Language Switcher

V2025

පලනිගෙන් තොණ්ඩාට කනේ පාරක් !

හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා මේ වන විට ජීවත්ව සිටියා නම් ඔහුගේ ඥාතීන් සිදුකරන දූෂණ වංචා හේතුවෙන් පපුව පැලී මිය යන බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් නුවරඑළිය , කඳපොල - කෝට්ලොජ් වතුයායේ ඉදිකරන ලද නිවාස 24 කින් යුත් "පාක්‍යම් පුරම්" නව ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (07)  එක්වෙමින්ය.

අමාත්‍යවරයා මෙසේ අවධාරණය කර සිටියේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තුවිනායගම් පසුගියදා රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව මත අත්අඩංගුවට ගනුලැබීම පදනම් කරගෙනය.

එහිදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ පිහිටි අවන්හල වසර දෙකක කූලි පදනම මත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරදීම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ 06ක් දක්වා අඩු කර එය ලබා ගැනීමේදී අත්අඩංගුවට පත්ව තිබිණ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තුවිනායගම් ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන්ගේ පියා වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන්ගේ මස්සිනා වන අතර හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගේ ඥාතී පුතෙකු වේ. 

සෞම්‍යමූර්ති තොණ්ඩමාන් හිටපු අමාත්‍යවරයා දමිළ ජනතාවට යම් සේවයක් කර ඇතත් ඔහුගේ මුණුපුරා වන ආරුමුගම් තොණ්ඩමාන් සහ මී මුණුපුරා වන සෙන්දිල් තොණ්ඩමන් වතු ජනතාවට කිසිදු සේවයක් නොකර අල්ලස් ලබා ගනිමින් අයතා ක්‍රියාවල නිරතවමින් සිටින බව අමාත්‍ය පලනි  දිගම්බරම් මෙහිදී පවසා ඇත.

මොහු සභාපතිධුරය සඳහා පත්කිරීමට යාමේදී විෂය භාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතාට මොහු පත් නොකරන ලෙස ප්‍රකාශ කළ විට ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව ඔහු එම තනතුරට පත්කරන බව සොයිසා අමාත්‍යවරයා තමන් වෙත ප්‍රකාශ කළ බවද අමාත්‍ය පලනි  දිගම්බරම්  කියා සිටියේය.

එසේනම් අල්ලස් ගත් මෙම පුද්ගලයාට එරෙහිව නීතය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුබව ප්‍රකාශකළ අමාත්‍යවරයා කියා සිටියේ තම අමාත්‍යාංශය යටතේ කිසිවෙකුට මෙවැනි ක්‍රියාවල නිරතවීමට තමා ඉඩ ලබා නොදෙන්නේ තමන්ද එවැනි ක්‍රියාවල නිරත නොවන බැවින් බවයි. 

එමෙන්ම වතු හාම්පුතුන් සමඟ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ගිවිසුම පාවා දෙමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන්  මහතා මුදල් ලබා ගන්නේදැයි සැක පහළවන බවද අමාත්‍ය පලනි තිගම්බරම් මහතා මෙහිදී  පැවසීය.