නිලධාරීන්ගේ චොර වැඩක් ගැන කැෆේ අනාවරණයක් !

නිලධාරීන්ගේ චොර වැඩක් ගැන කැෆේ අනාවරණයක් !

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ගේ උපදෙස් පරිදි, ඔහුගේ කලාප බාර නිලධාරියා සිදුකළ පැමිණිල්ලට, සීගිරිය පොලීසිය පුරා විද්‍යා පනත යටතේ අධිකරණයට ‘බී වාර්තා‘ ගොනු කලාම, ඒ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේම වාර්තාව නැතිව ළමුන්ට ඇප ලබාගත නොහැකි වූ අරුම පුදුම නඩුවක් බවට ‘පිදුරංගල අඩ නිරුවත් ඡායාරූප නඩුව‘ පත්වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන් පවසයි.

 අද (07)  රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

පිදුරංගල සිද්ධීයේ දී සමාජ  ජාලා මගින් ප්‍ර‍චාරය වී ඇති සහ ජාතික ජනමාධ්‍ය මගින් ප්‍ර‍චාරය වී ඇති සියළුම ඡායාරූප පොටෝ ෂොප් මගින් සංස්කරණය කරනු ලැබූ ඡායාරූප යි.  චෝදනා එල්ල වී ඇති ළමයින් විසින් තමාගේ ම ෆෙස් බුක් පිටුවේ පළ කළ ඡායාරූපය, වෙනත් ස්ථාන දෙකක දී ලබාගත් ඡායාරූප දෙකක් එක් කර සකස් කර ගත්තක්. අනෙක් ඡායාරූපය කොස්ලන්ද දියළුම දී ලබාගත් ඡායාරූපයක්.  එකිනෙකට වෙනස් ඡායාරූප වැරදි අර්ථ කථන සහිතව සමාජ ජාලා මගින් පළ කර තරුණ ළමුන් පිරිසක් නිරපරාදේ ඔවුන් විසින් සිදු නොකළ වරදකට හසු කොට තිබෙනවා.

පුරා විද්‍යා පනත තියෙන්නේ පුරා විද්‍යා ස්ථාන රකින්න මිසක් ‘ඡායාරූප පළ කිරීම වලක්වන්නට නොවෙයි  

පුරා විද්‍යා පනත තියෙන්නේ පුරා විද්‍යා ස්ථාන රකින්න මිසක් ‘ඡායාරූප පළ කිරීම වලක්වන්නට නොවෙයි.  මේක හරි භයානක ඇප ලබාදිය නොහැකි පනතක්.  ඒ බව දැන දැනම මේ සිසුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙපිට ඇප ලබාගත නොහැකි කරුණු ඉදිරිපත් කිරීමක් අධිකරණයට සිදු කරනවා.

මේ නඩුව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උවමනාවට, ඔහුගේ ගෝලයෙක් පැමිණිලිකරලා, පොලීසිය අධිකරණයට කරුණු කියලා, ඒ අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන්ම වාර්තාවක් ඉල්ලලා, ඒ වාර්තාව ඒ අධ්‍යක්ෂ ජෙනරාල්ම අධිකරණයට දෙන්නේ නැතිව, ළමයි හිරේ දාපු සිද්ධියක්.  මීට වැඩිය හොදයි, සංස්කෘතික හමුදාවක් හදලා, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඒකේ හමුදාපති කරලා, එයාට පැමිණීලිදාලා, එයාම වාර්තා හදලා, එයාම නඩු දාලා, එයාටම දඩුවම් දෙන්න පුළුවන් නීතියක් හැදුවානම්.  පුරා විද්‍යා අඛ්‍යක්ෂ ජෙනරාල්ට  පිස්තෝලයකුත් එයාටම දුන්නා නම්, වටු කුරුල්ලන්ට වෙඩි තියනවා වගේ, එයාට හිතෙන හිතෙන මිනිස්සුන්ට ‘උපරිම දඩුවම, දැඩිම දඩුවම දෙන්නත් පුළුවන්.    

ලංකාව පුරා විද්‍යා පනත මගින් නඩු දාන මුලධර්මවාදී රටක් වෙලා !

අද ලංකාව සංස්කෘතිය කාන්තාරයක් වෙලා.  පොටෝ ෂොප් පින්තූරයකට පුරා විද්‍යා පනත මගින් නඩු දාන මුලධර්මවාදී රටක් වෙලා.  වෙවැනි සංස්කෘතික ව්‍යවසනයක් හිට්ලර්, ස්ටාලිං, චීන සංස්කෘතික විප්ලවය සමයේ දී වත් සිදු වෙලා තියෙනවාදැයි සැකයි, යැයි ද, කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
සමාජ ජාලාවල පළ වූ බව දැක්වෙන ඡායාරූප 3 න් 2 ක්ම සිද්ධියට අදාළ නෑ.  ප්‍ර‍ශ්නගත ප්‍ර‍සිද්ධියට පත් කළ තෙවැනි ඡායාරූපය පිළිබද දත්ත අප ලබාගත්තා. ඒ අනුව, මෙම ඡායාරූප සංස්කරණය කළ දෑ බව පැහැදිලියි. 

දේශපාලනඥයින්ට රටේ ප්‍ර‍ශ්න අමතක කරන්න කාලයෙන් කාලයට උණු කැවුම් වගේ සිරස්තල මවනවා. පිදුරංගල සිද්ධියත් එවැන්නක්. දැන් මේ සතියට රිය අනතුරක් සිදු වූ වෛද්‍යවරියගේ ‘යට ඇදුම් - ජංගි ප්‍ර‍ශ්නයක්‘ මතු කරලා දෙනවා.  සමාජ ජාලා සහ විටෙක ජාතික මධ්‍ය පවා මේ කුණු පස්සේ දුවනවා. එයින් සිදුවන්නේ මේ රටේ සැබෑ ප්‍ර‍ශ්න අමතක කිරීමක්. 

දේශපාලනඥයින්ගේ ලණු කාලා හිරේ විලංගුවේ වැටුණු අනුර සේනානායක, ලලිත් ජයසිංහ, නියෝමාල් රංගජීව, වගේ පොලිස් නිලධාරීන් බේරාගන්නට පස්සේ දේශපාලනඥයෝ ආවේ නෑ. අදටත් දේශපාලනඥයින් පස්සේ යන පොලිස් නිලධාරීන් ඒ බව අමතක නොකළ යුතුයි.  අද පොලිස් කොමිසම, කියන දේ පොලිස්පති අහන්නේ නෑ. ඒක පාලනය කරන්න ව්‍යවස්ථා සභාවටත් බැරි වෙලා තියෙනවා.  අපරාධකරුවන්ට රැකවරණය දෙන පොලීසිය, අහිංසක ළමයින් අපරාධකරුවන් බවට පත් කරනවා යැයි ද පැවසීය.

නිලධාරීන් දුරදිග බලා වැඩ කල යුතුයි !

දේශපාලනඥයින් දුන්න උපදෙස් අනුව නීති විරෝධී වැඩ කරලා  අමාරුවේ වැටෙනකොට  ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට, වෛද්‍ය නිහාල් ජයතිලක වගේ දක්ෂ රාජ්‍ය නිලධාරීන් බේරාගන්නත් දේශපාලනඥයින් ආවේ නැති බව මෙවැනි කැකිල්ලේ තීන්දු ගන්න පුරා විද්‍යා බලධාරීන්, රාජ්‍ය නිලධාරීන් අවබෝධ කොට ගත යුතු යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පිදුරංගල ළමුන්ට අවවාද කර, ඔවුන් වරදක් සිදු කර ඇතිනම් ඔවුන්ගේ වරදේ ප්‍ර‍මාණයට දඩුවම් ලබා දිය යුතුයි. අද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උමාඔය  වැරදි පරිසර වාර්තාව සකස් කරන්නට දායකවුනා, එයින් දෝව ඓතිහාසික හිටිවන බුදු පිළිමයට පවා භෞතික හානි සිදුවුණා.  පන්සල්, පල්ලි කඩාගෙන වැටුණා. පුපුරලා ඉරි ගියා.  මේවා ගැන පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරුවානම් මේ නිලධාරීන්ට කල්ප ගානකට බන්ධනාගාරගත වන්නට සිදුවෙනවා යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.

පිදුරංගල පුරා විද්‍යා සම්පත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පැවරීම සදහා දැන් වසර 10 කට වැඩි කලක් ඉල්ලීම් සිදු කර තිබෙනවා.  නමුත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අඩුම ගානේ මුරකරුවෙකු හෝ නොමැතිව මෙම ස්ථානය විනාශ වෙන්නට ඉඩ දී බලාගෙන ඉන්නවා.  මෙතැනට එන සංචාරකයින්ගෙන් මුදල් අය කරන්නේ වෙනත් පිරිසක්.  ඒවාට විගණන වාර්තා නෑ. ගිණුම් නෑ. පුරා විද්‍යාව ලාබෙට විකුණාගෙන කන නිධානයක් වෙලා තියෙන රටක, බොරු චෝදනා මත අහිංසක ළමුන් තිදෙනෙකු සිර දඩුවම් විදිනවා.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න