'පුළුවන් නම් ස්‌වාධීන වී පෙන්වන්න'-  ශ්‍රීලනිප මහ ලේකම්ගෙන් අභියෝගයක්‌ 

'පුළුවන් නම් ස්‌වාධීන වී පෙන්වන්න'-  ශ්‍රීලනිප මහ ලේකම්ගෙන් අභියෝගයක්‌ 

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කරන බව හැකිනම් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වාඩිවී සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස  'දිවයින' පුවත්පතට පවසා ඇත.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් බවද එම නිසා කිසිවෙකුටත් ස්‌වාධීනව කටයුතු කළ නොහැකි බවද හෙතෙම කියා සිටියි.  පොහොට්‌ටුවෙන් තේරීපත්වූ කිසිම මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුව තුළ නැතැයිද පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මෙම පිරිස වාඩිවී සිටින්නෙත් පක්‍ෂයෙන් ලබාදුන් අවසරය මත යෑයිද ලේකම්වරයා අවධාරණය කරයි.  

කැමැත්තෙන් පක්‍ෂයෙන් ඉවත් වන්නේනම් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා විනය පරීක්‍ෂණ පැවැත්වීමකින් තොරව පුරප්පාඩු වන මන්ත්‍රී තනතුරු සඳහා අලුතින් මන්ත්‍රීවරුන් පත්කරන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය පමණක්‌ බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ඒකාබද්ධයේ තීරණය ජී.එල්. අතේ !

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පක්‍ෂනායක කමිටුවක් පත්කිරීමට ඊයේ  (14) ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත් මුහුණදීමට සිදුවිය හැකි ගැටළු, නීතිමය තත්ත්වයන් හා අනෙකුත් කරුණු පිළිබඳව ගැඹුරින් සළකා බලා ඉතාම ඉක්මනින් වාර්තාවක් සකස්කර එය ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්  කියා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න