Image

සිංහරාජ පාර වහන්න : පෙබ.6 වනදා සාමයික කේන්ද්‍රයට එන්න !

සිංහරාජ පාර වහන්න : පෙබ.6 වනදා සාමයික කේන්ද්‍රයට එන්න !

සිංහරාජ ලෝක උරුම අධිරක්ෂිතයේ අධිසංවේදී කලාපයේ නීතිවිරෝධීව මාර්ගයක් ඉදිකිරීම මගින් සිදුවන විනාශය පිළිබදව දැනුවත් කිරීමේ සහ මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබදව සාකච්ඡා කිරීමේ අරමුණින් 2019 පෙබරවාරි 06 දින පස්වරු 2.30 සිට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වෙන කතිකාවක් සංවිධානය කර ඇත.

ඊට සම්බන්ධවීමට අදහසක් ඇති පාර්ශවයන්ට පූජ්‍ය වෑකදවල රාහුල හිමි 0719 785084 / 0718 368642 අමතා වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

සිංහරාජ ලෝක උරුම අධිරක්ෂිතයේ අධිසංවේදී කලාපයේ නීතිවිරෝධීව මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව තබා ඇති කෙටි සටහනක් ද අප වෙත යොමුකිරීමට සංවිධායකයන් කටයුතු කර ඇති අතර එය පහත දැක්වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක් අවධානය යොමු කර තිබේ. පවතින පරිසර හානිය දිගටම සිදුවුවහොත් තවත් වසර දහයකින් ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකට ආසන්න අගයකින් ඉහළ යන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා නව නීති සකස් කරමින් සිටී.

 එහෙත් ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ය. 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ අධි රක්ෂිත වනාන්තරය පවා විනාශ කිරීම මේ ආණ්ඩුවේ අනුදැනුම යටතේ සිදු වේ. පරිසර හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන තත්ත්වයක් යටතේ මේ සිදුවන්නේ බරපතළ විනාශයකි. සිංහරාජ අධි රක්ෂිත වනාන්තරයේ කලවාන, වැද්දාගල, කුඩව පිවිසුම ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස අඩි දහයක් පළල මාර්ගයක් ඉදිකරමින් තිබේ. එය ඉන්ටර්ලොක් ගල් අල්ලා, කොන්ක්‍රීට් කාණු සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල සිට අධි රක්ෂිත පිවිසුම දක්වා ඇති අධි සංවේදී කලාපයේ මේ මාර්ගය ඉදිකරමින් සිටින්නේ විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගනිමිනි. අධි රක්ෂිතයකට අදාළ වන සියලු නීති රක්ෂිතයෙන් පිටත මීටර් පන්සියයක් යනතුරු ඒ ආකාරයෙන්ම අදාළ වේ. එසේම සිංහරාජ ලෝක උරුම අධි රක්ෂිත වනාන්තරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රටක් ලෙස අප ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකටද අත්සන් කර ඇත. 1992 එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතිය, 1992 මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන ඒ අතරින් කිහිපයකි.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ මාර්ගය 1972 වසරේ සිට පැවති එකක් බවයි. එය සත්‍යයකි. සමගි පෙරමුණු ආණ්ඩුව පැවැති කාලයේ තුනී ලෑලි සංස්ථාවට දැව ගෙන යෑමට මේ මාර්ගය කපා ඇත. එහෙත් ඒ වන විට සිංහරාජය අධි රක්ෂිතයක් ලෙස හෝ ජාතික උරුමයක් ලෙස හෝ ලෝක උරුමයක් ලෙස හෝ නම් කර තිබුණේ නැත. එම නිසා පෙර පාරක් තිබුණු බව කීම දැන් අදාළ නොවේ. 1978 වසරෙන් පසු මේ ප්‍රදේශයේ කිසියම් ආකාරයක ඉදිකිරීමක් හෝ එවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම නීතිවිරෝධීය.

ආණ්ඩුව නියෝජනය කරන මේ පාර්ශ්වයන් පවසන තවත් කරුණක් වන්නේ මේ මාර්ගයෙන් ප්‍රදේශවාසීන්ට, විශේෂයෙන්ම පාසල් ළමුන්ට වාසි රැසක් සැලසෙන බවයි. එහෙත් මේ මාර්ගයෙන් යෑම්-ඊම් පහසුකම් සපයාගත හැක්කේ පවුල් තුනකට පමණි. එයින් එක් පවුලක් වන්නේ සිංහරාජයේ සුප්‍රකට මාටින් විජේසිංහ හෙවත් මාටින් මාමාගේ පවුලයි. මාටින් මාමා මේ මාර්ගය ඉදිකිරීමට විරෝධය පළකර තිබේ. අනෙක් පවුල ඔහුගේ දියණියගේ පවුලයි. තවත් එක් පවුලකට අවශ්‍ය නම් මේ මාර්ගයෙන් යා හැකිය. එහෙත් එම පවුල් තුනම පවසන්නේ කුඩව ගම මැදින් ඇති මාර්ගයෙන් යෑම්-ඊම් කිරීම තමන්ට වඩාත් පහසු බවයි. එසේම මේ පවුල් තුනට සිටින පාසල් යන වයසේ ළමුන් කිහිප දෙනා කිසිදිනෙක කැලෑ පාරෙන් නොයවන බවත්, ගම මැද පාරෙන් පාසල් යවන බවත් ඔවුහු අවධාරණය කරති. එනම් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන කතා සියල්ල අසත්‍යය.

එසේ නම් ලෝක බැංකුවෙන් ණය ගෙන, මෙතරම් වියදමක් දරා, මෙතරම් බොරු කියමින් කිලෝමීටර් එක හමාරක් දුරට මෙසේ නීතිවිරෝධී මාර්ගයක් හදන්නේ ඇයි? 2013 වසරේදී අප පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සකස් කළ ජාතික භෞතික සැලැස්ම යටතේ සිංහරාජය දෙබෑ කරමින් කලවාන, කුඩව පිවිසුමේ සිට දෙනියාය, පිටදෙනිය පිවිසුම දක්වා සිංහරාජය මැදින් මාර්ගයක් ඉදිකිරීමේ සැලැස්මක් ඇති බවයි. මේ නීතිවිරෝධී මාර්ගය එහි පළමු පියවරයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිය පාරේම යන මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මේ නීතිවිරෝධී ගමනට එරෙහි විය යුත්තේ ඒ නිසා ය. මුහුණු වෙනස් වුණාට වැඩ වෙනස් වී නැත.

50008778 772929473104404 5898191717588271104 n

50806979 1768152049957450 3333573205053931520 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න