2017- 2018 තුළ  සුරාසැල් බලපත්‍ර දුන්නේ කාටද : ඇමති මංගල වාර්තාවක් කැඳවයි !

2017- 2018 තුළ  සුරාසැල් බලපත්‍ර දුන්නේ කාටද : ඇමති මංගල වාර්තාවක් කැඳවයි !

තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය නිකුත්කල නිවේදනය අනූව මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම නියෝගය නිකුත්කර ඇත්තේ  සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ වෙතය.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ සිදු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින් සුරාබදු බලපත්‍ර 10 ක්ද, 2018 වසරට බලපත්‍ර 74 ක්ද නිකුත් කර ඇත. ඒ සඳහා සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන වල සඳහන් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගෙන හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ කර නොමැති බව වාර්තාවේ.

සුරාබදු ආඥා පනත යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය යැයි තීරණය කළ අවස්ථාවකදී හේතු දැන්වීමකින් තොරව සුරාබදු බලපත්‍රයක් ප්‍රදානය කිරීමට, අලුත්කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත.

2017 හා 2018 වසර වලදී මෙසේ අමාත්‍යවරයාට දැනුම්දීමකින් තොරව ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව පරීක්ෂණයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ නියෝගය පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ  පැවසීය. සුරාබදු පනතේ විධිවිධාන පරිදි සුදුසුකම් නොමැති අයට බලපත්‍ර ලබාදී ඇත්නම් නැතහොත් බලපත්‍ර ලබාදීමේදී යම් දූෂණයක් සිදුව ඇති බවට මෙම පරීක්ෂණවලදී තහවුරු වුවහොත් එවන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ  පැවසීය.

නව නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් ලබාදී නොමැත - සුරාබදු කොමසාරිස් ජනරාල්

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව නිෂ්පාදනාගාර  බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වූ වාර්තාව සම්පූර්ණ අසත්‍යයකි. මෙම වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න