මහින්දගේ මස්සිනාගේ නියෝගයක් නිසා : ශ්‍රීලන්කන් වෙත කෝටියකට අධික පාඩුවක් !

මහින්දගේ මස්සිනාගේ නියෝගයක් නිසා : ශ්‍රීලන්කන් වෙත කෝටියකට අධික පාඩුවක් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇති බව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී අනාවරණය වී තිබේ.

අදාළ තීරණය හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ගුවන් සමාගමේ කීර්ති නාමයට අතිවිශාල කැළලක් සිදුවූ බවත් ඊයේ(15) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමනාකරුවන් දෙදෙනා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ කමිටුව හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩ යන දෙදෙනාය.

මෙහිදී ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ  ගුවන් යානා දෙකක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් කොළඹ සිට ප්‍රංශය බලා පිටත්වීමට නියමිත යානය ප්‍රමාද කිරීමට තීරණය කර තිබූ බවය.  

එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දුරකථනයෙන් කථාකොට කොළඹ සිට ප්‍රංශය දක්වා ගමන් කරන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙසත් එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යැවීමට සිටින බවත් දැනුම්දී තිබූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

සභාපතිවරයාගේ නියෝගය අනුව අදාළ යානය නියමිත වේලාවට පිටත්කර යැවූ බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයකු ලබාදුන් සාක්ෂියේ සඳහන්ව ඇත.

මේ නිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරිසට සහ ප්‍රංශය සහ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපල වෙත යාමට සිටි පිරිසට ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට සිදුවීමෙන් විශාල වියදමක් දැරීමට සිදුවූ බවද  සාක්ෂිවලදී තවදුරටත් හෙළිවී ඇත.

මෙම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපතිවරයා වශ්‍යයෙන් අනිල් ගුණරත්න මහතා (විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශ්‍යයෙන් ගාමිණි අමරසේකර මහතා (අභියාචනාධිකරණ විනිසුරු)  පියසේන රණසිංහ (විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු) ඇන්තනි හැරල්ඞ් ( විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) කපුගම ගීගණගේ මෙනවිය (ගිණුම් හා ප‍්‍රමිති සමික්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්) කටයුතු කරයි.

මෙම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න