බදු සහන රැසක් !

බදු සහන රැසක් !

මුදල් අමාත්‍ය මංගල සමරවීර 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

ඊට අදාළ ව ඉදිරිපත් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

ඒ අනුව සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ. එසේ ම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දෙනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුට ද ලබා දෙනු ලැබේ. මීට අමතරව සැකසුම් නොකරන ද මැණික් ආනයනය කිරීමේ දී ද බදු නිදහස හිමි වන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බද්ද අය කිරීම ද සංශෝධනය කරනු ලැබේ.

බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15, 20 සහ මාසයේ අවසාන දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නට සේම බදු පරිපාලනයට ද සිදුව තිබූ අපහසුතාව වළක්වාලමින් බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ 20 වැනි දින ලෙස සංශෝධනය කෙරේ.

සහාධිපත්‍ය (Condominium) නිවාස සැපයීමේ දී පනවා තිබූ එකතු කළ අගය මත බදු ද සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු නිවාසවලින් යුතු නිවාස ව්‍යාපෘති සඳහා VAT බදු අය නොකෙරේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියා අත්සන් කර ඇති හෝ අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේ දී ද එකතු කළ අගය මත බද්ද අය නොකරේ.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්වලින් සැකසූ නිවුඩු තෙල් සැපයීම ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.

එසේම 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි අපනයන අභිමුඛ ආයෝජන මණ්ඩල සමාගම් ඇඳුම් දේශීයව විකිණීමේ දී ඒකක මත අය කෙරෙන එකතු කළ අගය මත බදු ප්‍රමාණය ඒකකයට 75/= සිට 100/= දක්වා ඉහළ දැමේ.

මෙම නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න