සභාග ආණ්ඩු හදන්න ආවොත් - එජාපයෙන් තනි ආණ්ඩුවක් !

සභාග ආණ්ඩු හදන්න ආවොත් - එජාපයෙන් තනි ආණ්ඩුවක් !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්වී සභාග ආණ්ඩුවක් සෑදීමට සූදානම් වුවහොත් ඊට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (08)  'මව්බිම' පුවත්පතට ප්‍රකාශයක් සිදුකරමින්ය.

භාරකාර ආණ්ඩුවක් සඳහා  සූදානමක් පවතින බවට ප්‍රබල රාවයක් පවතින බවත් මේ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදී සාකච්ඡා වුවහොත් එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාව තමා විසින් නැවත වරක් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බවත් විජේසිරි මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම හෙට (09දා) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්තද සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නොහැකි බවත් හැකි නම් සභාග ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්වන ලෙසට තමා අභියෝග කරන බවත් චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා කියා සිටී.

තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබියදී පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළේ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව බවද එම නිසා අවශ්‍ය නම් තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුළ වැඩිම අවස්ථාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් !

මේ අතර කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනැගෙන බවයි.

''හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාග ආණ්ඩුවක් හදන්න ඕන කියලා යෝජනා ඉදිරිපත් වෙමින් තියෙනවා?'' නේදැයි කල විමසීමට ප්‍රතිචාර දක්වන ඇමතිවරයා,  එම කතාව අත්තක් නොවන බවත් එය සැබෑ නොවන හීනයක්  බවත් අවධාරණය කර සිටියි. 

''ඔය කතාව ඇත්තක් නෙවෙයි. අනෙක ඔය හීනේ සැබෑ වෙන්නේ නැහැ. විපක්ෂයට ඕන ආණ්ඩුව පෙරළන්න. මේ ආණ්ඩුව කොහොම වුණත් 2020 වෙනකම් තිබෙනවා. ඒක ස්ථිරයි. මේ කතාව පිටින් ගොතපු කතාවක්. අපි කියන්නේ පුළුවන් නම් ආණ්ඩුවක් පිහිටුවල පෙන්වන්න කියලා.'' ඇමතිවරයා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය හා සාකච්ඡා පැවැත්වීම පිළිබඳවත්, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හදන ඒකාබද්ධයේ අලුත් සන්ධානය පිළිබඳවත් අදහස් දක්වා ඇති ඇමතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

''අපි මේවා දකින්නේ පත්තරවලින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. මොකද ඔහුව බලයට පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙකුත් සුළු දේශපාලන කණ්ඩායම්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න