අධිකරණය නාමල්ට එරෙහි 'ක්‍රිෂ්' චෝදනා ගැන වාර්තාවක් කැඳවයි

අධිකරණය නාමල්ට එරෙහි 'ක්‍රිෂ්' චෝදනා ගැන වාර්තාවක් කැඳවයි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී පසුගිය ආණ්ඩුව සමයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන්ට දැනුම්දී ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව නිමල් පෙරේරා නමැති ව්‍යාපාරිකයා විසින් මිලදී ගෙන ඇති කොළඹ ගවර්ස් ලේන්හි පිහිටි දේපළකට අදාළව නිමල් පෙරේරා යන අයට අයත් බැංකු ගිණුමකින් නිකුත් කර ඇති මිලියන 17ක චෙක්පතක් පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටි නියෝගයට  අවසර ලබාදීමටද විනිසුරුවරිය කටයුතු කර ඇත.

නිමල් පෙරේරා යන අය විසින් ඔහුට අයත් එන් කැපිටල් නමැති ආයතනයේ නමට අදාළ දේපළ මිලියන 325ක මුදලකට මිලදී ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ  චෝදනා ලැබ සිටින අතර ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා වනුයේ කොළඹ කොටුව ක්‍රිස් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් ක්‍රිෂ් නමැති ඉන්දියානු සමාගමට ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා පසුගිය රජය සමයේ බදු දීමේදී රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා එම සමාගමෙන් ලබාදුන් මිලියන 70ක මුදලක් වෙනත් කටයුතු සඳහා යොදාගෙන අවභාවිත කිරීමයි.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් 2015 වසරේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කොට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ එරෙහිව නඩු පවරා ඇත.

නඩුව ඔක්තෝබර් 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න