දෙවරක් ජනාධිපති තනතුර හෙබවූ අයකු තුන්වැනි වරටත් එම ධුරයට පත්වීම වළක්වාලීම සඳහා සම්මත කර ගන්නා ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අදාළ අරමුණ අර්ථකථනය නොවන නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා කුමාරණතුංග මහත්මියට ඉදිරි ජනාධිපතිවරණයේදී තරග කළ හැකි බව නීති විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම 'ඉරිදා දිවයින'ට පවසා ඇත.
1970 - 77 සමගි පෙරමුණ ආණ්ඩුව පැවැති කාලයේදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය නිහාල් ජයවික්‍රම පසුව බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ලක්විය.
ජයවික්‍රම මහතා අධිකරණ අමාත්‍යාංශ ලේකම්ව සිටි සමයේදී අධිකරණ ඇමැති ලෙස කටයුතු කළේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ය.
'මහින්දට පුළුවන් කතාව බොරුවක්' !
මේ අතර සති අන්ත 'අනිද්දා' පුවත්පත පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතාට 19 වැනි සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව මතයක් නිර්මාණය කිරීම ටික දිනකට මාධ්‍ය නොමග යැවීම වෙනුවෙන් නිර්මාණය කළ මතයක් බවයි. 'අනිද්දා' සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් එබව සඳහන් කර තිබේ.
මහින්දට යලිත් බැරි ඇයි..?
“ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය.” යි 19 වන සංශෝධනයේ 4(2) ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබියදී මහින්ද රාජපක්ෂ නමැති දෙවරක් ධූරය දැරු ජනාධිපතිවරයා සහ ඔහුගේ නීති විශාරදයින් 'මහින්දට යලිත් ජනාධිපතිධූරයට ඉල්ලන්න පුළුවන්' කියා නගන තර්කයන් හි ඇත්ත නැත්ත
මෙසේ විමසා බැලිය හැකිය.
1. මෛත්‍රීට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව !
ප්‍රථමයෙන්ම කිව යුත්තේ මහින්ද රාජපක්ෂ පාර්ශවය 19 වන සංශෝධනයේ ජනාධිපතිවරයා පිලිබඳ නීති සංශෝධනයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට පෙර වත්මන් ජනාධිපති සිරිසේන මහතාම ඒ ගැන විමසීමක් කෙළේය. ඒ තමන්ට දැරිය හැකි ධූර කාලය 6 ද 5 ද කියා ය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වූයේ 'ඔබට හිමි ධූර කාලය වසර 5 ක්' කියා ය. එනම් වත්මන් ජනාධිපතිවරයා පවා 19 වෙනි සංශෝධනයෙන් පනවන නීතිවලට යටත් බවය.
එසේ නොවී 19 වන සංශෝධනයේ නීති නියමයන් වත්මන් ජනාධිපතිට නොව අනාගතයේ ජනාධිපතිවරුන්ගෙන් ආරම්භ වනවා යයි කියා අද මහින්ද රාජපක්ෂගේ නීතිඥයන් නගන තර්කය සත්‍යයක් නම් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණයේ ධූර කාලය පිලිබඳ නිගමනය වසර 5 නොව 6 විය යුතුය.
මන්ද වත්මන් ජනාධිපතිවරයා ඡන්දය ඉල්ලන අවස්ථාවේ තිබුනේ ධූර කාලය වසර 6 ක් කියා නිසාය. ඒ අනුව පැහැදිලි වන්නේ 19 වෙනි සංශෝධනයේ නියමයන් අනාගතයේ සිට නොව දැනටමත් වලංගු බවයි. එනම් දෙවරක් ජනාධිපතිධූරය දැරූ මහින්ද රාජපක්ෂට යලි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.
2. නුසුදුසුකම් වරදවා තේරුම් අරගෙන !
මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නීතිඥයන් වරදවා තේරුම් අරගෙන ඇත්තේ මේ 19 වන සංශෝධනයේ ඇති වෙනත් කාරණයකි. එනම් ජනාධිපතිවරයෙකු වීමට 19 වෙනි සංශෝධනයෙන් දක්වා ඇති නුසුදුසුකම් දැනට ධූරයේ හිඳින ජනාධිපතිට නොව මීලඟ ජනාධිපතිවරණයේ සිට බලපාන බවට දක්වා තිබීමයි.
මේ තත්ත්වය උදාහරණයකින් විග්‍රහ කර දෙන්නේ නම් පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙරුණේ සිරිසේන මහතා නොව චන්ද්‍රිකා මැතිණිය යයි සිතමු. මන්ද ඒ වන විට තිබූ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරුන්ට ඕනෑම වාර ගණනක් තරඟ කළ හැකිව තිබූ නිසා චන්ද්‍රිකා ඉදිරිපත් කර ඇය ජයගෙන තිබුනා යයි සිතමු.
ඒ එසේ නම් 19 වෙනි සංශෝධනයෙන් සංශෝධනය කරන ලද දෙවතාවක් ජනාධිපතිධූර දැරූ අයෙකුට යළි ජනාධිපති ධූරයකට ඉදිරිපත් වීමට නොහැකිය කියන නීතිය ධූරය දරමින් සිටින ඇයට බලපාන්නේ නැත. බලපාන්නේ 2020 ජනාධිපතිවරණයේ සිට ය. 2020 දී ඇයට ඉදිරිපත් විය නොහැකි වන අතර ඒ දක්වා ධූරය දැරිය හැකි වන්නේ ය.
19 වෙනි සංශෝධනයෙන් දක්වා ඇති නුසුදුසුකම් දැනට ධූරයේ හිඳින ජනාධිපතිට නොව මීලඟ ජනාධිපතිවරණයේ සිට බලපාන බව දක්වා ඇත්තේ අන් කිසිවකට නොව කුමක් හෝ කොනක් අල්ලාගෙන වත්මන් ජනාධිපතිවරයාට ධූරය දැරීමට ඇතිවිය හැකි බාධා වගන්තියකින්ම අහිමි කිරීමට ය.
3. ගීතා කුමාරසිංහට දුන් තීන්දුව !
ඉහත කී 19 වන සංශෝධනයේ නුසුදුසුකම් වත්මන් ධූරය දරණ ජනාධිපතිට බලපාන්නේ නැතැයි කීම මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නීතිඥයන් වැරදි කොණින් අල්ලාගෙන ඇත්තේ සියළුම හිටපු ජනාධිපතිවරුන්ට 19 වන සංශෝධනයේ නුසුදුසුකම් බලනොපාන බවට අර්ථ ගන්වමිනි.
එය එසේ නොවේ. 19 වන සංශෝධනයේ නුසුදුසු කම් අනෙක් සියළුම දෙනාට බලපාන්නේය. ඊට ද උදාහරණයකින්ම පෙන්වා දෙන්නේ නම් ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ තීන්දුවයි. ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේ 19 වෙනි සංශෝධනයේ නීති වලින් ඇය නුසුදුසු කරවා තිබූ නිසාය.
මහින්ද සහ ඔහුගේ නීතිඥයන්ගේ තර්කය නිවැරදි එකක් නම් ගීතා කුමාරසිංහ තවමත් මන්ත්‍රීධූරයේ සිටිය යුතුය. ඇය නුසුදුසු විය යුත්තේ 2020 න් පසුවය. එසේ වූයේ නැත.
4. අලුත් ජනාධිපතිධූරයක් ඇති වූ බවට නගන තර්කය !
මහින්ද සහ ඔහුගේ නීති විශාරදයින්ගේ තවත් සිනහා උපදවන බොළඳ අඳබාල තර්කයක් නම් 19 වන සංශෝධනයෙන් පැරණි ජනාධිපති ධූරය නොව අලුත් ජනාධිපතිධූරයක් ඇති වූ බවට නගන තර්කයයි.
එසේ නැත. එසේ වී නම් සිරිසේන ජනාධිපති වරයා 19 වෙනි සංශෝධනය යටතේ යලි දිව්රුම් දීමක් සිදුකළ යුතුය. එවැන්නක් වූයේ නැත. එසේ වූයේ අන් කිසිවක් නිසා නොව 19 වෙනි සංශෝධනයේ 49 (1)(ආ) යටතේ ඒ බව පැහැදිලිවම දක්වා තිබීම නිසාය.
එහි මෙසේ දැක්වේ. '19 සම්මත වූ දිනට පෙර ජනාධිපති ධූරය දරණ තැනැත්තා එම දිනෙන් පසු 19 වෙනි සංශෝධනයේ විධිවිධාන වලට යටත්ව එම ධූර දැරිය යුතුය.' ඒ එසේ නම් 19 න් අලුත් ජනාධිපතිධූරයක් බිහි වී නැත.5. ජනමත විචාරණයක් :අනෙක් අතට 19 වෙනි සංශෝධනයෙන් නව ජනාධිපතිධූරයක් බිහි වූවා නම් ඒ සඳහා නිසැකවම ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා ඇත. (19 වෙනි සංශෝධනය සම්මත කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට අනුමැතියක් ගන්නා ලදී. ඒ අවස්ථාවේ දී එවැන්නක් ශ්‍රේෂ්ඨාධිකරණය කියා නැත.)
6. එක වගන්තියක් නොව එය සමස්ථයක් ලෙස සැලකිය යුතුයි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීති තර්ක ගේන හිටපු අගවිනිසුරුවරයකු වන සරත් නන්ද සිල්වා මෙසේ කියා තිබිණි. ව්‍යවස්ථා සංශෝධනයක එක වගන්තියක් නොව එය සමස්ථයක් ලෙස සැලකිය යුතු යැයි ඔහු පවසා තිබිණ.
එය නම් සත්‍යයකි. ඒ අනුව 19 වෙනි සංශෝධනය ගෙන ආවේම 18 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරුන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපතිධූරයට තරඟ කළ හැකිය කියා කරන ලද වරද නිවැරදි කරමින් යලි එය දෙවතාවකට පමණක් සීමා කිරීමට ය.
සරත් නන්ද කියනා පරිදිම සමස්ථයක් ලෙස ගන්නවා නම් දෙවතාවක් ජනාධිපතිධූර දැරූ මහින්ද රාජපක්ෂට යලි තරඟ කළ නොහැකිම ය.7. සංශෝධනයක් නොව ප්‍රතියෝජනයක් !!19 න් කර තිබුනේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ප්‍රතියෝජනයක් යැයි හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ චන්දිම වීරක්කොඩි නගා තිබූ තර්කය පිලිබඳ නීති කෙටුම්පත් විශාරදයන් කියා සිටියේ ඒවා නීති තර්ක නොවන බවත්, ඒවා නීතියවත් සිංහල භාෂාවවත් නොදන්නා මෝඩයන් කට වාචාලකමට කියන කතා බවයි.
ඉහත කාරණා අනුව ඉතා පැහැදිළිව තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යලි ජනාධිපති කරවීම පවතින ව්‍යවස්ථාවට අනුව නම් සිදුකළ නොහැකි බවය. එහෙත් දිගින් දිගටම විවිධ නීති තර්ක දමා බලන මහින්ද රාජපක්ෂ ක්‍රමය කියා පාමින් සිටින්නේ පළමුව රාජපක්ෂ පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් දුරදිග යන්න ගත් බලපොරය ජනතාවට සඟවන්න රාජපක්ෂලා එවූ ලනුව මේ වන විට මහින්ද රාජපක්ෂම ගිලමින් සිටින බවය.

