සිරිසේනට එරෙහි පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම : ජූලි 31 විභාගයට !

සිරිසේනට එරෙහි පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම : ජූලි 31 විභාගයට !

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී බවත්, එමඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් එම නියෝගය බලරහිත කරන ලෙසත්, තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 31 (ජූලි ) වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාල පෙත්සම අද (24) කැඳවූ අවස්ථාවේ ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ගෙන ඇත.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විසින් විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.

එම දිවුරුම් පෙත්සම් වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා අධිකරණයට දන්වා සිටියේය.

එම අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලට ද මෙතෙක් ඇතුළත් වී නොමැති බව මෙහිදී විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 31 දා සිදු කරන බව නියෝග කළ ත‍්‍රිපුද්ගල විනිසුරුවරු එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශවය නීතිඥවරුන්ට දන්වා සිටියේය.

නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඇමතූ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන පොලිස්පතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවත් ඔහුගේ විනය බලධාරීයා කව්දැයි විමසා සිටියේය.

ඊට ප‍්‍රතිචාර පිළිතුරු දුන් පෙත්සම් කාර පාර්ශවයේ නීතිඥයන් විරාන් කොරයා මහතා දන්වා සිටියේ පොලිස්පතිවරයාගේ විනය බලධාරියා අමාත්‍ය මණ්ඩලය බවයි.

ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගේ විනය බලධාරියා නොවන බවද නීතිඥ කොරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම විනිසුරු ජයවර්ධ තවදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කරු අනිවාර්ය නිවාඩු යවන අවස්ථාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කර ඇති බැවින් ඔහුට එවැන්නක් කිරීමට බලයක් තිබේද යන්න පිළිබඳව මෙම නඩුවේදී තර්කයට භාජනය වන ප‍්‍රධාන කාරණාවක් ඇයි ද පෙන්වා දුන්නේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න , ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය , එහි සාමාජිකයින් වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,මහින්ද රාජපක්ෂ ,ආර්.සම්බන්ධන් , ජාවේඞ් යූසුෆ් , එන්.සෙල්වකුමරන් , බිමල් රත්නායක , හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු , ජාතිත රහස් තොරතුරු සේවයේ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු හයදෙනෙකු නම් කරනු ලැබ ඇත.

විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. ‘‘ පෙත්සම්කරු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 34ක කාලයක් සේවාවක් ගත කර ඇත.2018 වසරේ මැද භාගයේදී අගමැති සහ ජනාධිපති අතර මතභේදකාරී තත්ත්වයක් ඇති විය.

වගකිව යුතු සිවිල් සේවකයෙකු හැටියට මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු කිසිදු පක්ෂයක් නොගෙන සිටියේය.
මෙම තත්ත්වය තුළ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපතිවරයා විසින් පෙත්සම්කරු ජාතික ආකරක්ෂ කවුන්සිලයට සහභාගී කර නොගත්තේය.

පසුගිය අපේ‍්‍රල් 09 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීමේදී ජාතික තොරතුරු අධ්‍යක්ෂවරයා විසින් ඉස්ලාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයන් එල්ල වීමේ ඉඩකඩ ඇති බවට තොරතුරු අනාවරණය කළත් ඒ පිළිබඳව හිදිසි පියයවර ගැනීමේ අවශ්‍යතාවයක් ඔහු සඳහන් නොකළේය.කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ඉහළ ප‍්‍රමුඛත්වයෙන් ලබා දෙන ලෙසට බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ට පෙත්සම්කරු ලිපි මඟින් දැනුම් දුන්නේය.

ඊට අමතරව පළාත් 9 බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාරයන් සිදුවිය හැකි බවට අපේ‍්‍රල් 09 වැනි දින පෙත්සම්කරු දැනුම් දුන්නේය.

ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසුව අපේ‍්‍රල් 23 වැනිදා ජනාධිපතිවරයා විසින් තමන්ට ජනාධිපති නිල නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

එලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී තමන් මේ පිළිබඳ දැනුම්වත් නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. , මේ පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ජනාධිපති කොමිසමක් පත් කළ බවත් , වගකීම බාර ගෙන පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙත්සම්කරුට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු ඉල්ලා අස්විය යුතු බවත් , එසේ නොවුනහොත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට අහිතකර වන බවත් , තමන් ඉල්ලා අස්වුවහොත් තානාපති ධූරයක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව පෙත්සම්කරු කියා සිටී.

එසේ තිබියදී පසුගිය අපේ‍්‍රල් 29 වැනි දින තමන්ව අනිවාර්ය නිවාඩු යැවූ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ලිපියක් පෙත්සම්කරුට ලැබිණි. මෙම තීරණය නීතිවිරෝධී බවත් , එමඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , එය නිලධාරීන් ඉවත් කිරීමේ පනතට පටහැනි බවත් පෙත්සම්කරු කියා සිටී.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , ජනාධිපතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ප‍්‍රකාශ කරන ලෙසද , තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අවලංගු කිරීමට නියෝග කරන ලෙසද , දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු , තමන් පොලිස්පති ධූරයේ ඉවත් කිරීම වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ද ජාතික බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න