රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද (27) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වී ඇති අතර එහිදී කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙන්ම කොමිසමේ සාමාජිකයින්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද සිදුව ඇත.
මෙහිදී ජනාධිපතිවරයා කොමිසමේ සාමාජිකයන්ට දන්වා ඇත්තේ කොමිසමේ අදාළ නිර්දේශ 2018 ඔක්තෝබර් 30 වන දාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ තුළින් ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන්කර ඇත.
එසේම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම පිළිබඳ කාරණය ඉතා දිගුකාලීන ගැටලූවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විධිමත් ක‍්‍රමවේදයක් හරහා එම ගැටලූව විසඳීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කරන බවද සඳහන් කර ඇත.
වැටුප් කොමිසමේ රාජකාරි මෙන්න
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක වන වැටුප් චක‍්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී ඇතිවන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතුවන ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවේද යෝජනා කිරීම,
මෑතකදී වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත‍්‍ර සඳහා දැනට කි‍්‍රයාත්මක වන වැටුප් චක‍්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම,
දීප ව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් ගැටලූ මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවයන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම,
සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබාගන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවයන් අවම කිරීම පිණිස මග පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ වැටුප් කොමිසන් සභාවේ කාර්යයන් හා නියමයන් වේ.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණය පරිදි ජනාධිපතිතුමා විසින් මෙම කොමිසම පත්කරන ලදී.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශපි‍්‍රය, බී.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඞී. ජයකොඩි, එම්.සී. වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයෝ වෙති.

