බ.ප  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ : කෝටි ගණනක හයිවේ ගැහිල්ලක් ! 

බ.ප  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ : කෝටි ගණනක හයිවේ ගැහිල්ලක් ! 

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අධිවේගී මාර්ග සඳහා මාර්ග බලපත් නිකුත් කිරීමේදී රුපියල් 14000000.00 කට ආසන්න වංචාවක් සිදුකර ඇති බවට අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව අදාළ වංචාව සිදුකොට ඇත්තේ "කාලසටහන් අවශ්‍යතාව සැපයීම සඳහා මගී සේවා අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම" මැයෙන් 2016-10-06 වන දින පුවත්පත් දැන්වීම හරහා ප්‍රසිද්ධ කල ටෙන්ඩරය පදනම් කර ගනිමින්ය.

අදාළ ටෙන්ඩරයට අනුව කඩවත - කොට්ටාව අධිවේගී මාර්ගය සඳහා වූ ලංසුව රුපියල් ලක්ෂ 6ක් වන අතර ටෙන්ඩර්කරුගේ උපරිම මිල රුපියල් 1666000.00 කි.

ඒ අනුව එම මිලට ටෙන්ඩර්වූ මාර්ග බලපත්‍ර නිකුත් කිරීමක්ද සිදුකර ඇත. 

නමුත් ඉන් වර්ෂයකට පසුව එනම් 2017 නොවැම්බර් 15 වනදා ද නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන්නට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇත. ඒ කඩවත - මහරගම අධිවේගී මාර්ගය සඳහාය. එහි ලංසුවද සඳහන්ව ඇත්තේද රුපියල්  1666000.00 ක් ලෙසය. 

එම ටෙන්ඩරය සඳහා වූ උපරිම ඉල්ලුම් මිල රුපියල් 15723000.00 ක් වන අතර එම මිලටද මාර්ග බලපත්‍ර නිකුත් කර ඇත.

නමුත් අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමට සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ කඩවත - මහරගම අධිවේගී මාර්ගය සඳහා ඉදිරිපත්වූ උපරිම ඉල්ලුම්  මිල වූ රුපියල්  15723000.00 යටතේ මාර්ග බලපත්‍ර නිකුත් කර තිබියදී NF 8118 බස් රථය හිමි H. සිල්වා නමැති අයටද කඩවත- මහරගම මාර්ග බලපත්‍රය රුපියල් 1666000ට ලබාදීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( මුල්‍ය ) ඇතුළු පිරිසක් මෙම වංචාව සඳහා සම්බන්ධ බවට සැකකරන බවද අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව රුපියල් 15723000.00 ක් වටිනා මාර්ග බලපත්‍රයක් රුපියල් 1666000.00 කට විකිණීම තුළ රුපියල් 14000000.00 කට අධික වංචාවක් සිදුකර ඇත.

මීට අදාළව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශයේ විගණක නිලධාරී කේ.පී. රණසිංහ නිකුත් කල වාර්තාවක් ද  පවතී.  

එපමණක් නොව  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විටත් අප වෙත ලැබී ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේදී අනාවරණය කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න