හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතාට සිදුවූ පොලිස් පහරදීම හා ඔහු විසින් පෑලියගොඩ පොලිසියේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශන අංශයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියම කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මේ නියෝගය නිකුත්කර සිටියේ අදාළ පැමිණිල්ල අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත්කළ කරුණු සලකා බැලීමෙන් පසුවය.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙන්ම පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ විමර්ශන අපක්ෂපාති හා ස්වාධීන ආකාරයෙන් සිදුකිරීම සඳහා එය පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත්කොට වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් වෙත යොමුකරන ලෙස ඉල්ලා ඇත.
මේ ආකාරයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට අදාළව පැමිණිල්ල යළි ලබන 15 වනදා කැඳවීමට නියම කළේය.

