මේ වන විට රට තුල සාමය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ද තවුරු කර ඇති බවත් නීතිය හැමෝටම සමාන බවත් ලොකු කෙනාට එක නීතියකුත් පොඩි කෙනාට තව නීතියකුත් ක්‍රියාත්මක නොව සියල්ලන්ටම එකවිදියට සලකන සමාජනයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අමාත්‍ය සාගල රත්නායක පවසයි.
ඒ පසුගියදා (14) මෝදරදී පැවති ජාතික යොවුන් සේනාංකයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් පිරිසක් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රට තුල අවස්ථාවල් ඇතිකර ඔබගේ මහන්සියට ඔබගේ කැපවීම දියුණුවෙන්න පවතින ඕනකමට අවස්ථාව ලබාදීම රජයේ අරමුණ බවත් ඒ අවස්ථාව ගැනීමට තරුණ පරපුර දක්ෂකම්වලින් සන්න්නද්ධ වියයුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක,
"ජාතික යොවුන් සේනාංකය ගොඩනැගුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූරදර්ශි වැඩසටහනක් විදියට. එතුමා කිව්වේ රටට සාමය එනකොට අපිට ලෝකයත් එක්ක තරඟ කරන්න වෙනවා. විශේෂයෙන් ඒ තරඟ කරද්දී තාක්ෂණය දියුනුවෙද්දී රාජ්‍ය මායිම් බොහොමයක් නැතුව යනවා.
ඉස්සර පිටරටක ඉඳන් මේ රටට කෙනෙක් එනවනම් ඒ රටේ සංචාරක නියෝජිතයෙක් වගේම මෙරට සංචාරක නියෝජිතයෙකුත් සොයාගන්න වෙනවා. ඔවුන් තමයි එතකොට හෝටල් වෙන් කිරීම කරන්නේ. එතකොට සංචාරක නියෝජිත ආයතන දෙකම මුදල් අයකිරීම නිසා හෝටල් හිමියාට ලැබෙන මුදලත් අඩු වෙනවා වගේම සංචරකයට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනවා. ලොකු සම්බන්ධතා නැති කෙනෙකුට ඒ අනුව සම්බන්ධ වෙන්න අමාරුයි. නමුත් අන්තර්ජාලය ඔස්සේ නවාතැන් ආයතන හා සංචාරකයින් අතර සම්බන්ධතා ගොඩනගන සේවා මේවනවිට බිහිවෙලා තියෙනවා. ඒ නිසා අඩුම ගාස්තු යටතේ පවා සංචාරකයන්ට නවතැන් පහසුකම් ලබාගැනීමේ හැකියාව ලැබිල තියෙනවා. මේ සේවාවන්වල ලෝකයේ සියලුම රටවල වගේ නවාතැන් පහසුකම් සපයන ආයතන ලියාපදිංචි වෙලා ඉන්න නිසා සංචරකයට ඍජුවම නාවතැන් සපයන පාර්ශවය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම සේවා සැපයීම වෙනුවෙන් එම සේවාවන් සපයන ආයතන ලබාගන්නා මුදලත් අඩුවෙනවා. මේ වගේ ක්‍රම මගින් සංචරකයට අවශ්‍ය පහසුකම් සපයන හෝටල් හෝ නිවසක නවාතැන් පහසුකම් සලසන ස්ථාන හෝ අවශ්‍යතාවය පරිදි තෝරාගැනීමේ හැකියාව ලැබෙනවා වගේම රජයත් මෙම සේවා සමඟ සම්බන්ධවෙලා ඉන්න නිසා රජයටත් සුළු මුදලක් බදු වශයෙන් හිමිවෙනවා.
මේක තමයි ලෝකය දියුණු වෙද්දී, තාක්ෂණය දියුණු වෙද්දී ඉස්සරහට යන ක්‍රමය, හැමෝටම අවස්ථාවක් ලැබෙනවා, හැමෝටම තරඟ කරන්න පුළුවන් වෙනවා මේ ක්‍රමයේදී. ඒ අවස්ථාවල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් තරුණ පරපුරක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපේ රටේ සාමය තියෙනවා. ඒ වගේම අද ප්‍රජාතන්ත්‍රවාදය තවුරුවෙලා තියෙනවා. නීතිය කියන එක හැමෝටම සමාන වෙලා තියෙනවා. ලොකු කෙනාට එක නීතියකුත් පොඩි කෙනාට තව නීතියකුත් කියල අද නැහැ. හැමෝටම එකවිදියට සලකන සමාජයක් තමයි අපි ගොඩනගන්න මහන්සි වෙන්නේ. ඒක තුල අවස්ථාවල් ඇතිකරලා ඔබගේ මහන්සියට ඔබගේ කැපවීමට දියුණුවෙන්න පවතින ඕනකමට අවස්ථාව ලබාදීම තමයි අපේ අරමුණ. අන්න ඒ අවස්ථාව ගන්න හැමෝම දක්ෂකම්වලින් සන්න්නද්ධ වෙන්න. ඒකට තමයි යොවුන් සේනාංකය ගොඩනැගුවේ." යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්විය.
ජාතික යොවුන් සේනාංකයේ වසරක පුහුණුවට සමගාමීව දඹුල්ල "La Hotelier" හෝටල් පුහුණු පාසලේ සහ "Institute of Business Process Outsourcing" ආයතනයේ පුහුණුව ලබා NVQ Level 3 සහ 04 සාර්ථකව සම්පූර්ණ කල තරුණ තරුණියන් 164 දෙනෙකු සඳහා මෙලෙස සහතික පත් ප්‍රදානය කෙරිණි.

