V2025

පුවත්

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ  අද (12) පත්කර තිබේ.

ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ අදාළ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

පාරින්ද රණසිංහ  මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකු වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ට ආ FR පෙත්සම

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

එක ලියුමයි : දුම්රිය ස්ථානාධිපති වර්ජනය ඉවරයි : ජොබ් බේරගන්න සාකච්ඡා !

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිටම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තිය සංගම කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය ස්ථානාධිපති සංගමය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධන ගුණවර්ධන  අතර අද (11) පස්වරුවේ  පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් වර්ජනයේ යෙදුණු නිලධාරින් සේවයෙන් ඉවත් කරන ලෙස යොමු කරන ලද ලිපි ආපසු කැඳවන ලෙසද වෘත්තිය සංගම් ද අමාත්‍යවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රි දොළහ වන විට සේවයට වාර්තා කරන නිලධාරීන් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට ද අමාත්‍යවරයා එහිදී වාචිකව දැනුම්දී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

ඉන්දීය ක්‍රිකට් පිල ලංකාවට එද්දී වනිදු ඉල්ලා අස්වෙයි !

T 20 සහ එක්දින ජාත්‍යන්තර තරග සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම ජූලි 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ජූලි 26, 27 සහ 29 යන දින වලදී T 20 ජාත්‍යන්තර තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අගෝස්තු 1, 4 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

වනිදු ඉල්ලා අස්වෙයි !

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග T 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල දැනුම්දීමක් සිදුකර ඇති අතර   නායකත්වයෙන් ඉවත් වුනද ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කරන ලද බව එහිදී සඳහන් කර ඇත.

ක‍්‍රීඩකයෙකු කණ්ඩායමටත් නායකයාටත් සෑම විටම තම උපරිමය ලබාදෙන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර   ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවත් වනිදු හසරංග ඉදිරියේදී ද  ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස සිටිනු ඇති බවත්ය.

වර්ජනය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු ලිපියක් : ඒත් වර්ජනය අඛණ්ඩව !

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා "සේවය හැරගියා සේ සලකා" ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පවසයි.

රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවද ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත අදාළ ලිපි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් මේ ව්න විටත් යවා ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

වර්ජනය අඛණ්ඩව - වෘත්තීය සමිති 

කෙසේ වුවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් ගේ සංගමය පක්ෂයේ පවසන්නේ දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න   මාධ්‍ය වෙත අදහස් දක්වමින්   පැවසුවේ අද (11) පස්වරුවේ පැවති සිය සංගමයේ  විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එසේම වර්ජනය මර්දනය කිරීමට රජය කටයුතු කළහොත් දුම්රිය සේවයේ සියලු වෘත්තීය සමිති සමඟ එක්ව ඊට එරෙහිව කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

වර්ජන පිටුපස තියෙන්නේ දේශපාලන අරමුණු - ලසන්ත 

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  පැවසීය.

එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඇති කිරීම වෙනුවෙන් මේ වන විට අප විසින් වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව කඩවත බස් නැවතුම්පළ අගොස්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙම බස් නැවතුම්පල තුළ නවීන ප්‍රවාහන කළමනාකරණ ක්‍රමවේද සහ නවීන තාක්ෂණය ද යොදා ගෙන තිබෙනවා.

ඒ වගේම 2023 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2214ක් වාර්තා වුණා. එම මාර්ග අනතුරු ආශ්‍රිතව පුද්ගල මරණ 2321ක් සිදුව තිබෙනවා. මෙම වසරේ ද ඉකුත් මස 30 වනදා වන විට මාර්ග රිය අනතුරු 1103ක් වාර්තා වී තිබෙනවා. එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් අප අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් පද්ධතියට එය ඇතුළත් කෙරෙනවා. ඊට සමගාමීව පදක්කම් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

ඒ වගේම දුම්රිය වර්ජනයට අදාළ විසඳුම් ලබාදීමට අප මේ වන විට මැදිහත් වී සිටිනවා. වසර 05කට වරක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද මේ වන විට සකස් කර අවසන් බව සඳහන් කළ යුතුයි.

නමුත් වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන හුදෙක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිදු කෙරෙන්නක් බව මහජනාතවට ද පැහැදිලි වී තිබෙනවා. සැබැවින්ම එම වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසියකම් වෙනුවෙන් සිදු කෙරෙන්නක් නොවන බව ද සඳහන් කළ යුතුයි.

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මඟින්  රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් අද (11) විවෘත කෙරිණි .

දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසිනි.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණ.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට සිට...

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර ඇත.

අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර කලාප කාර්යාල 100ක් අතුරින්, එක් කලාපයකින් සිසුන් 60 බැගින් ශිෂ්‍යත්වලාභීන් 6000ක් දැනටමත් තෝරාගෙන තිබේ. ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී එම සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරෙන අතර හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.

කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති අවස්ථා නිරීක්ෂණය වී තිබේ.

එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇත.

ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අරමුදල දෙමාපි‍යන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම අසීරු අවස්ථාවේදී කිසිවෙකු අත් නොහැරිය යුතුය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ සංකල්පයයි. දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සඳහාත්, යම් දරුවෙකු ආර්ථික අපහසුතා මත පාසල හැරයාම සිදුවන්නේ නම් එවැනි අවස්ථා වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකල පාසල් සඳහා නැවත අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදෙන අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකිය.

ඩයනා ට එරෙහිව චෝදනා පත්‍රයක්

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පවරා තිබේ.

ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල  දන්වා සිටියේය.

තවද, නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඇඹරෙමින් සිටිය ඩලස් සජිත් සරණ යයි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

 සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා එහිදී  පැවසීය.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පෙර නිදහස සභාවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් ඇතුළු බහුතර මන්ත්‍රී පිරිස ද සමගි ජනබලවේගය පක්ෂයට එක්වූහ .

ලිංගික හිංසන පිටුදකින ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය !

මෙරට  ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  මෙම  යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණ.

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටු දැකීම සඳහා සියලු පාර්ශවවල අදහස් ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් !

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

වසර 200කට පසු අප නැවත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා. ඒ සමඟ දැන් නැවත රට තුළ කුරුඳු වගාව දියුණු කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ කුරුඳු වගාව යළි රට තුළ දියුණු කිරීමයි. එහිදී පළමුව සිදු කළ යුත්තේ කුරුඳු නිෂ්පාදනය වැඩි කිරීමයි. එහිදී සෑම අක්කරයකින්ම උපරිම ඵලදාවක් ලබාගත යුතුයි. ඒ වගේම බාල කුරුඳු නොමැතිව ප්‍රමිතියෙන් යුතු කුරුඳු වර්ග වැඩිපුර වගා කළ යුතුයි.

එසේම කුරුඳු වගා කරන භූමි ප්‍රදේශය ද වැඩි කළ යුතුයි. එහිදී අලුතින් ඉඩම් ලබාදීම වගේම තමන්ගේ ඉඩම්වල වෙනත් වගාවන් සමඟ කුරුඳු වගා කිරීමට රජය යෝජනා කරනවා. මෙම පියවර සමඟ කුරුඳු නිෂ්පාදනය තුන් හතර ගුණයකින් ඉහළ නංවාගත හැකියි.

ඒ වගේම කුරුඳු අළෙවිය දවැඩිකළ යුතුයි. අළෙවියක් නැතිනම් නිෂ්පාදනය වැඩි කර ඵලක් නැහැ. ඒ නිසා අළෙවිය වැඩි කිරීමට අවශ්‍ය දේශීය හා විදේශීය උපදෙස් ලබා දීමට පියවර ගත හැකියි. සමාගම් එම වගකීම භාරගන්නවා නම් ඒ අයට සහාය ලබාදීමට රජය අපේක්ෂා කරනවා.

එබැවින් අප නව වෙළෙඳ පොළ අවස්ථා ලබා ගනිමින් ඉදිරියට යා යුතුයි. මෙම ප්‍රදේශයේ කුරුඳු සංවර්ධන මධ්‍යස්ථානයක් බවට මෙම ආයතනය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පැරණි ක්‍රමය වෙනුවට නවීන ක්‍රමයට එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ අයුරින් බලන විට අප අනාගතය සොයා, අතීතයට පැමිණ තිබෙනවා.

අපේ රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව වූයේ ආනයන ආර්ථිකයක රැඳී සිටීමයි. ආනයනය සඳහා අපි විශාල ලෙස ණය ලබාගත්තා. අප ක්‍රියාත්මක කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සමඟ අද අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපට ගෙවීමට තිබු ණය වලින් ඩොලර් බිලියන 08ක් පමණ අඩු කර තිබෙන අතර ණය ගෙවීමට 2043 දක්වා කාලය ලබා දී තිබෙනවා. අප අපනයන ආර්ථිකයකට ගමන් නොකළහොත් තවත් වසර 15කින් නැවත අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එසේ නම් අප කඩිනමින් නව ආර්ථික ක්‍රමයකට යා යුතුයි. එහිදී අප අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කළයුතුයි.

එදා අප ලෝකයට කුරුඳු ලබා දුන්නා. දැන් අප නැවත ඊට යොමු විය යුතුයි. එදා පුත්තලමේ සිට හම්බන්තොට දක්වා කුරුඳු වගා කළා. අප සැලැස්මක් අනුව එම කටයුතු නැවත ආරම්භ කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් ද අප කටයුතු කරමින් සිටිනවා.

වසර දෙකකට පෙර රටේ තිබු තත්ත්වය මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැම් අය කිව්වා මේ රට ගොඩගන්න බැහැ කියලා. මම බලයට තන්හාවෙන් පැමිණියා කිව්වා. දැන් කෙසේ හෝ අපි රට ගොඩ අරගෙන තිබෙනවා. අප නිවැරදි මාර්ගයේ ගමන් නොකළහොත් මෙම ජයග්‍රහණය අප අතින් ගිලිහි යා හැකියි. අප දැන් මේ රට ඉදිරියට ගෙන යා හැකි මාර්ගය පෙන්වා දී තිබෙනවා. විවිධ පිරිස් විවිධ දේවල් කියනවා. විවිධ දිව්‍යලෝක පොරොන්දු ලබා දෙනවා. නමුත් රට ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අප මෙම නිවැරදි මාර්ගයේ තවත් වසර 10ක් ඉදිරියට ගමන් කළොත් අපට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දියුණු වීමට අවස්ථාව තිබෙනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ

කුරුඳු වැඩිපුර වවන ප්‍රදේශයක කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශේෂ ස්ථානයක් හිමිවී තිබෙනවා. මෙක්සිකෝවේ මෙන්ම ලතින් අමෙරිකානු රටවල ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශාල ඉල්ලුමක් පවතිනවා. එම කුරුඳු බොහෝමයක්ම ප්‍රතිඅපනයනය කරන්නෙ අමෙරිකාවටයි. ලෝකයේ කුරුඳු වෙනුවට භාවිතා කරන කැෂියා බෝගය පිළිකාකාරක බව බොහෝමයක් දෙනා දන්නෙ නැහැ.එම නිසා නිවැරදි වෙළඳකරණය මඟින් ශ්‍රී ලංකාවේ කුරුඳුවලට වැඩි වටිනාකමක් ලබාගත හැකියි.

කෘෂිකර්ම හා විවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයක් ලෙස දකුණු පළාතේ බිහිවන පළමු දෙපාර්තමේන්තුව ලෙස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ඉතිහාසගත වෙනවා. මෙම දෙපාර්තමේන්තුව මඟින් කුරුදු වගාවට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කෙරෙනු ඇතියි. නව වගා බිම් ප්‍රමාණයක් හඳුන්වා දෙමින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කුරුදු වගාවට කැමැත්තෙන් සිටිනවා. එමඟින් වන අලින්ගෙන් සිදුවන උවදුරු අවම කර ගැනීමට පුළුවන්. කැෂියා වල තිබෙන ඒකාධිකාරය සහ පිළිකාකාරක බව පිළිබඳ ලෝකය දැනුවත් කරමින් ලෝකයට හොඳ කුරුඳු ලබාදීමට අප කටයුතු කළ යුතු යි. එයින් විශාල ලෙස විදේශ විනිමය ඉපැයීමට හැකියාව තිබෙනවා.

මීට වසර දෙකකට පෙර පොහොර නැතුව ගොවීන් ගොවිබිම් අතහැර මහ පාරට පැමිණියා. නමුත් ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගෙ තිබෙන විදේශ සබඳතා මත පොහොර ලබා ගැනීමට කටයුතු කළා. එම වැඩපිළිවෙළ නිසා අද වන විට ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට හැකිවී තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මගකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හැකි වුණා.

 රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩී.බී.හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

රටේ නව ගමනට සංඝ රත්නයේ මඟ පෙන්වීම ඉතා වැදගත් - ජනපති

සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එබැවින් නව ආර්ථික ක්‍රමයක් මෙන්ම දේශපාලන ක්‍රමයක් ද රට තුළ කඩිනමින් ඇති කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම නව මාවතට රට ගෙන ඒමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් කොට සලකන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පිරිවෙණේ අද (10) පස්වරුවේ පැවත්වුණු මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ උපසම්පදා විනයකර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සිට ජූලි 14 වනදා දක්වා මහාඒදණ්ඩ හල්වතුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර ස්වාමීන් වහන්සේලා 98 නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරේ.

විහාරස්ථාන 600කට අධික ප්‍රමාණයක ස්වාමීන් වහන්සේලා 4000කට අධික පිරිසක් නියෝජනය කරන අමරපුර අරියවංශ සද්ධම්යුක්තික පාර්ශ්වය වසර දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදු කරයි.

ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පරිවෙණාධිපති පූජ්‍ය ගිනිගල පෙදෙසේ සුධම්ම ස්වාමීන් වහන්සේ විසින් උපසම්පදා මහෝත්සවයට අදාළ සමරු ග්‍රන්ථය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.

පුණ්‍යෝත්සවය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

උපසම්පදා විනය කර්මය පැවිදි ඉතිහාසයේ ශක්තිමත්ම අවස්ථාවයි. එම උත්සවයේ වැදගත්කම නිසාම ඈත අතීතයේ සිට ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. අද මේ සිදුකරන උපසම්පදා මහෝත්සවයට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය දෙයාකාරයකින් ලැබුණා. පළමුවැන්න සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් ලැබුණු උපසම්පදාවයි. මියන්මාරයේ අමරපුරින් ලැබුණේ දෙවන ක්‍රමයයි.

ශ්‍රී ලංකාවේ උපසම්පදා විනය කර්මය සිදු නොවු වකවානුවක් තිබුණා. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම සහ රාජ්‍ය අනුග්‍රහය මත සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් පළමුවරට උපසම්පදාව රැගෙන ආවා.

ඉන් පසුව නැවත උපසම්පදාව නැති වී ගිය විට මියන්මාරයේ අමරපුර රාජ්‍යයෙන් නැවත උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළා. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ලක පාලනය කරන සමයේ භික්ෂූත්වය සහ ශාසනය රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා සිදුකළ සේවාව අතිමහත් බව ද කිවයුතුයි.

මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොලොත් වුණා . කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල් අපනයන ආර්ථිකයක් කරා සිය රටවල් මෙහෙයවනු ලැබුවා.

එම නිසා අප නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් රට තුළ කඩිනමින් ඇතිකළ යුතුයි. මෙම නව මාවතකට රට ගෙනයාමේ වැඩපිළිවෙළේදී සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා.

මෛත්‍රීට එරෙහි පෙත්සම සැප්තැම්බර් 02 කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා සඳහන් කළේ තම සේවා දායකයා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කර අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය දෙන්න “රන්දොර උරුමය” ඇරඹේ !

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජිවත් වන ජනතාවට එම නිවසේ පූර්ණ අයිතිය හිමිවන අවස්ථාවටයි. ඒ වගේම උරුමය වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප එම සියලු දෙනාට උදව් උපකාර කළා.

එහිදි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය ලබා දිම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවසක අයිතිය ඉතා වැදගත් වෙනවා. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. එම බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන අපට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. නමුත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත්තේ නැතිනම් අපේ රට තවත් ලෙබනනයක්, කෙන්යාවක් බවට පත් වෙනවා.

අද රට තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා. වසර දෙකක් තුළදී මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අපට හැකි වුණා. මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව මා කාලයක් තිස්සේ ප්‍රකාශ කළ කරුණක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලුදෙනා එක් වුණා.

මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් වූ අවස්ථාවේ නිවසක වටිනාකම මට දැනුනා. එම පිරිස කිසිවෙකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නැහැ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වෙනවා. වෙඩි තිබා මිනිස්සු මරන එකට මම කැමති වුණේ නැහැ. එම නිවසේ තිබු මගේ පොත් පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා.

එම අවස්ථාවේ නිවසක වටිනාකම වඩා තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය ලබා දීම වෙනුවෙන් අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා උරුමය වැඩසටහන ගමට සිමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා.ගමේ ලක්ෂ 20ක ජනතාවට උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවසක උරුමය හිමි වෙනවා. ඔබ මෙම නිවස ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එය ලස්සනට පිරිසිදුව තබා ගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මෙය ඔබේ ජිවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා.

ජනතාවට හැකි තරම් සහන ලබා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලුදෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑ ගසා නොවෙයි. එම වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කරලා නොවෙයි. අරමුණක් තිබෙනව නම් එම අරමුණ ඔස්සේ වැඩ කළයුතුයි.

අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. අප සමෘද්ධි දීමනාව වගේ තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. ඒ වගේම රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස 02ක් ලබාදීමට කටයුතු කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. කෘෂිකර්මාන්තය දියුණු කළා. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පැවති රජයන්ට මෙම කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. නමුත් අපට මෙම වැඩකොටස සිදු කිරීමට හැකිවූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමතිවරුන්ට ස්තූති කළයුතුයි. අප සියලුදෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපට ණය ලබා දුන් නිල ණයහිමියන් සමග, චීනය එක්සීම් බැංකුව සමඟ මෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ අප එකඟතාවට පැමිණ තිබෙනවා. ඒ අනුව අපට ගෙවීමට තිබෙන ණයවලින් රුපියල් බිලයන 08ක් අඩු වී තිබෙනවා. ඒ වගේම 2042 වන තෙක් අපට ණය ගෙවීමට කාලය ලැබී තිබෙනවා. එසේ නම් අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යාමට කිසිවෙක් කැමතිවෙයි කියා මම හිතන්නේ නැහැ.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ආරක්ෂා කරගත්තේ නැතිනම් ඉදිරියේදී අපට රටක් ලෙස මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අපට හැමදාම ණය වෙන්න බැහැ. ඒ නිසා අප මුදල් උපයාගත හැකි අපනයන ආර්ථිකයකට යා යුතුයි. මෙම අරමුණු වෙනුවෙන් අප කැපවිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබේ අනාගතය අද පවතින්නේ ඔබේ අතෙයි. ඒ වගේම අපි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය යුතුයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට අපි විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාම ගිය අයට සහනයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මම මහා භාණ්ඩාගර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අයට සහනයක් ලබාදීම වෙනුවෙන් මේ වසර අවසන් වන විට අප මුදල් වෙන් කළ යුතුයි. ඉදිරියේදී පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කිරීමට නම් බැංකු පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් පොළිය අඩු වූ විට විශ්‍රාමිකයන්ට එමඟින් අවාසියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාද වැඩසටහනක් සකස් කරන ලෙස මහා භාණ්ඩාගර ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.
ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යාමට තිබෙනවා. අනාගත පරපුරට අවශ්‍ය සමාජය අප ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අපට කළහැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය ලබා දීම තුළින් අද අප සිදු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

2024 උසස් පෙළට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

එම දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

නොවැළැක්විය හැකි හේතූන් පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත ලබන 12 වැනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.

වර්ජනය නොකළ අයට වැටුප් වර්ධක දෙන අයුරු.......

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන  අද (10) පැහැදිලි කළේය.

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ, විධායක ශ්‍රේණියේ නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ඊයේ (09) කැබිනට් අනුමැතිය හිමිවුණි.

"වර්ජනය කරපු දිනවල... කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ නොවී දරුවන්ගේ පැත්තේ හිටගත්තු ගුරුවරුන්ට විතරක් 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමකුත්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප්වල වර්ධකයක් ලැබෙනවා."

"රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?"

විශ්‍රාම වැටුපට බල නොපාන ආකාරයට වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්මතයි !

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව රජය පවසයි.

Page 59 of 466