ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා වැඩි කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් !

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා වැඩි කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් !

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියාකාරී සැලසුමක් දියත් කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් (Hon. A.H.M. Mustafa Kamal)  අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය වී ඇති බව වාර්තා වෙයි.

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව ද්විපාර්ශවික සාකච්ඡා වාරයන් ආරම්භ කරමින් අද (27 වන දා) මේ හමුව පැවත්වී ඇත්තේ  පෑන් පැසිෆික් හෝටලයේ දී ය.

සාකච්ඡාව ආරම්භයේ දී ම බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා මැතිනියගේ සුබ පැතුම් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  වෙත පිරිනැමූ කමල් මහතා, බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස අගමැතිනිය කළ නිල ආරාධනය ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් ඇත.

තේ, ධීවර, ඖෂධ හා සම් කර්මාන්තයන්හි මෙන් ම අධ්‍යාපන හා මුල්‍ය ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව උදෙසා දුලිප් මෙන්ඩිස් ප්‍රධාන ලාංකේය ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහය මෙන් ම තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරය දරන අවදියේ ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය ද මුස්තෆා කමල් මහතා කෘතවේදීව සිහිපත් කර තිබේ.

ඉන්දීය සාගර සමුළුවේ අනාගත කාර්ය භාරය සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි. ඉදිරි කාලය තුළ දී සියළු පාර්ශවකරුවන්ගේ එකඟත්වයෙන් ක්‍රියාකාරී සැලැසුමක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වියට්නාමයේ බංග්ලාදේශ තානාපතිනී සමීනා නාස් සහ බංග්ලාදේශ ජාත්‍යන්තර හා උපායමාර්ග අධ්‍යයන ආයතනයේ සභාපති මුන්ෂි ෆයිස් අහ්මඩ් මහත්ම මහත්මීහු අමාත්‍යවරයා සමග මේ සාකච්ඡාවට සහභාගී වූහ.

ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන, අග්‍රමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න