම සඳහා ඖෂධයක් වශයෙනුත් රසකැවිලි නිෂ්පාදනයටත් කිරි හා එහි පසු නිෂ්පාදන යොදා ගෙන තිබේ. සම්ප්‍රදායත් නුතන තාක්‍ෂණයත් අඩු වැඩි වශයෙන් රුහුණේ මි කිරි රසවත් කිරීමට යොදා ගැනීම එදා මෙන් ම අදත් ගම්බාරේලාගේ රාජකාරියයි.
* කිරි විදීය
 
IMG 20221023 WA0001රුහුණේ කිරි කර්මාන්තයේ සීමාව පහළ ඌවේ තැනිතලාවේ සිට බෙන්තර ගඟ දක්වාම පැතිරී තිබුණ ද, අද එය ගිරුවාපත්තුවේ ප්‍රදේශ කිහිපයකට සීමා වි ඇත. තිස්සමහාරාම හම්බන්තොට මාර්ගයේ විරවිල ප්‍රදේශයේ කිරි වීදියකි. ඕනැම කෙනකුට ඕනැම ප්‍රමාණයක කිරී හට්ටි ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් කිරි මේ වෙළෙඳ වීදියේ තිබේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගය මත්තලට පැමිණිමෙන් විරවිල කිරි විදිය මඟහැරි ගිය බව කිරි වෙළෙන්ඳුන්ගේ අදහස ය. මේ නිසා අද එහි ඇත්තේ පාළු ස්වභාවයකි. 
* අවශ්‍යතාව හා අභියෝගය
 
අපේ රටේ වාර්ෂික ඒක පුද්ගල ද්‍රව කිරී පරිභෝජනය ආසන්න වශයෙන් ලීටර් 60 – 63 ක් ලෙස ගණනය කර තිබේ. එනමුදු මිලදී ගැනීමට පවත්නා විරළ බව, කිරිපිටි මිල ඉහළ යාම හා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අද කිරි පරිභෝජනය අවම වී ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2020 වසරේ මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 491.5කි. මෙයින් ලීටර් මිලියන 413ක් එළකිරි වන අතර ලීටර් මිලියන 78ක් මී කිරි ය. එම වර්ෂවල සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව එළදෙනුගෙන් ලබා ගත් කිරි ප්‍රමාණයේ දෛනික සාමාන්‍ය අගය ලීටර් 3.35 ක් වේ.
 
ඉකුත් වසර හයේ ගණනය කිරීම් අනුව මී ගව දෙනකගෙන් ලබා ගන්නා දෛනික කිරි නිෂ්පාදන අගය ලීටර් 2.5 ඉක්මවා නැත. වර්තමානයේ දී අපේ රටේ කිරි ගවයන්ගෙන් ලබා ගන්නා දියර කිරි අස්වැන්නෙන් සපුරා ගත හැක්කේ මෙරට සම්පුර්ණ කිරි අවශ්‍යතාවෙන් 40 % - 41% ක් වැනි ප්‍රමාණයකි. ඉතිරිය මෙරටට ආනයනය කිරීමෙන් සම්පුර්ණ කර ගනී. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව  පූර්ණ යොදය සහිත කිරිපිටි ආනයනය පසුගිය වසර හයක කාලයේ දී එක් වසරක් තුළ මෙට්‍රික් ටොන් 90,000 කි. 2020 වසරේ ආනයනික කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 96,811 කි. 2021 වසරේ ද ඊට සමාන අගයකි. මේ සඳහා රුපියල් බිලියන 55 – 60 ක් වැය කර ඇත. මහ බැංකු වාර්තාවලට අනුව කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සදහා වසරකට අපේ රට අමෙරිකා ඩොලර් මිලියන 300 ක් වැය කරයි.
 
බිඳවැටීමේ පරිමාව
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම ගොවිපළ ප්‍රධාන වශයෙන් රුහුණු ප්‍රදේශයට විශේෂිත මි කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ව පැවතිණි. එය 2014 දී ශ්‍රී ලංකීක දියර කිරි අවශ්‍යතාව සපුරාලීම දායකත්‍වය දෙමින් ආනයනික කිරි ගවයන් 2500ක් යොදා ගෙන දියර කිරි නිෂ්පාදනය සඳහා යොමු විය. 2016 වසර වන විට රිදියගම ගොවිපළ දකුණූ ආසියාවේ විශාලත ම ගොවිපොළ ලෙස පවත්වාගෙන ගියේ ය. එවකට එහි දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් 30,000ක් විය.  
 
 රිදියගම ගොවිපොළේ වත්මන් සහකාර සාමාන්‍යාධිකාරි තිලක් විදානපතිරණ පසුගිය දා පැවසුවේ එහි වත්මන් දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 5500 නොඉක්මවන බව ය.
 
2016 වසරේ දකුණු පළාතේ පශු සම්පත් සම්මාන උලෙළේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳ ම මධ්‍ය පරිමාණ එළ ගව ගොවිපොළ පවත්වාගෙන යාම වෙනුවෙන් සහ හොඳ ම සමෝදාන ගොවිපොළ පවත්වාගෙන යාම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ එච්. එච්. කේ. රත්නසිරි ප්‍රදේශයේ කිර්තිමත් ගම්බාරේ වරයෙකි. එවකට ඔහුගේ ගොවිපොළේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 160 ඉක්මවා තිබිණි. රත්නසිරිගේ ගොවිපළේ දෛනික කිරි නිෂ්පාදනය පසුගිය මාසය වන විට දිනක දී ලීටර් 30 ඉක්මවා නැත. මේ නිෂ්පාදන බිඳවැටීම රිදියගම ගොවිපළට හෝ රත්නසිරිට පමණක් සීමාවූවක් නොව මුළු රුහුණට ම බලපා ඇති ඛේදවාචකයකි. 
 
b1
b3
b70490a6 afa3 45f8 ac03 2ee26596d5d0අවේණික සතුන් අහිමි විම
 
දේශීය බටු හරකා සහ දේශීය මී ගව වර්ග යනු මෙරට දේශගුණයට ඔරොත්තු දෙමින් නිදැල්ලේ හැදි වැඩි කිරි නිෂ්පාදනයට දායක වු ගව පරපුරේ පැරණි සාමාජිකයන් ය. උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන අයුරින් හම සැකසී තිබීම හා ඝණකමින් වන කෙටි රෝම වැඩි දිළිසෙන ගතියක් තිබීම, උෂ්ණත්වය පාලනය කර ගැනීමට හැකි වන පරිදි බෙල්ලේ තැල්ලක් සහ මොල්ලියක් තිබිම දේශීය ගව වර්ගවල බාහිර ලක්‍ෂණ ය. තණබිම් අහිමිවීම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් අත්පත්කර ගැනීම, වනරක්‍ෂිතවලට ගවයන් ඇතුළු කිරීම තහනම් කිරීම නිසා සාම්ප්‍රදායික නිදැලි ගවපට්ටි පවත්වාගෙන යාම අතිශය සංකීර්ණ කාර්යක් බවට පත් විය. එය පරම්පරාවෙන් පරම්පරාවට කිරි නිෂ්පාදන කාර්ය සදහා ගවපට්ට් පවත්වා ගෙන යාමට තරුණ පිරිස යොමු නොවීමට ද හේතු වී ඇත. 
 
ගවපාලනය ගාල් කිරීම
 
රුහුණේ ගවපට්ටි පාලනය සංවර්ධනය කිරීම හා දියර කිරි නිෂ්පාදනය ඉලක්ක කර ගනිමින් විදේශීය දෙමුහුන් ගවයන් මෙරටට 2014 දී හඳුන්වා දෙන්නේ ඒ අතර ය. දේශීය ගවයන් මෙන් මොවුන් නිදැල්ලේ යැවීමට නොහැකි වු අතර ඔවුන් සඳහා දියුණු ගවගාල් ඇති කිරීමට සිදු විය. උෂ්ණත්වයට ඔරොත්තු නොදීම, හම තුනි වීම නිසා ඉතාමත් ආරක්‍ෂිත ගවගාල් මොවුන් සඳහා අත්‍යාවශ්‍ය බව සත්ත්ව සංවර්ධන උපදේශකයන්ගේ නිගමනය යි. ක්‍රමවත් ජලසම්පාදනයක්, ආහාර සදහා තණ වගාව, වාතය උණුසුම් විම වැලැක්වීමට විදුලි පංකා සවිකිරීම වැනි සංකීර්ණ කටයුතුවලට යොමු වන ලෙස  විදේශීය දෙමුහුන් ගවයන් ලබා දුන් ගොවීන්ට උපදෙස් ලැබිණි. ඒ සංකීර්ණ ක්‍රියාවලිය සඳහා රුහුණේ ගවපට්ටි පාලකවරුන් යොමු කිරිම, වගකිවයුතු අංශවලට තවමත් අභියෝගයක් ව තිබේ.
 
මෙරට ව්‍යාප්ත ව ඇති එළ ගවයන්ගෙන් 49% ක් යුරෝපීය දෙමුහුන් සතුන් වන අතර 26% ක් දේශීය වර්ග වේ. ඉතිරි 25% ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කළ ගීර් ගවයාත්, ඉන්දියානු දෙමුහුන් වර්ගයේ මුරා, සුර්ති මී ගව වර්ග දෙකත්, පාකිස්තානයෙන් ආනයනය කළ "සහිවාල්” "සින්දි” යන එළ ගව වර්ග දෙක හා නිළිරවිත්, නෙදර්ලන්තයෙන් ආනයනය කළ ෆිෂියන් ගවයාත්, බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ "අයර් ෂයර්” ගවයාත්, ජර්සි දුපත්වලින් ආනයනය කළ ජර්සි ගවයාත් වෙයි. ඒ සතුන් මෙරට කිරි නිෂ්පාදනයට දායක කර ගෙන සිටින්නේ ඉහත අභියෝග විසඳා ගැනීමකින් තොරව ය. 
 
කිරි කර්මාන්තය මැනවින් ක්‍රියාත්මක වන රටවල එළ දෙනකුගෙන් දිනකට කිරි ලීටර් 20 - 30ක් පමණ ලබා ගනී. පෝෂණය හරියාකාර ව නොලැබීම හා පෝෂණ ඌනතා නිසා අප රටේ දී එවැනි කිරි ප්‍රමාණයක් මේ ආනයනික එළදෙනුන්ගෙන් ලබා ගැනීමට නොහැකි වි ඇත.
* ආහාර සැපයීම හා තෘණ වගාව
 
අපේ රටේ නිදැලි ගව පාලනයේ දී තෘණ වගා කිරීමට ගොවින් පෙලඹුණේ නැත. ප්‍රතිපත්තියක් ලෙස තෘණ වගාව මේ ගව පාලන විෂයට ඇතුළත් කර ගැනීමට පෙලැඹුණේ ද නැත. කාර්යක්‍ෂම එළදෙනකට උගේ දේහ බරින් 3%ක් වියළි ආහාර ප්‍රමාණයක් හා 10% ක නැවුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් දෛනික ව ලබා දිය යුතු ය. කිරි ගවයන්ගේ ආහාර පිණිස බඩ ඉරිඟු, සෝගම්, බ්‍රැකුකෙරියා, Super napicr Packchong තෘණ වගා කළ යුතු ය. මේ සඳහා ප්‍රමාණවයත් ජල සම්පාදන පහසුකම් ද අවශ්‍ය වේ. එනමුදු ගවයනට ආහාර සැපයිමේ කාර්යය සඳහා කිරි ගොවීන්ට තෘණ වගා කිරීමට ප්‍රමාණවත් ඉඩම් අද අහිමි ය. 
 
සෞම්‍ය දේශගුණයක් සහිත රටවල් වෙසෙන කිරි ගව වර්ග විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන්නක් හෝ කිරි ගොවීන්ගේ ගැටලුවලට පිළිතුරක් නොවන බව ඉකුත් වසර කිහිපයේ දී ලද අත්දැකීම් මනාව පෙන්වා දෙයි.
 
පුද්ගලික අංශයේ කර්මාන්ත කිහිපයක් හැරුණු කොට අපේ රටේ පශු සම්පත් පාලනය විශේෂයෙන් ම ගව පාලනය එදා පැවැතියේත්, තව ම පවතින්නේත් යැපුම් මට්ටමේ ය. මෙරට කිරී නිෂ්පාදනයේ යෙදෙන 80%, 85% ත් අතර පිරිස කුඩා පරිමාණ කිරි ගොවීන් ය. වියළි කලාපයෙන් මැයි සිට ඔක්තෝබර් දක්වා දිගු වියළි කාලගුණයකට මුහුණ දීමට රුහුණේ කිරි ගොවීන්ටද සිදු වේ. එම කාල සිමාව යනු ගවයන්ට දළ තන්තුමය ආහාර හිඟයකට මුහුණු දීමට සිදු වන කාලය යි. වගකිව යුතු අංශ කළ යුත්තේ කිරි ගොවීන්ට මේ සඳහා වඩා සාධනීය විසදුම් සොයා දීම ය. තෘණ අස්වනු නෙළා සංරක්‍ෂණය කර තැබීම, වන රක්‍ෂිතවලට ගවයන් ඇතුළු කිරීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම වැනි විසදුම්වලට කිරි ගොවීන් යොමු කිරීම ගැටලුවලට පිළිතුරු සපයන ක්‍රියාමාර්ග වනු ඇත. 
 
පොදුවේ මතු වන ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම
 
දේශිය ගවයන් සදහා පුරාණයේ දේශීය ප්‍රතිකාර ක්‍රම තිබුණත් දෙමුහුන් ගවයන් සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතු ඖෂධ නියමිත කාලයේ ලබා දිමට සිදු වේ. ආරයෙන් උසස් ගවයන් ගොවීන්ට ලැබුණත් රෝගවලට ඔරොත්තු දීමට ඔවුන්ට ඇති හැකියාව ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක ය. 
 
 ආරයෙන් උසස් ගවයන් සමඟ මෙරට කිරි නිෂ්පාදන ක්‍රියාවලියට කිරි ගොවීන් යොමු වුණේ  ඔවුන් සාම්ප්‍රදායික ව හුරු වී සිටි ක්‍රමවේදයන්ට අනුගත ව ය. මේ නිසා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම ගොවිපොළින් රුපියල් ලක්ෂ දෙකකට අධික පිරිවැයක් දරා ගොවීන් ලබා ගත් දෙමුහුන් ගවයන්ගෙන් විශාල ප්‍රමාණයක් වසර තුනක දී කිරිගොවීන්ගේ ගව ගාල් තුළ දී ම අවසන් හුස්ම හෙළූහ. එලෙස 2021 දී රිදියගම ගොවිපළින් ගොවීන් ලබා ගත් දෙමුහුන් ගවයන් 13 දෙනා අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ තිදෙනෙකි. දෙමුහුන් ගවයන් ගොවීන්ට හදුන්වා දුන්නත් තම දෙපාර්තමේන්තුව ඊට අනුව හැඩ ගැසුණේ නැති බව දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සංවර්ධන උපදේශකයෙක් අප හා පැවසී ය. 
 
 දැනට සිටින පශු වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කටයුතුවලට අමතර ව පරිපාලන කටයුතුවලට මැදිහත්වීමට සිදුවිම, සත්ත්ව සංවර්ධන උපදේශකයන්ගේ රාජකාරියට ඇතුළත් අභිජනන කටයුතු, ව්‍යාපෘති කටයුතු, කළමනාකාරිත්ව කටයුතු, පුහුණු වැඩසටහන්, වසංගත රෝග නිවාරණය, එන්නත්කරණය හා ගැබ් පරික්ෂාව ඇතුළු රාජකාරිමය කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම ද වර්තමානයේ කිරිගොවීන් මුහුණ දෙන බරපතල ගැටලු ගණනාවකි.
 
වසා දැම්ම හා අක්‍රීය වීම්
 
මට්ටක්කුලියේ පිහිටි සම් පදම් කිරීමේ කර්මාන්තය, දෙමටගෙඩ පිහිටි සත්ත්ව ඝාතකාගාරයත් ක්‍රියාකාරි මට්ටමේ නොතිබීම පුන් ගවයින් (පිරිමි ගවයන්) මස් පිණිස අලෙවි කිරීමට සාධාරණ අවස්ථාව ගොවීන්ට අහිමි ව තිබේ. නිත්‍යානුකූල ගව ඝාතකාගාර නොමැති වීම නිසා ගවයන් සොරකම් කරන හරක් හොරුන් බිහි වීම කිරි ගොවීන් වීෂයෙහි බලපාන තවත් ගැටලුවකි.
 
පශු විමර්ශන මධ්‍යස්ථානය පශු පර්යේෂණායතනය යන ආයතනවලින් ඉටුකරන සේවා ඉතා දුර්වල මට්ටමක පැවතීම, කැකණදුර තෘණ සම්පත් මධ්‍යස්ථානය වසා දැමීම, සත්වIMG 20221023 WA0003 පාලන පුහුණු මධ්‍යස්ථානවල ප්‍රමාණවත් නිදර්ශන නොමැති වීම, කෘත්‍රිම සිංචන කටයුතු නිසියාකාර ව සිදු නොකිරීම ආදී දේ ද කිරි ගොවීන් පෙළන තවත් ගැටලු ය.
 
කිරි ගොවියන්ගෙන් කිරි එකතු කිරීම් සඳහා මධ්‍යස්ථාන 3918ක් හා කිරී ශිත කිරීමේ මධ්‍යස්ථාන 284ක් දකුණු පළාතේ තිබුණත් තමන්ගෙන් මිල දී ගන්නා දියර කිරි එකතු කරන සමාගම් ගොවීන් ලබා දෙන කිරි වංචාකරන බව කිරි ගොවීහු පෙන්වා දෙති. කිරිවල අගය හා ඝණත්වය එවෙලේ පරික්‍ෂා කිරීම වෙනුවට ඒවා රැගෙන යාමෙන් පසු ගොවින්ට විවිධ හේතු පෙන්වා ලබා දුන් කිරිවලට සාධාරණ මිලක් ලබා දෙන්නට මේ සමාගම් කටයුතු නොකරන බව මාතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල කිරි ගොවීහු චෝදනා කරති. එකතු කිරීම් මධ්‍යස්ථානවල සිටින සේවකයන් ගිතෙල් නිපදවන්නේ ද එවැනි වංචනික ක්‍රමවලිනි. ගොවීන්ගෙන් එකතු කර ගෙන යන කිරි අතරමඟ දී රසකැවිලි නිෂ්පාදකයන්ට විකුණා අඩුව පුරවන්නට ජලය මිශ්‍ර කිරීම පිළිබඳ ව සිදුවීම් ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
 
අසමත්කම තේරුම් ගැනීම
 
ශ්‍රී ලංකාවේ පශු සම්පත සංවර්ධන කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස සත්ව නිෂ්පාදාන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවූයේ 1978 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. 2022 වන විට ඊට වසර 44 සපිරේ. මේ හා සමානව පශු සම්පත් සංවර්ධනය වෙනුවෙන් තවත් ආයතන ගණනාවක් ද බිහි විය. ඛේදවාචකය නම් තමවත් ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන භුමියට උචිත ගවයෙක් අභිජනනය කිරීමට මේ දෙපාර්තමේන්තුව හෝ ආයතන අපොහොසත් වීම ය. 
 
පාරිභෝගික පැමිණිලි
 
කිරි ආහාරයට ගැනීමෙන් සිරුරට දැනෙන්නේ සනීපයක් මුත් මෑතක සිට අසන්නට ලැබුණේ කිරි ආහරයට ගත් පසු සිදු වන අසනීප වීම් ය. කිරි මුදවීම හා කල් තබා ගැනීම වෙනුවෙන් මිනිස් සිරුරට අහිත කර රසායනික ද්‍රව්‍ය දෙකක් එකතු කිරීම මෙම තත්වයට හේතුව බව කිරිගොවීහු පෙන්වා දෙති. ඉතා දුෂ්කර පසුබිමක සිට වුව රුහුණු මි කිරි වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවීමට රුහුණේ කිරී ගොවීහු අදත් දැඩි කැප වීමෙන් ක්‍රියා කරති. කිරි මුදවීම හා කල්තබා ගැනීම වෙනුවෙන් කිරිවලට විවිධ අකාලන ද්‍රව්‍ය එකතු කරන්නේ දියර කිරි එකතු කර මුදවා අලෙවි කරන ඇතැම් ව්‍යාපාරිකයන් මිස රුහුණේ කිරි නිෂ්පාදකයන් හෝ ගම්බාරේලා නොවේ.
b4
 
දයා නෙත්තසිංහ