ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු මිල රුපියල් 65.00 ක් සහ සැමන් රුපියල් 100.00 ට දෙන ලෙස තමන් නියෝග කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
ඒ ඊයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්ය.
ඊයේ දිනය වන විට කොවිඩ් 19 නොහොත් නව කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ප්‍රමාණය 43ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ පසුබිමේ බොහෝ දෙනෙකු අපේක්ෂා කර සිටියේ ලොව පුරා වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවී තිබෙන වෛරසය රට තුළ පාලනය කර මැඩීම සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් හෝ ක්‍රමෝපායික සැලැස්මක් වෙනුවෙන් වන මූලික කරුණු දැක්වීමක් හෝ ජනාධිපතිවරයා වෙතින් සිදුවනු ඇතැයි කියාය.
එහෙත් එවැන්නක් සිදුනොවූ අතර රට තුළට පැමිණීම සීමා කිරීම සහ ව්‍යාප්තවීම වැළක්වීම වැනි පොදු කරුණු කිහිපයක් පමණක් කියවිණ.
එසේම මේ වන විට කොරෝනා වෛරසය පාලනය කරගන්නට කාර්ය සාධක බලකාය වෙත බලතල ලබාදී ඇති බව හැරුණු විට විශේෂ යමක් සඳහන් වුවා නම් ඒ සෞඛ්‍ය අංශ වල නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම්දීම පමණය.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශයේ පදනම කුමක්ද යන්න ගැටළු සහගත බව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් අවධාරණය කර තිබිණ. කොහොම නමුත් එහි තිබුණේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව රජය කටයුතු කරමින් සිටින අතර මහ මැතිවරණය සම්බන්ධව පාක්ෂිකයන්ට අදහසක් සැපයීමේ උත්සාහයක්ය.
විපක්ෂය විරුද්ධ වුණේ සහන දීමට නොවේ !
එහිදී ජනාධිපතිවරයා මූලිකව උලුප්පා දැක්වීමට උත්සාහ කල කරුණක් වුයේ සුළුතර ආණ්ඩුවක් ලැබුණ බැවින් සහ අතුරු සම්මත ගිණුම සම්මත කරගන්නට විපක්ෂය සහය නොදුන් බැවින් ජනතාවට සහන දීමට නොහැකිවූ බවය.
එහෙත් එම ප්‍රකාශය මුළුමනින්ම සත්‍ය නොවන අතර එය නිවැරදි වියයුතුව ඇත්තේ අතුරු සම්මත ගිණුම තුළ වූ ජනතාවට සහන දීම කොටසට විපක්ෂය සහය දෙන බව සඳහන් කර සිටියත් ණය සීමාව වැඩිකර ගන්නට දැරූ උත්සාහය පරාජය කරන බව විපක්ෂය සඳහන් කල බවය. මේ බව අතුරු සම්මත ගිණුම සම්බන්ධ යෝජනාව මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැහැදිළිව පැවසීය. එය මේ වන විට හැන්සාඩ් ගත ප්‍රකාශයකි. එහිදී පොදුජන පෙරමුණ ආණ්ඩුව උත්සාහ කලේ ආණ්ඩුවේ ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීමෙන් බිලියන 357ක අමතර මුදලක් ලබා ගැනීමය.
පොහොට්ටු ආණ්ඩුව අනාගන්න පටන් ගත්ත තැන !
එහිදී ණය සීමාව ඉහළ දමාගැනීමේ උත්සාහය ආර්ථිකය මුහුණදී ඇති අවධානම තවත් වැඩි කරන්නක් වූවක් බැවින් කිසිසේත් ඉඩදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එදා පැවසීය.
එපමණක් නොව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද මේ කරුණු සම්බන්ධව අදහස් දක්වා තිබේ. එහිදී ඔහු වරක් ප්‍රශ්න කර සිටියේ පොදුජන පෙරමුණ ආණ්ඩුව ලබාදුන් බදු සහනය ගැනය. එහිදී බදු අඩු කිරීම හමුවේ අහිමිවූ රාජ්‍ය ආදායම කොපමණද ? එම ආදායම සොයාගන්නා මාර්ගය මොකක්ද ? යන්නත් ප්‍රශ්න කෙරිණ. එහෙත් අදටත් ආණ්ඩුව ඒ කිසිවකට පිළිතුරු දී නැත. එසේම වැට් බද්ද සංශෝධනය කරනවා නම් එය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. එහෙත් පොහොට්ටු ආණ්ඩුව බදු සංශෝධනය කළා කීවාට එය පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරගත්තේද නැත. ඒ කියන්නේ බදු ක්‍රියාවලිය දැන් එකම අවුලක් බවට පත්ව ඇත.
පසුගිය ආණ්ඩුව අයවැයක් නොගෙනාවේ ඇයි ?
එසේම ඊයේ ජනාධිපති කියූ තවත් කතාවක් වූයේ පසුගිය ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කර නොතිබූ බවය. එය අමුතුවෙන් කියන්න දෙයක් නොවන අතර අවස්ථා කිහිපයකදී හිටපු මුදල් අමාත්‍ය මේ සම්බන්ධව අදහස් දක්වා ඇත. කවුරු කුමන පක්ෂයෙන් වුවත් නව ජනාධිපතිවරයෙක් පත්වන බැවින් ඔහුට අවශ්‍ය ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට බාධා වන නිසා 2020 පැවති ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් නොකරන බවය.
දැන් ප්‍රශ්නය ඇත්තේ පැවති ආණ්ඩුව සම්බන්ධව නොව 2019 නොවැම්බර් 17 සිට අප්‍රේල් දක්වා කාලය තුළ පොහොට්ටු ආණ්ඩුව අයවැයක් ගෙන නාවේ ඇයි යන්නය. සෞභාග්‍යයේ දැක්මේ වූ සහන ප්‍රමාණය වෙනුවෙන් හෝ අයවැයක් ගෙනාවා නම් එය සම්මත කරගන්න විපක්ෂය බාධා කළා නම් එය දේශපාලන වාසියක් කරගන්නට පවා ආණ්ඩුවට අවස්ථාව තිබිණ. නමුත් ආණ්ඩුව අයවැයක් නොගෙනාවා පමණක් නොව තුනෙන් දෙකක බලයක් ලැබුණොත් පමණක් සහන දිය හැකි කතා කියනවාද අපට මතකය.
2020 ජනවාරි 09 ෂෙහාන් දුන්න ව්‍යාපාරික සහන පැකේජය : ජනාධිපති අලුතෙන් දුන්නද ?
ගෝඨාභය ජනාධිපතිගේ ඊයේ කතාවේ තවත් ව්‍යාපාරික සහන දෙකක් ගැන කියවිණ. ඒ ව්‍යාපාරික ණය ගෙවීමට සහන කාලයක් දීම සහ කාරක ප්‍රාග්ධන පොළිය 4% කිරීමය. නමුත් අපගේ මතකය නිවැරදි නම් 2020 ජනවාරි 09 වනදා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි පවසමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවැත්වූ මාධ්‍ය හමුවේදී, අදාළ සහන පැකේජයේ ඔය ණය සහන සහ පොළී සහන දෙකම ගැන කියවිණ. ඒ නිසා එය අලුත් සහනයක් නොවේය. අප කියන්නේ අසත්‍යක් යැයි සිතනවා නම් කල යුතුව ඇත්තේ 2020 ජනවාරි 09 හෝ ඊට ආසන්න දින මුදල් අමාත්‍යංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පරීක්ෂා කිරීමය.
රටම නිරෝධායනය කරමු : මැතිවරණය කල්දාමු !
නිර්ණායකයක් නොපෙනෙන නමුත් ගෝඨාභය රාජපක්ෂ දරන ස්ථාවරය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ රටම නිරෝධායනය කරන්න තරම් දෙයක් තවම නොමැති බවය. නමුත් ඒ ස්ථාවරය ගැන නම් ජනාධිපතිවරයා නැවත සිතා බැලීම වැදගත් බව කිව යුතුමය. මන්ද රටම නිරෝධායනය කිරීම කෙසේ වුවත් ජීවිත හානි හෝ වෛරසය ආසාදනය වූ ප්‍රමාණය අඩු කරගැනීම, පාලනය කරගැනීම අවශ්‍ය නිසාය. ඒ වෙනුවෙන් හදිසි තත්ත්වයක් හෝ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම, LOCKDOWN , බැහැර කල හැකි ක්‍රියාමාර්ග නොවේ. අනෙක් අතට රටම නිරෝධායනය කළ යුත්තේ ආසාදිතයන් ඉලක්කම් තුනේ ගාණට හෝ හතරේ ගාණට ඉහල ගිහින් හෝ මරණ වාර්තා වීමට පසුව නම් ? එතැන පැහැදිළි ප්‍රශ්නයකි.
සියල්ලට වඩා වැදගත් වන්නේ සහ සිහියට ගත යුතුව ඇත්තේ එකකි. ඒ මැතිවරණය කල්තබා කොරෝනා වර්ධනය මර්දනය කිරීම, ව්‍යාප්තිය වැලැක්වීම, නිරෝධායනය සාර්ථකව සිදුකිරීම ආදී කරුණු පෙරට ගත හැකි වුවත් මැතිවරණය වෙනුවෙන් කොරෝනා ව්‍යාප්තිය කල්දැමිය නොහැකි බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (17) ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ පිටපතක් පහත දැක්වෙයි.





