මත්තලට ගිය ගමන් දෙකක වෙනස මෙන්න 

මත්තලට ගිය ගමන් දෙකක වෙනස මෙන්න 

එදා  2014 අප්‍රෙල් මස 17 වෙනි දාය. එවකට විපක්ෂය නියෝජනය කළ අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රරමරත්න, ආර්. යෝගරාජන්, අජිත් මාන්නම්පෙරුම සහ නලින් බණ්ඩාර  යන එකසත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්තල ගුවන්තොටුපළ වෙත ගියේ නිරීක්ෂණ චාරිකාවක් සඳහාය.

එහෙත් එදින එම මන්ත්‍රීවරුන්ට නිදහසේ  මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය කරන්නට රාජපක්ෂ රෙජීමය ඉඩ තැබුවේ නැත. රාජපක්ෂ රෙජීමයේ නියෝග මත මත්තල පැමිණි  ‘පත්තක්ක සෝමේ‘ ඇතුළු මැර කල්ලි සේවකයින්ද උසිගන්වමින් හැසිරුණු පහත් අන්දම සිහි බුද්ධිය විකල් නොවූ කාටවත් අමතක නැත.

රාජපක්ෂ  වාසලේ ඉඳුල් රස බලමින් සිටි ඒ මැරයන් එදා මත්තල නිරීක්ෂණයට ගිය  විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට හූ කියමින්  බැන තර්ජනය කළා පමණක් නොව  සිටි අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාට පහරදීමට පවා  උත්සාහ කළේය. එයින්ද නොනැවතුණ  ඒ මැරයන්ව රාජපක්ෂලා මෙහෙයවනු ලැබුවේ මන්ත්‍රීවරුන්  ගිය බස් රථයට පවා බිත්තර මෙන්ම ගල් මුල් වලින්ද පහරදෙමින්ය.

එහිදී මන්ත්‍රීවරුන්ට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම පවා තහනම් කරන තැනට එදා මැරයන්  මත්තල පරිශ්‍රය මුදා නොගත් කළාපයක් කරගෙන සිටියේ පොලිසියේ නිලධාරීන්ගේද අස් ඉදිරිපිටය.

කිසියම් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කිරීමට ජනතා නියෝජිතයන් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුවූ ව්‍යවස්ථාපිත අයිතිය මහ දවාලේ මැරයන් එවා උල්ලංඝනය කරවූ රාජපක්ෂලා එයින්ද සැනසුණේ නැත. රාජපක්ෂ අණට කීකරුව එවකට හම්බන්තොට නගරාධිපතිටත් පිස්තෝලයක් උළුක් කරගෙන එතැනට කඩා වදින්න සිදුවූයේද ඒ නිසාය.

මෙදා 2018 ජූලි 16 වනදාය.  එදින ඒකාබද්ධ  විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.  නමුත්  ඒ මන්ත්‍රී කණ්ඩායමට නම් 2014 අප්‍රේල් 17දා  අත්දැකීමට මුහුණ දෙන්න සිදුවූයේ නැත. මැර කල්ලි පැමිණ බැන තර්ජනය කර පහර දෙන්න ආවේ නැත. පැමිණි බස් රථයට බිත්තර හෝ ගල් මුල් ප්‍රහාර එල්ලවූයේ නැත.
දෛවයේ සරදම කියන්නේ එදා පිස්තෝලයක් රැගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත කඩා පැන්න කෙනා අදත් හම්බන්තොට නගරාධිපති වීමය. එහෙත් එදා මෙන් අද ඔහුට පිස්තෝල සෙල්ලම් කරන්න සිදුවූයේ නැත.  ඒ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට ගරුකරමින් ගෙනයන පාලනය නිසාය. 
 
විපක්ෂ  මන්ත්‍රී කණ්ඩායමට  හිතේ හැටියට මත්තල දැකබලා ගත්තා පමණක් නොව හිතවත් වෘත්තීය සමිති සමඟ මාධ්‍ය සංදර්ශන පවත්වන්න නිදහසක්  ලැබුණේ ඒ නිසාය.

2013 වසරේ රුපියල් කෝටි 210කට අධික අලාභයක්, 2014 වසරේ රුපියල් කෝටි 232 කට අධික අලාභයක්, 2015 වසරේ රුපියල් කෝටි 309 කට අධික අලාභයක් වාර්තා කරන මත්තල ගැන බොරු ගොඩක් මාධ්‍ය හමුවේ කියන්නට ඒ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුනේද ඒ නිසාය.

අමතක නොකළ යුතු කරුණ නම්, අද නිදහසේ මත්තල ගියේත්, එදා මත්තලට මැරයන් එවීම අනුමත කළෙත් මේ මන්ත්‍රීලාම බවය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන යහපාලන ආණ්ඩුවක් වෙනුවට හිට්ලර් පන්නයේ රාජපක්ෂ පාලනයක් අවශ්‍ය බව කියන්නේ ද මේ මන්ත්‍රීලාමය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න