රටේ ප‍්‍රධානතම රෝහල මෙන්ම සියළුම රෝග තත්ව හදුනාගැනීමට හා ඒ සදහා වූ විශේෂ ප‍්‍රතිකාර ලබාදෙන ස්ථානයක් ලෙස මෙරට අහිංසක රෝගී ජනතාවගේ විශ්වාසයට පාත‍්‍රව තිබෙන්නේ ශ‍්‍රී ලංකා ජාතික රෝහල වුවත් පසුගිය මාස 04ක පමණ කාලයක සිට ප‍්‍රධාන විකිරණ අංශයේ සිදුකල පටකවේදීය පරීක්ෂණ (biopsy test) මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශය යනු රෝගීන්ගේ විවිධ රෝග පරීක්ෂාවන් සිදු කරන ප‍්‍රධාන ස්ථානය බවත් මේ පිළිබද සොයා බැලීමේ දී පටක වේදීය පරීක්ෂණ සිදු කිරීම සදහා භාවිතා කරන ඉදිකටු වර්ග (biopsy needles) නොමැතිකම නිසා මෙම පරීක්ෂණ නවතා ඇති බවට තොරතුරු වාර්ථා වන බවද සඳහන් කර ඇත.
මෙම ඉදිකටු වර්ග ඉතා මිල අධික බවත්, ඒවා විකිරණ අංශයට සපයනු ලබන්නේ රටේ ප‍්‍රධාන පෙලේ් ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් හරහා බවත් මෙම ඉදිකටු නොමැති බව බොහෝ කලකට පෙර විකිරණ අංශයත්, රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසිනුත් රෝහල් අධ්‍යක්ෂක ඇතුළු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
එහෙත් එම උපකරණ ගෙන්වීමට විධිමත් වැඩපිළිවෙලක් පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක නොවූ බව සේවකයින් පවසයි. 2017 සහ 2018 වර්ෂ සදහා ඇස්තමේන්තුවක් හෝ සකස්කර නොමැති බවටද තොරතුරු ලැබී ඇත. මේ ක‍්‍රියාදාමයන් පිටුපස බරපතල කොමිස් ජාවාරමක් තිබෙන බවටද තොරතුරු ලැබී ඇත.
විවිධ පිළිකා රෝග හදුනාගැනීම සම්බන්ධව සිදුකරන පරීක්ෂණ කලට වෙලාවට සිදුකර ගැනීමට තිබුණු හැකියාව මේ තත්වය තුළ රෝගීන්ට අහිමි වී ඇත. මෙය මුදල් හැකියාව නොමැති අහිංසක ජනතාවගේ ජීවිත වලට දැඩිව බලපා තිබෙන බව වාර්තා වේ. එබැවින් උද්ගතව ඇති මේ තත්වය පිළිබද සොයා බලා අවශ්‍ය ඉදිකටු රෝහලට ලබා දී රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය රැකදීම සදහා වහා මැදිහත් වන මෙන් සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

