තම සේවා දායකයා වන දෙහිවල මල්වත්ත පාරේ අංක 66/3/1/1 ලිපිනයේ පදිංචි නඩරාජා මනිවානන් නැමැත්තා විසින් රචනා කරන ලද සිනමා තිරපිටපතක් අනවසරයෙන් චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කිරීමට සැරසෙන බව හෝ කර ඇති බව තමා වෙත දැනුම්දී ඇති බවත් එම ක්‍රියාවලිය නවතන ලෙසත් දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ විසින් චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වෙත ලියාපදිංචි තැපැල් මඟින් ලිපියක් යොමුකොට තිබේ.
2018 මාර්තු අප්‍රේල් කාලයේ මෙම තිර පිටපත විවිධ නිෂ්පාදකයින් වෙත යොමුකොට ඇති බවත් ඩයලොග් සමාගමද ඒ අතර වන බවත් තිර රචකයා තමාවෙත දැන්වූ බවද නීතිඥවරයා අදාළ ලිපියේ සඳහන් කර ඇත.
නමුත් එම කතාව යම් සුළු වෙනස් කිරීම් පමණක් සිදුකරමින් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය එක්ව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට සැරසෙන බව ඔහු දැනගත් මොහොතේ නීතිඥවරයා මඟින් මෙම ලිපිය යොමුකරන බවද එහි සඳහන්ය.
“2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත ප්‍රකාර සිවිල් වන්දි හා අලාභ උදෙසා මෙන්ම එහි දැක්වෙන අපරාධ වරද සංස්ථාපනය වීමක් සිදු වුවහොත් අපරාධ අධිකරණයේ නඩු පැවරීමටද මගේ සේවාදායක නිශ්චිතවම ක්‍රියාකරන බව සහ නීතියේ පිහිට පතන බව ඔබට දන්වන ලෙස මට උපදෙස් ලැබී තිබේ” යනුවෙන්ද එම ලිපියේ දැක්වෙයි.
මේ අතර නීතිඥවරයා විසින් යොමුකොට ඇති මෙම ලිපියේ පිටපත් මාධ්‍ය වෙත යොමුකිරීමටද එම පාර්ශවය කටයුතු යොදා ඇති අතර එය පහත දැක්වේ.