V2025

පුවත්

ජලනිගේ සැලෝන් එකත් අයවැය අස්සේ !

ඊයේ (29) අඟහරුවාදාත් තවත් උණුසුම් දවසක්. එක පැත්තකින් පෑවිල්ල නිසා පරිසරයත් උණුසුම්. අනිත් පැත්තෙන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ තියෙන අයවැය කාරක සභා වාද විවාද නිසා දේශපාලන කරලියත් උණුසුම්.

අඟහරුවාද දවසේ පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්වුණේ සෞඛ්‍යය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ගැන. ඒත් ඉතින් මාතෘකා නිදිමත නිසාදෝ ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා නෑ. උදේ වරුවේ මොන මොන රස්තියාදුවේ ගියත් හවසට නිසැකවම පාර්ලිමේන්තු එන්නම ඕන කියලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග හැමෝටම දැනුම් දීලා තිබුණා.

වැය ශීර්ෂයක් ගැන හදිස්සියේ ඡන්දයක් ඉල්ලුවොත් ඡන්දෙ දෙන්න සූදානමින් ළඟපාත ඉන්න කියලයි කියලා තිබුණේ.

සෞඛ්‍යය කොහොම වෙතත් ආගමික කටයුතු බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශ ගැන ඡන්දයක් එයි කියලා හුඟදෙනෙක් හිතන්න නෑ.

ඒ වුණත් දෙමළ ජාතික සන්ධානයේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා බුද්ධශාසන වැය ශීර්ෂය ගැන බෙදීමක් ඉල්ලුවා. මේ නිසා කලබල වුණ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලවක් දෙවක් නැතුව දුරකථන ඇමතුම් දෙන්න ගත්තා. ඒත් දෙයියනේ මන්ත්‍රීවරුන් මොන තරම් කාර්යබහුල ද කියනවා නම් දුරකථනය උත්සන්නවත් ඔවුන්ට ඉස්පාසුවක් තිබිල නෑ...

මේ හින්දා නහුතෙට තද වෙච්ච මංත්‍රීවරු ඉන්න තැන්වලට ගිහිල්ලා, බැඳගෙන එන්න කඹයක් ගෙනත් දියල්ලා කියලා කාර්යාලයේ කොල්ලන්ට කෙල්ලන්ට කෑගැහුවා කියලයි අපිට ආරංචි උනේ...

විවාදයේ දී වෙනදා වගේම සමගි ජන බලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරු, ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කළා. ඔන්න ඔය අතරෙ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මහා අමුතු කතාවක් කිව්වා...

"මේ ආණ්ඩුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වියත් පුරය නිවාස යෝජනා ක්‍රමය යටතේ ගෙවල් දීපු විදිය වැරදියි. ආණ්ඩුව හදපු ගෙවල් මේ මන්ත්‍රීවරුන්ට සින්නක්කර දීලා. හැබැයි ඒකට වියදම් කරලා තියෙන්නෙත් රජයේ මුදල්. මේක මහා විශාල රාජ්‍ය මුදල් අවබාවිතාවක්..." චමින්ද විජේසිරි ඔන්න ඔය විදියට දිගින් දිගටම ආණ්ඩුවට ගහන්න පටන් ගත්තා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සිටියෙ පාර්ලිමේන්තුවේ ඔහුගේ කාර්යාලයේ. මේ කතාව ඇහිච්ච ඔහු විනාඩි දෙකට සභාගැබට ඇවිල්ලා ඊට උත්තර දුන්නා...

"මේ මන්ත්‍රිතුමා කියන්නේ පට්ටපල් බොරු. මන්ත්‍රීවරුන්ට මේ ගෙවල් සින්නක්කර දීලත් නෑ ඒවට ආණ්ඩුවේ මුදල් වියදම් කරලත් නෑ. නිකං බොරුවට පාර්ලිමේන්තුවේ කතා කරලා බොරුව ජනගත කරන්න එපා මන්ත්‍රිතුමා. කරුණු හරියට දැනගෙන කතා කරන්න..." ප්‍රසන්න අවවාදාත්මක ස්වරයෙන් චමින්දට කියද්දි ඔහුත් මෙන්න මෙහෙම උත්තර දුන්නා...

"නෑ නෑ... මම කිව්වේ මන්ත්‍රීවරුන් රක්ෂණයෙන් සල්ලි අරගෙන මේවට ගෙව්වා කියලායි. රක්ෂණය හරහායි ගෙවීම් කරල තියෙන්නෙ.." චමින්ද උත්තර දුන්නා.

මේ ගෙවල් මොනවද කියලා අපිටත් පැහැදිලි නෑ... පහුගිය දවස්වල අරගලය හේතුවෙන් මන්ත්‍රීවරුන් රැසකටම නිවාස අහිමි උනා නේ... අන්න ඒ වෙනුවට කොළඹ මෙයාලට ඉන්න ලබා දෙන නිවාස තමයි මේ...

කොහොම වුණත් ලස්සනම කතාව එළියට ආවේ ඊට පස්සේ ප්‍රසන්න කරපු හෙළිදරව්වත් එක්ක...

" ඔබතුමාට මේ ගෙවල් ගැන මෙච්චර උනන්දුවක් ආවෙ කොහොමද කියලා මම හොයල බැලුවා... පහුගිය දවස්වල මේ මන්ත්‍රීතුමා ගිහින් තියෙනවා UDA එකට... ගිහින් අහල තියෙනවා අපටත් ගෙයක් ගන්න බැරිද කියලා. එතන හිටපු නිලධාරියෙක් කිව්වලු ප්‍රසන්න ඇමතිතුමා ඕකේ කරනවා නම් අපට ප්‍රශ්නයක් නෑ කියලා... එදා ගිහින් එතනින් ගෙයක් ගන්න ට්‍රයි කරපු මන්ත්‍රිතුමා තමයි අද ඇවිල්ල මෙතන මේ විදිහට කතා කරන්නේ..."

කොහොම වුණත් මේ වගේ වැඩ කාටත් පැහැදිලි විනිවිද පෙනෙන ගණුදෙනුවලින් සිදුවෙනව නම් තමයි හොඳ...

මේ විවාදය හොඳටම උණුසුම් වුණේ හවස්වරුවේ. විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එල්ලවුණු චෝදනා වැඩිවෙනකොට ආණ්ඩුවෙත් මන්ත්‍රීවරු සංවිධානය වෙලා උත්තර දෙන්න පටන් ගත්තා. කවුරුත් එකතුවෙලා වට කරලා ගහන්න පටන් ගත්තෙ සජිත්ට. විවාදයට සංස්කෘතික අමාත්‍යංශයේ වැය ශීර්ෂයත් අදාල නිසා බැටින් විකට් එකක ප්ලේ කරන කලූලා සනත්ල වගේ ආන්ඩුවේ මන්ත්‍රීවරු එක දිගට පහර දුන්නා....

සජිත් ඇමති වෙලා හිටපු කාලේ ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ යොදවලා සජිත්ගෙ තාත්තට අයත්ව තිබුණ අඹන්පොළ අඹ වත්තෙ වැඩ කරපු හැටි සමහරු කිව්වා...

ඒ විතරක්ද... නෑ... ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ සජිත් ගේ බිරිඳ ජලනි ට අයත් beauty සැලූන් එකක වැඩට යොදවපු හැටි ගැනත් කියවුනා. ඒ beauty salon එක තිබිල තියෙන්නා තියෙන්නෙ ෂැන්ග්‍රිලා හෝටලයේ.

කොහොමින් කොහොම හරි මේ දෙපැත්තෙ වැඩවලට සේවකයෝ යවලා ඒගොල්ලො නඩත්තු කරන්න ඉංජිනේරු සංස්ථාව යොදවපු මුදල රුපියල් මිලියන 42ට අධිකයි කියලා තමයි කියවුනේ...

දේශපාලන වාර්තාකරු

එජාප තනතුරු ගන්න අයදුම්පත්‍ර දහස් ගණනක් !

එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට ඊට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බව වාර්තා වෙයි.

අයදුම්පත් යොමුකළ පිරිස අතර බහුතරයක් වෘත්තිකයන් වීම කැපී පෙනෙන කරුණක් බවත් එජාප ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ විනයගරුක පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් , දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ආසන කළමනාකරුවන් පත්කර ගැනීමේදී උගත් බුද්ධිමත් තරුණ පිරිස වෙත වැඩි අවධානයක් ලබාදෙන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

" එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක , දිස්ත්‍රික් කළමනාකරු, ආසන කළමනාකරු යන ධූර සඳහා අයදුම්පත්‍ර දහසකට වඩා ලැබී තිබෙනවා. ,ඒ සියලු අයදුම්පත්‍ර සලකා බැලීම සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 8 කින් සමන්විත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ආසන සංවිධායක වරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන කළමනාකරුවන් බඳවා ගැනීම යුහුසුළු කිරීමට කටයුතු කරනවා.

ඊට අමතරව තවත් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය ඉන්නවා නම් දෙසම්බර්මාසය තුළ එම අයදුම්පත්‍ර යොමුකිරීමට අවස්ථාව තිබෙනවා."

සැබෑ විකෘතිය ඇත්තේ කොතැනද?

"සැබවින්ම රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට; 88-89 ප්‍රචණ්ඩත්වයට ආර්. ප්‍රේමදාස ජනාධිපති බිය වුණේ නැත. ජවිපෙ සිදු කළ අවි ගත් කැරැල්ලට මුහුණ දීමට තරම් ධෛර්යයක් එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහුගේ ජීව විද්‍යාත්මක උරුමය පමණක් ඇති සජිත්, අද එහි ප්‍රතිවිරෝධය බවට පත්ව ඇත."

"කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත්ව ආර්ථික ඝාතකයන් රැළකගේ රැකවරණය ලබමින් සිදු කරන බියගුළු ප්‍රකාශවලට මේ රටේ පුරවැසියන් බිය වෙතැයි ජනාධිපතිවරයා කල්පනා කරනවා නම්, ඔහුට සිහිපත් කළ යුත්තේ මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය නැවත විමසා බලන ලෙසටය."

ඉහත උපුටා ගැනීම පසුගිය නොවැම්බර් 23 වැනිදා විපක්ෂ නායක සජිත් නිකුත් කළ නිවේදනයෙන්ය. ඒ පාර්ශ්වය මේ නිවේදනය නිකුත් කර සිටියේ, නොවැම්බර් 23 වැනිදා පෙරවරුවේ ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

විපක්ෂ නායක සජිත් කියන ලෙසට මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය සිහිපත් කළොත් පෙනෙන්න ඇත්තේ කුමක් ද? විපක්ෂ නායක සජිත් අසන්නේ මැයි 09 වැනිදා සිට ද? නැත් නම් ජූලි 09 සිට ද? මැයි 09 සිට සිහිපත් කළොත් අප ඉදිරියේ සිටියේ, අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී දින කිහිපයක් අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් නොමැතිව අරාජික වූ රට බාර ගන්න තරම් කොන්දක් නොතිබූ, විපක්ෂ නායකවරයෙක්ය. අවම වශයෙන් ජනාධිපති තෝරා ගැනීම වෙනුවෙන් පවැති පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී විපක්ෂයේ අපේක්ෂකයා වීමේ අවස්ථාවවත් සජිත්ට ලැබුණේ නැත. ඒ අවස්ථාව ලබා ගත්තේ ඩලස් අලහප්පෙරුමය.

ඒ කියන්නේ ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට ඊළඟ සුදුස්සා ලෙස ජන්දයට ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ශ්වයේ බහුතරය දිනා ගන්න සජිත් අසමත් වූ බවය. එසේ විපක්ෂයේ බහුතර විශ්වාසය තීරණාත්මක මොහොතේ ලබා ගැනීමට අසමත් වූ සජිත්, තවදුරටත් විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටියි. ඒ අනුව සජිත් කියන ඒ "පසුගිය මතකය", වත්මන් දේශපාලනයට ආදේශ කළොත්, මේ ආණ්ඩුව විකෘතියක් කියන්න හෝ ජනාධිපති රනිල් බලය ගත්තේ පස්සා දොරෙන් කියා සජිත් කරන චෝදනාවට කිසිම පදනමක් නැත. විකෘතිය ඇත්තේ විපක්ෂ නායක ධුරයේය. දැන හෝ නොදැන සිදු කරන ළදරු දේශපාලන තර්ක අවසානයේ සජිත්ටම පාරාවළල්ලක් වන්නේ එහෙමය.

ප්‍රතිපත්තිමය තීන්දු තීරණ !

කෙසේ නමුත් දිගින් දිගටම විපක්ෂ නායකවරයා විකෘතියක් ගැන කතා කරන බැවින්, සැබෑ විකෘතිය ඇත්තේ කොතැනද? යන්න පෙන්නුම් කර දීමට බල කෙරී ඇත.

"මේ රටේ පුද්ගලීකරණය සහ ජනතාකරණය ආරම්භ වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේය. එවකට කර්මාන්ත ඇමැතිවරයා ලෙස මම එය ආරම්භ කළා.".... "අපි පළමුවෙන්ම පෞද්ගලීකරණය කළේ යුනයිටඩ් මෝටර්ස් ආයතය. එය ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම පෞද්ගලිකරණය කළ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් පුඩ්, ලංකා ඩිස්ටිලරිස් මේ සියලු ආයතන ලාභ ලබන ආයතන. ඊළගට වැවිලි සමාගම් පෞද්ගලීකරණය කළා. මේ ඇතැම් ආයතන ලාභ ලැබූ ඒවා. සමහර ආයතන අලාභ ලැබූ ආයතන.

1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 ඊළග පියවර ගත්තා. සමහර ආයතන රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දෙන්න. මෙහිදී උදාහරණ කර ගත්තේ චීනයේ ඩෙන්ග් ෂියෝපින්ග් මහතා ආරම්භ කළ වැඩසටහන. අපි එය ඉදිරියට ගෙන ගියා. නැවත උත්සාහ කරන්නේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න."

ඉහත උපුටා ගැනීම නොවැම්බර් 23 වැනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්ය.

එදා ආර්. ප්‍රේමදාස පාලනය යටතේ දියත් කළ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීමේ ප්‍රතිපත්තිය ඔහුගේම පුතාණෝ වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද ප්‍රතික්ෂේප කර ඇත. 77 දී ජේ.ආර්. පාලනය ආර්ථිකය විවෘත කළ අතර, ආර්. ප්‍රේමදාස පාලනය දියත් කර සිටියේ එහි ඊළඟ පිම්මය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීම එහි වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය පියවරක් විය. ඒ තුළ රාජ්‍යයේ සීමා මත යැපුණු ප්‍රාග්ධනයට නිදහසේ වර්ධනය වීමට අවස්ථාව සැලසිණ. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ විලංගුවෙන් ගැළවුණු රට, මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට එය අත්‍යවශ්‍ය කාරණයක් විය. රජයේ කාර්ය භාරය වූයේ ඒ වෙනුවෙන් වන පහසුකම් සැලසීම සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමය.

නිවැරදි මාවත !

ඒ වන විටත් සමාජවාදී ලෙස හැඳින්වුණු චීනය පවා සිටියේ මේ උපායමාර්ගික ක්‍රමවේදය පිළිගනිමින්ය. මාවෝ සේතුං ගේ උගත් පාඩම් ඇසුරෙන් ඩෙං ෂියාඕපිං චීන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළේ, පළමුව ගොවියන්ට තම ඉඩම්වල වගා කිරීමට අවසර දීම ඔස්සේය. 1979දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇති කර ගැනීමත් සමඟ, විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්න විය. ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්යය 1970 අවසානයේ චීනය ඔස්සේ ප්‍රදර්ශනය විය. 1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය, 2001දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණේය. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය. වෙනත් රටවලට පනවා තිබූ වෙළෙඳ සීමා සහ තීරු බදු ලිහිල් කළේය‍. ඉතා කෙටි කලක් තුළ චීන භාණ්ඩවලින් ලෝකය වෙලා ගැනිණ. චීනය අනුගමනය කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට ලොව ශක්තිමත්ම ආර්ථිකයක් ඇති රට පමණක් නොව, වැඩිම බිලියනපතියන් සිටින රට බවටත් චීනය පත්ව ඇත.

ජේ.ආර්. 77 දී ආර්ථිකය විවෘත කරන විට, බටහිර දියුණු රටවල පමණක් නොව, සමාජවාදී චීනයේ මේ වෙනසත් නොදැන සිටියා විය නොහැකිය. ජේ.ආර්. ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය ආර්.ප්‍රේමදාස පාලනය පවා චීනයේ මේ වෙනස නොදැන සිටියා විය නොහැකිය. ඒත්, 94න් පසුව මේ ප්‍රතිපත්තිය නිවැරැදිව ඉදිරියට ගියේ නැත. ඒ නිසා ඇති වූ විකෘතිය අවසන් වූයේ දශක කිහිපයකට පසුව රටම මහා සමාජ ආර්ථික ව්‍යසනයක් වෙත ඇද දමමින්ය.

ජේ.ආර්, ප්‍රේමදාස යුගයේ අද නියමුවා ජනාධිපති රනිල්ය. දේශපාලන ජීවිතයේ වැඩිම කාලයක් විය යුතු දේ සම්බන්ධයෙන් ඇත්ත කියන්න ගොස් වැඩිම හානියක් කරගත් දේශපාලනඥයා ද රනිල්ය. 2023 අයවැය යෝජනා මඟින් ජනාධිපති රනිල් පදනම සකස් කර ඇත්තේ, ආර්ථිකයට අදාළව ජේ.ආර්. - ප්‍රේමදාස යුගයෙන් පසුව පැමිණි පාලන ඔස්සේ සිදුවූ ඓතිහාසික වැරැදි යළි නිවැරැදි මාවතට ගන්නය. නැත්නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සිදුවූ විකෘතිය යථා තත්ත්වයට පත් කරන්නය. එහෙත් ඒකට විපක්ෂ නායක සජිත් විරුද්ධය.

අත්තනෝමතික ප්‍රචණ්ඩත්වය !

සජිත්ගේ මේ හැසිරීමට අදාළව කදිම දේශපාලන විග්‍රහයක් පසුගිය 23 වැනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී ගෙනහැර පෑවේය.

ඒ, "ඊයේ (22) මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අලාභ ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළ යුත්තේ කියලා. එතුමාගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කිවුවා අලාභ ලබන ආයතන විතරයි විකුණන්නේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා." කියමින්ය.

ජනාධිපති රනිල්, සජිත්ව මහින්දගේ අනුගාමිකයකු කළාට, දර්ශනය අනුව නම් ඔහු වඩාත් ගැළපෙන්නේ මහින්දගේ දේශපාලන පුත්‍රයාටය. ඒ බව යළි යළිත් තහවුරු කිරීමට අලුත් සාක්ෂ්‍ය අනවශ්‍ය අතර, එයත් කරදරයක් නැතිවම සපයන්නේ සජිත්මය. ඊට ආසන්න නිදර්ශනය ජනාධිපති රනිල් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සජිත් නිකුත් කළ නිවේදනයේ පවා ඇතුළත් වූයේ මෙසේය.

"ආර්ථික ඝාතකයන්ට උත්තමාචාර පිරිනමා ඔවුන්ව රතු පලස් උඩින් පිළිගන්නා ජනාධිපතිවරයා, අප්‍රමාණ දුක් පීඩා උහුලමින් සිටින ජනතාවට ලබා දෙන්න යන්නේ මර්දනය බව ඔහුගේ වියරු ප්‍රකාශයෙන් සහ හැසිරීමෙන් ගම්‍ය වන අතර, එවැනි තර්ජන හෝ ගර්ජන අප මායිම් නොකරන බවද අවධාරණය කරමු."

මේ ප්‍රකාශය හමුවේ සජිත් පිළිතුරු දිය යුතුව ඇති පළමු ප්‍රශ්නය නම්, 2023 අයවැයේ ඇති ආර්ථික ඝාතන ප්‍රතිපත්තිය කුමක් ද? යන්නය. දෙවැන්න නම් ජනාධිපති රනිල් අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට සහ රට අරාජික කරන්නන්ට එරෙහිව කටයුතු කළ ආකාරය ෆැසිස්ට් නම්, ඊටත් වඩා ඉදිරියට ගොස් ජවිපෙ කැරැල්ල පරාජය කළ තම පියාණෝ ද ෆැසිස්ට්වාදියකු ලෙස සජිත් සලකනවා ද? යන්නය.

සැබවින්ම රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට; 88-89 ප්‍රචණ්ඩත්වයට ආර්. ප්‍රේමදාස ජනාධිපති බිය වුණේ නැත. ජවිපෙ සිදු කළ අවි ගත් කැරැල්ලට මුහුණ දීමට තරම් ධෛර්යයක් එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහුගේ ජීව විද්‍යාත්මක උරුමය පමණක් ඇති සජිත්, අද එහි ප්‍රතිවිරෝධය බවට පත්ව ඇත. ඒ ජනාධිපති රනිල්ට එරෙහිව රට අරාජික කරන අත්තනෝමතික කල්ලි කණ්ඩායම්වලට සහය දක්වමින්ය.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රශ්න විසඳීම !

මේ සියල්ල කැටි කර ගත් කල, සජිත් කියන්නේ එක් පසෙකින් පියාණන් පවා භාවිතය තුළ තහවුරු කළ නිවැරැදි ආර්ථික දර්ශනය තේරුම් නොගත් සහ ඊටම පිටුපෑ පුතාණෝය. අනෙක් පසින් රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට එරෙහිව රාජ්‍යය ආරක්ෂා කිරීමට පියාණන්ට තිබූ ධෛර්යයටත් නින්දා කරන පුතාණෝය.

ඒ අනුව විකෘතිය ඇත්තේ ආණ්ඩුවේ ද? නැත්නම් විපක්ෂ නායක සජිත්ගේ ද? කියා තේරුම් ගන්න අලුත් දර්ශනයක් අවශ්‍ය නැත. විකෘතිය ඇත්තේ සජිත්ගේය. ප්‍රශ්නය ඇත්තේ සජිත් එය නොදැන සිටීමය. එනිසා තව දුරටත් ඔය විකෘතිය සමඟ ගොස් විකාරයක් වනවා ද? අර්බුදයෙන් රට ගොඩනගන්න එකතු වෙනවා ද? යන්න ගැන විපක්ෂයේ පාර්ශ්ව තීන්දුවක් ගත යුතුව ඇත.

ඒ හැර ජනාධිපති රනිල් ෆැසිස්ට් කියමින් වචනවලින් තොරණ ගහන්න ගියාට තේරුමක් නැත. රනිල් ෆැසිස්ට් නම්, රනිල් චීනයේ ඩෙන්ෂියාඕගේ ආර්ථික ප්‍රතිපත්ති අගයන නිසා ඔහු වාමාංශික වෙලා ද? ක්‍රියාත්මක කළ බව මේ කතා අස්සේ කිවුවේය. එතකොට රනිල් වාමාංශික වෙලා ද? වියට්නාමයේ ඩින් ඩියැම් ගැන කියන විරෝධාකල්ප අදහස් නිසා ජනාධිපති රනිල් කතෝලික හෝ අමෙරිකන් විරෝධියෙක් වෙලා ද? පැවිදි බට්ටන් ගැනත් කිවුවේය. ඒ කියන්නේ රනිල් බෞද්ධ විරෝධියෙක් වෙලා ද? නැත.

රනිල් කියන්නේ රනිල් ය. රනිල් වම - දකුණ කියා දේශපාලනය තුළ පැරඩ් තියන්න යන්නේ නැත. රනිල්, ආගම දේශපාලනයට පටලවා ගත්තේද නැත. ඒ, ජේ. ආර්. ගේ ආදර්ශයය. රනිල් හැම ආගමකටම ගරු කරයි. ඒත් සුදු ලෝගු දාගෙන, කහ සිවුරු පොරවාගෙන එන කුමන්ත්‍රණවලට ඉඩක් ඔහුගෙන් ලැබෙන්නෙ නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සිංහල ජන කොටස්වලට සාමයෙන්, සාමදානයෙන්, සංහිඳියාවෙන් ජීවත් වෙන්න බලය බෙදා හැරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියි. ඔහු ඒ බව පසුගියදා ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේදී කිවුවේය. පොදු එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වෙත ආරාධනාද කළේය.

රනිල් ප්‍රශ්න විසඳන්නේ හිට්ලර්ගේ ක්‍රමයට නොවේ. ඔහුගෙන් ඉඩ ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණය. මේක තේරුම් ගන්න බැරි උදවිය නම් ඇත්තටම විකෘතිය.

 කුලසිරි ලියනගේ

සිරිසේනට එරෙහිව අමරවීර නඩු යන සූදානමක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන විසින් හෙට (30) පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේනට ලිපියකින් දන්වා තිබේ.

තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ තමා හෙයින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ව්‍යවස්ථාව අනුව රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ තමාට බවත් මෛත්‍රීපාල සිරිසේනට රැස්වීමක් කැඳවීමට කිසිදු බලයක් නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර එම ලිපියේ සඳහන් කර ඇත .

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් බවත් මෙම තත්ත්වය නිවැරදි කිරීමට වහාම පියවර ගෙන රැස්වීම අවලංගු කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර අදාළ ලිපිය හරහා ඉල්ලා තිබේ.

රැස්වීම අවලංගු නොකළහොත් ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් කැඳවීම පිළිබඳ නීති ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා එම ලිපියෙන් අවධාරණය කරයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනරල් චන්න විරසුරියට

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය  පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ දක්ෂ නිධාරියෙකු වන අතර

ඔහුගේ සේවා කාලය වසර 36 කි.

1968 ක්වූ ජූලි මස 15 වන දින කොළඹ 7 මැකාති රෝහලේදී බෙන්සන් පැට්ට්‍රික් වීරසුරිය හා වීරකොන්ඩ ආරච්චි වයලා යන ආදරනීය දෙමව්පියන්ගේ දරුවා ලෙස උපත ලැබූ එතුමා සිප් සතර හැදෑරීම සදහා එවකට ප්‍රසිද්ධ පාසැලක් වන කොලඹ මහානාම විදුහල වෙත ඇතුලත් වුනි. මහානාමයේ මැවුම්කරු ලෙස අප සියලු දෙනාගේ ගරුත්වයට නිතැතින් පාත්‍ර වූ කේ එන් පී ද සිල්වා විදුහල්පති තුමන්ගේ සෙවනේ නිතැතින්ම හැදූවැඩුනු එතුමන් පාසලේ අතිදක්ශ කැපී පෙනෙන සිසුවෙකු ලෙස සිප් සතර හැදෑරීය. පලමු පෙල ක්‍රිකට් කන්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කීර්තිමත් මහානාම ක්‍රීඩකයන් වන විපුල සිට්ටමිගේ, සුදේශ් වීරසිංහ, සුරේශ් එදිරිවීර හා ශශී ප්‍රභා පීරිස් සමග ඒ කාලයේදී සියලු ක්‍රිකට් සංග්‍රාමයන් හමුවේ මහානාම මාතාවට ජය ගෙන එන්නට එතුමා සමත් වූ බව පවසන්නේ අභිමානයෙනි. සිය පාසැල් දිවියේ අවසානයත් සමගම දේශය වෙනුවෙන් සිය පරම යුතුකම ඉටුකිරීමේ අදිටනින් 1986 ක්වූ ඔක්තෝම්බර් මස 27 වන දින යුද්ධ හමුදාව බැදී ඇත.

එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට බේරා ගැනීම සඳහා ක්‍රියාන්විත රාජකාරී ඉටුකළ වීරසූරිය  දෙස්, විදෙස් විශ්ව විද්‍යාල කිහිපකින්ම අධ්‍යාපනය ලැබූ අයෙකි.

සන්නාහ සන්නද්ධ බලකාය දිවිපිදූ රණවිරුවන් සමරයි !

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හමුදාධිපතිවරුන් සිවි දෙනෙකු දායාද කර ඇති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 67 වැනි සංවත්සරය 2022 දෙසැම්බර් මස 15 වන දිනට යෙදී ඇත.

ඊට සමගාමීව පැවැත්වූ රණවිරු සැමරුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු අධිපති සහ හමුදා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ ප්‍රධානත්වයෙන් කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණ.

දෛවයේ කැඳවුම කොතැනද ? යන්න තේමා කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය මෙරට පැවති තිස්අවුරුදු යුද්ධයේදී ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් 28 දෙනෙකු සහ සෙසු නිලයින් 415 දෙනෙකු මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කර ඇත.

මාතෘභූමියේ නිවහල්භාවය ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංනා යුද්ධ හමුදාව විසින් දියත් කළ වඩමාරච්චි, බලවේගය, යාල්දේවි, රිවිරැස, සත්ජය 1/2/3, ජයසිකුරු ක්‍රියාන්විතවලදීත් අවසන් මානුෂීය මෙහෙයුමේදීත් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ සාමාජිකයින් වීර වික්‍රම පදක්කම් 17කිත්, රණ වික්‍රම පදක්කම් 67කින් සහ රණ ශූර පදක්කම් 505 කින් පිදුම් ලබා ඇත.

රණවිරු සැමරුම් උත්සවයේ දී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් රණවිරු ස්මාරකය වෙත ගොස් සිය ආචාරය රටවෙනුවෙන් දිවිපිදූ රණවිරුන් වෙත පුද කළහ. එදින උත්සවය අවසානයේ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට එම අවස්ථාවට සහභාගී වූ රණවිරු පවුප්වල සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

IMG 20221129 WA0025

ජනාධිපති රනිල්ගෙන් සජිත්ටත් ධර්ම දානයක් !

පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බවත් විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇතිවන බවත්, එය බුදුන් වහන්සේගේ සමයේ සිට සිදුවන දෙයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලය ලබාදෙන කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට පළමුවතාවට අනුමැතිය ලබා දුන්නේ ඒ වෙනුවෙන් බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

අද ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ විෂයය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මට කළ දැනුම්දීම පිළිබඳව.

ඇත්ත වශයෙන්ම මම දන්න විදියට පරාභව සූත්‍රයේ මහා සංඝරත්නය ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ,

සුවිජානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ

(දියුණුවන පුද්ගලයා එම කරුණු අනුව දැනගත හැකිය. පිරිහෙන පුද්ගලයාද එසේම දැනගත හැකිය. දස කුසලයේ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට ද්වේශ කරන කෙනා පිරිහෙයි) යනුවෙනි.

බුදු දහමේ සඳහන් වෙනවා බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව.

පරාභ‍ව සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි. මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ධර්මයයි, සංඝරත්නයයි දෙක මිශ්‍ර කරලා තිබෙන්නේ. අපි එය වෙන්කරගත යුතුයි. මොකද ගිහි පැවදි සියලුදෙනා ධර්මය පිළිපැදිය යුතුය. ඇතැම්විට ගිහි අයට ධර්මය පිළිපදින්නේ නැතිව ඉන්න පුළුවන්. එහෙත් අපි ජිවත්විය යුත්තේ ධර්මයට අනුවයි.

මම තව කරුණක් එතුමාට මතක් කරන්න කැමතියි.

අසන්තස්ස පියා හොන්ති
සන්තේ න කු‍රුතේ පියං
අසතං ධම්මං රෝචේති
තං පරාභවතෝ මුඛං

(මොහුට අන්‍ය ශ්‍රාස්තෘන් ප්‍රිය වෙත්ද, බුද්ධාදි සත්පුරුෂයන් ප්‍රිය නොවෙත්ද, දෙසැටක මිත්‍යාදෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේ ද මේ කරුණු 03 පිරිහීමේ දෙවන දොරටුවයි.)

මම එම අවවාදය අපේ විපක්ෂ නායකතුමාට දෙන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අපේ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි පළමුව බලාපොරොත්තු වෙන්නේ ගිහි පැවිදි සියලුදෙනා ධර්මය අනුව ක්‍රියා කරනු ඇති බවයි.

අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. දේවදත්ත සිවුරු දරාගෙන තමයි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ.

අපේ ශාසනික කටයුතුවලදී අවධානය යොමුකළයුතු ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා. ඒකයි අපි පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී තිබෙන්නේ. මේ සඳහා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් පසු අපි එය මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද යම් කිසි පාලනයක් තිබිය යුතුයි. අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. ඒ රජවරු මගින් තමයි ශාසනයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණේ.

පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයාවහන්සේලාට මරණ දඬුවම නියම කළා. අපිට ඒවා කරන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් අපට බලයකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය යටතේ භික්ෂූන් වහන්සේ‍ලාගේ විනය පිළිබඳ සඳහන් වෙනවා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය නමින් අපිට කතිකාවත් 03ක් තිබෙනවා. ශාසනික කටයුතුවලදී අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ගණනාවක් අද අපට තිබෙන නිසා මෙම කෙටුම්පත අවශ්‍ය වෙනවා.

මම දැක්කා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් අපේ මල්වතු, අස්ගිරි මහානායකහිමිවරුන්ට බනිනවා, දොෂාරෝපණය කරනවා. කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා.

සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.

අද භික්ෂුන් වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුලත්වුණත් අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළයුතුයි භික්ෂුන් වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂුන් වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතුයි.

ඒවගේම විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුයි. මේ යන ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුනොත් අපේ ශාසනය නැති වෙනවා. ඒකයි මම විශේෂයෙන්ම අද මේ ගැන කතා කළේ.

ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂී ස්වභාවය අප ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද රජය සොයා බැලිය යුතුයි. හින්දු භක්තිකයන් පමණක් නොවෙයි බෞද්ධ විහාරස්ථානවලත් විවිධ හින්දු දෙවිවරුන් කී දෙනෙක් අදහනවාද?

නිදසුනක් වශයෙන්, ශිව වන්දනාව යාපනයේ බහුලව දක්නට ලැබෙනවා.

විෂ්ණු වන්දනාව හෙවත් විෂ්ණු දෙවියන් මූලික වශයෙන් දකුණු පළාතේ අදහනු ලබනවා. විෂ්ණු, කතරගම, පත්තිනි, විභීෂණ දෙවියන්ට අපි නමස්කාර කරනවා.

ඉන්දියාවේ හින්දු නමස්කාරයට වඩා ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂීභාවය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කරන ලෙස මම අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා, සමහර විට අනෙක් පාර්ශ්වයන්ට ද මෙයට උදව් කළ හැකිය. එහිදී නැවතත් ඔබට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර වෙනසක් දක්නට ලැබෙනවා. එය අප විසින් කළයුතු දෙයක්.

ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ඇති කරන්න. අද ඉතිහාසය අමතක වෙලා තිබෙන්නෙ. විශේෂයෙන්ම මේ ආයතනය ඇති කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ වගේම පර්යේෂණ ඇති කරන්න. මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස් වෙලා තිබෙනවා.

මහාවංසයේ තිබෙන්නේ එක කණ්ඩායමක අදහස්. නමුත් තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන සොයා බලා ලංකාවේ ඉතිහාසය පිළිබඳව මේ ආයතනය ඇති කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මම සෞඛ්‍ය ඇමතිතුමාට ප්‍රශංසා කරන්න ඕනේ ඌව වෙල්ලස්ස, සබරගමුව, සහ පොලොන්නරුවේ අපට අවශ්‍ය වෛද්‍ය පීඨ 03ක් ආරම්භ කරන්න කටයුතු කිරීම පිළිබඳව.

එමගිනුත් පශ්චාත් පරීක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පිරිනමන්න අපි සූදානම්. එවැනි උපාධි පිරිනමන එක් ආයතනයක් කොළඹ තිබෙනවා.

 මේ වන විට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය දියුණු කරන්න අපි මුදල් ලබා දෙනවා. කොළඹ අපේ තිබෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉන්දියාවේ පූනේ ප්‍රදේශය ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය මට්ටමට ගෙන ආ යුතුයි. ඉදිරි වසර දෙක තුනවන විට අපට එම මට්ටමට ළගා විය හැකියි.

වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය දියුණුව අපි ලබා දී තිබෙනවා. මේ වන විට එක වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලක්ෂ හැටක් රජය වියදම් කරනවා. මේ ඔක්කොම වියදම් කරන්නෙ ඔවුන් අපේ රටේ රඳව ගන්න. නමුත් උපාධිය ලබා ගත්තට පස්සේ බොහෝ දෙනා පිටරට යනවා. මේක විශාල ප්‍රශ්නයක්.

මෙහිදී අපි ගතයුතු පියවර කුමක්ද කියලා සාකච්ඡා කළයුතුයි. මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නය තිබෙනවා. එහෙම බැලුවම අපේ වෛද්‍යවරු පුහුණු කරලා අපේ රටින් අනිත් රටවල්වලට ලබාදෙන ආධාර, විදේශ රටවලින් අපේ රටට සෞඛ්‍ය සඳහා දෙන ආධාර වලට වඩා වැඩි බවයි පේන්න තිබෙන්නේ. පිටරට යන අපේ වෛද්‍යවරු සුදුසුකම් සහ අත්දැකීම සහිත අය. මේ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන්ට අපි මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පිළිතුරක් අපි සෙවිය යුතුයි.

 

සාගරයි සංජීවයි තරගයක් : රෝ එක බැසිල් හම්බෙලා !

මොල හතක් තියෙනවයි කියන බැසිල් රාජපක්ෂ, ලංකාවට ආපු දවසේ ඉඳලා , එක මිනිත්තුවක් නිකං නෑ කියලයි, පොහොට්ටුවේ එක ප්‍රකාශකයෙක් කිව්වේ. ප්‍රකාශකයා වෙන කවුරුවත් නෙවෙයි. සංජීව එදිරිමාන්න. සංජීව කියන්නේ බැසිල්ගෙ ළඟටම වෙලා ඉඳලා, බැසිල්ව අයිති තමන්ට කියලා හිතාගෙන, වැඩ කරන මන්ත්‍රීවරයෙක් කියලයි, අපි දන්නෙ. හැබැයි ඒකටත් ඕන් දැන් තරගයක්.

තරගයක් කිව්වම, ඒ කාත් එක්කද කියලා ඕගොල්ලෝ බලාවි. ඇත්තම කියනවා නම්, කාලෙක ඉඳලා බැසිල්ගෙ ළඟම ගෝලයා වෙන්න, පක්ෂයෙ මහලේකම්, සාගර කාරියවසමුයි සංජීවයි අතර , පුංචි නිහඬ සටනක් පටන් ගෙන තිබුණා. සංජීව කාලෙකදි ඉස්සරහට ආවා. ඒත් මේ දවස් වල නං සංජීව පරද්දල ඉදිරියට එන්න, සාගර සමත් වෙලා...

ඒ දෙන්නගෙ සටනත් හරියට, football world cup එකේ, සහභාගි වෙන, අන්තිම තරගාවලිය නිසා , වාර්තාවක් තියන්න, රොනාල්ඩෝ යි මෙසීයි අතර තියන තරගය වගේම තමයි....

පහුගිය දවස්වල, පත්තර වලට මීඩියා වලට කතා කරමින්, බැසිල්ගේ තොරතුරු කියන්න, බැසිල් පිලිබද නිවුස් දෙන්න, මැසේජ් ගැන සුභවාදී ප්‍රකාශ නිකුත් කරන්න, එදිරිමාන්න මොනතරම් මහන්සි වුණත්, ඊට වඩා ලොකු දෙයක්, සාගර එක වොයිස් කට් එකෙන් කරලා දැම්මා...

ඔන්න ඔය අස්සෙ තමයි, බැසිල් ගිය ඉරිදා ආපු වෙලාවේ, ගුවන්තොටුපලේ විශේෂ ප්‍රභූන් වෙනුවෙන් තියන, පර්යන්ත හා වරප්‍රසාද පාවිච්චි කරමින්, රජයේ මුදල් අවභාවිතා කරලා කියන, චෝදනාව එළියට ආවේ.

සමාජ මාධ්‍ය වලින් , මේ චෝදනාව, තදටම බැසිල්ට එරෙහිව එල්ල කළා. ඒ වෙලාවේ, පක්ෂය වෙනුවෙන් කතා කරමින් , එහෙම දෙයක් වුණේ නෑ කියලා , කරුණු පැහැදිලි කරන්න ඉදිරිපත් වුණේ සාගර...

"කිසිම මුදල් අවභාවිතාවක් වෙලා නෑ... රජයේ මුදල් සතයක්වත්, බැසිල් මහත්තයාගේ ආගමනය වෙනුවෙන්, වියදම් වෙන්න විදියක් නෑ... මොකද ඒ සියලුම මුදල්, පක්ෂය විසින් ගෙවා දැමුවා..."

ඔන්න ඔය අස්සේ මාධ්‍ය අතර ඉන්න, කවුදෝ දග පන්දු කාරයෙක්, සාගරගෙ කකුල් දෙක මුලටම , දුස්රාවක් දැම්මෙ මෙන්න මෙහෙම.

"රෝ සංවිධානයේ නියෝජිතයෝ වගයක් ඇවිල්ලා, බැසිල් මහත්තයා හම්බෙලා, සාකච්ඡාවක් කරා කියලත් ආරංචියි..."

සාගර පසු පාදයට ගිහින්, බැට් එකයි පාදයයි දෙකම ඉස්සරහට දාලා, විකට් එක බේරගත්තේ මෙන්න මෙහෙම....

"ඇයි... එතුමට ඒ වගේ කවුරු හරි හම්බවෙන්න, තහනමක් කරලා තියෙනවද..?"

"ඒ කියන්නේ එහෙනම් හම්බ වෙලා තියෙනවා...?"

"ඒක මන් දන්නෑ.... ඒක අහන්න ඕන එතුමාගෙන්. හැබැයි එතුමට ඒ කවුරුවත් හම්බවෙන්න තහනමක් නෑ..."

රෝ එකයි බැසිලුයි කළයි කියන සාකච්ඡාව, කොහොම වෙතත්, මේ දවස් වල රෝ එක ගැන නම්, අපේ දේශපාලන කරලියේ කතා-බස් බහුලයි. ලබන අවුරුද්දේ, ලංකාවේ දේශපාලනය තුළ, පෙරළියක් කරන්න, දැන් ඉඳලම, රෝ එක වැඩ කරන්න පටන් අරන් කියලා, පුංචි කතාබහක්, පහුගිය දා පාර්ලිමේන්තු ආලින්දයකත් ඇතිවුණා.

හැබැයි එතන, ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුරුවත් හිටියේ නෑ. හිටපු ඔක්කොම විපක්ෂයේ හා, ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච කණ්ඩායම් වල අය...

මේ කට්ටිය කතා උනේ, ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට ආණ්ඩුවට, නිසැකයෙන්ම මහ ඡන්දයක් පවත්වන්න සිද්ධ වෙනවා , කියලා තැන ඉදන්...

"ඡන්දයක් තියන්නේ නෑ කියලා, රනිල් කියලා ඉවරයි... ඔයගොල්ලො බොරුවට දගලනවා." ප්‍රශ්න ටිකක් මධ්‍යස්ථව දකින, එක් මන්ත්‍රීවරයෙක් එහෙම කිව්වා...

"ඔයා කතා කරන්නේ, දැන් තියෙන තත්ත්වය ගැන. හැබැයි ලබන අවුරුද්දේ ඡන්දයක් තියන්න කියලා, ඉල්ලලා, සජබේ මූලිකත්වයෙන්, ජවිපෙයි , පෙරටුගාමීන් සහ විපක්ෂයේ පක්ෂයි, පාරට බැහැලා උද්ඝෝෂණය කරන කොට, රනිල් කොහොමද ඡන්ද නොතියා ඉන්නේ.

මාර්තු වල නිසි කාලේ ආවම, අනිවාර්යයෙන් ම, එයාට ආණ්ඩුව විසුරුවාලා , ඡන්දයක් තියන්න වෙනවා. ඒකට ජාත්‍යන්තරයෙ සපෝට් එකක් තියෙනවා. විශේෂයෙන් රෝ එකේ..." මන්ත්‍රීවරයා එහෙම කිව්වේ, කාරණා කාරණා දැනමුත්තෙක් විදිහට.

"රෝ එක්ක ඉන්නේ ,රනිල් එක්කනේ..." තවත් මන්ත්‍රීවරයෙක් කිව්වා.

"ඒ ඉස්සර... 2015දී system change කරන්න රනිල්ට ඒගොල්ලො උදව් කලා තමයි. එකේ හිලව්වට රනිල් මොනාද ඉන්දියාවට කළේ...හම්බන්තොට චීනට දුන්නා. පෝට් සිටිය නතර කරනවා, කියලා කිව්වට, කළේ නෑ... අන්තිමේ ඉඩමත් වැඩි කරල දුන්නා. ඉන්දියාවට කළගුණ සළකන්නට රනිල්ට බැරි වුණා..." ජාත්‍යන්තර සබඳතා බහුශෘතයෙකු වගේ ඒ මන්ත්‍රීත්, මෙන්න මෙහෙම විස්තර, කියාගෙන කියාගෙන ගියා.

දේශපාලන වාර්තාකරු

A 9ක් ගත්ත සිදුවාට : භූමිතෙල් ගසා ගිනි තිබ්බේ කවුද ?

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිට ඇති මෙම සිසුවා තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය මිත්තණියට දැනුම් දීම සඳහා 26 දින රාත්‍රියේ යමින් සිටියදී මී කණුව එකේ කණුවේ දී මෙම සිද්ධියට මුහුණ දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

අම්පිටිය මැද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවා ඔහුගේ නි‍ෙවස ආසන්නයේදීම මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ පියා ද ළඟ සිටියදීය. ඉදිරියට පැමිණි පුද්ගලයකු ලාම්පුතෙල් ඉස ගිනි තබා පලා ගිය බවද තම පුතාට ගිනි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි බවද පියා පොලිසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මත්කුඩුවලට ඇබ්බැහිවූ අම්පිටිය මීකණුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසයි.

භූමිතෙල් ගිනිගෙන දැවීම නිසා සිසුවාගේ ගෙල ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර ඊයේ (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත. ඉදිරියේ දී ඔහු තවත් සැත්කමකට ලක් කිරීමට නියමිතය.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් කලක පටන් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා ගණනාවක් මෙම මැර කල්ලි විසින් සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගත් බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පෙන්වා දෙන ප්‍රදේශවාසීන් අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අන්‍යන්‍යතාව අපරාධකරුවන් හමුවේ හෙළි කිරීම නිසා කිසිවකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට ඉදිරිපත් නොවන බවත් පවසති.

නිවසට වී අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දී ජීවත්වන අහිංසක දරුවන්ට ජීවත් වීමට නොහැකි ලෙස මේ වනවිට අම්පිටිය ප්‍රදේශය කප්පම්කරුවන්ගේ හා මැර කල්ලිවල ග්‍රහණයට අසුව ඇතත් පොලිසිය ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ක්‍රියා මාර්ග නොගන්නා බව ප්‍රදේශවාසීහු පවසති.

අපේ දරුවාට සිදුවූ විපත අපි බලා ගන්නම් මේවා මාධ්‍ය මගින් හෙළි කරලා අපිටත් පාරේ බැහැලා යන්න ලැබෙන්නේ නැතැයි සිසුවාගේ ඥාතීන් පවසන අතර ඔවුන් අද පත්ව සිටින අසරණ තත්ත්වය එයින්ම පැහැදිලි කර ගැනීමට පුළුවන.

- දිනමිණ

ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න : කැබිනට් අනුමැතිය !

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊයේ(28) සිය ගිණුමේ ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුල සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු හෙට සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

බැසිල්ගේ යෝජනාවට රනිල් අවනත වෙලා නෑ !

දේශපාලන කරලියේ, බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට, හොඳ කියන අය හොයාගන්න ලේසි නෑ. හැබැයි නරක කියන අය නම්, ඕන තරම්...

මේ කියන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර නම් නෙවෙයි.... රටේ පොදු ජනතාව අතර කියලා කිව්වොත්, වරදක් නැති වෙයි.

හැබැයි ඉතින් අපි මේ කතා කරන්නේ, එක්තරා ඡන්දෙකදී, ගම්පහ දිස්ත්‍රිකයේ , වැඩිම මනාප අරන් වාර්තාවක් තියපු කෙනෙක් ගැන. කලකදි රහ, කලකදි වහ වෙනවාලු කියලා, අපේ ජනවහරෙ තියෙන බව දන්න අප,ට ඕවා ප්‍රශ්න නෙවෙයි.

බැසිල් ආපු වෙලාවේ, බැසිල් ආවේ ඇයි කියලා, හදිසියට කතා කරපු හුඟ දෙනෙකුට, බැසිල්ගේ පාට ගැන හොයන්න බැරි වුණා.

ලංකාවෙන් ගියපු කළු බැසිල් වෙනුවට, ලංකාවට ආවේ සුදු වෙච්ච බැසිල් කෙනෙක්...

නෑ නෑ... අපි මේ කතා කළේ, බැසිල්ගේ චරිතය හරි , දේශපාලන චරිතය ගැන හරි නෙවෙයි. යනකොට අපූරුවට කලු වෙලා තිබිච්ච කොන්ඩෙ, එනකොට සුදුම සුදු වෙලා තිබිච්ච එක ගැන.

ඒ වෙලාවේ ඒක, කවුරුවත් දැක්කේ නැති බව ඇත්ත

හැබැයි ඔන්න දවසක් දෙක තුනක් ගත වෙලා ගියාට පස්සෙ, ඒකත් ටක්කෙටම දැනිච්ච අය ඉන්නව...

"බැසිල් ආවෙ නිකං නෙවෙයි... අයවැයේදී ආණ්ඩුව පෙරළන්න බලාගෙන ඉන්න විපක්ෂයට, ගේමක් දෙන්න..."සමහරු එහෙම කිව්වා.

"රනිල් පොහොට්ටුවට සලකන එක අඩු කරලා. හුඟ දෙනෙකුට ඇමතිකම් දීලාත් නෑ. ඒ උනාට ආණ්ඩුව තියෙන්නෙ, පොහොට්ටුව නිසා. බැසිල් ආවේ, මේ වෙලාවේ නිවැරදි කේවල් කිරීම කරලා, පොහොට්ටුවට අහිමි වෙයි වෙච්ච තැන දිනලා දෙන්න "සමහර අයනම් එහෙමත් හිතන්න ඇති...

ඒත් බැසිල් ගැන නොදන්නා අය මොනව කිව්වත්, දන්න අය නම් එහෙම හිතුවේ නෑ..

"බැසිල් කියන්නේ සැලැස්මක් ඇතුව, වැඩක් කරන මිනිහෙක් මිසක්, සූදානම් නොවී වැඩ කරන කෙනෙක් නෙවෙයි "

ඔහු ගැන දන්න දේශපාලන නිරීක්ෂකයෝ, එහෙම කිව්වා.

"බැසිල් මේ ඇවිත් තියෙන්නේ, ප්ලෑන් කරලා වැඩක් කරන්න ආපු ගමනක් නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයක් නිසා, හදිස්සියේ කඩාගෙන බිඳගෙන ආපු ගමනක් ." අඩුම තරමින් ඔහුගේ කොණ්ඩය ගැනවත් හිතන්න, ඔහුට ඉස්පාසුවක් නැති බව දැකපු, ඔහු ගැන දන්න දන්නා බොහෝ අය, එහෙම හිතපු එක වැරදිත් නෑ... මොකද බැසිල් කියන්නේ, තමන්ගේ පෙනුම ගැන, පෞරුෂය ගැන, ඕනවටත් වඩා හිතන කෙනෙක් මිස, මහණ දම් පුරන තවුසෙක් වගේ, රූපය ගැන හිතන කෙනෙක් නොවන නිසා..

බැසිල්ගේ මේ ගමන එක්ක, අපේ දේශපාලන කරළියේ කට කතා කීපයකුත්, පැතිර යන්නට වුණා. ආණ්ඩුවේ අය-වැයේ ඇතැම් වැය ශීර්ෂ කීපයක් පරාජය කරන්න, බැසිල්ගේ සැලැස්මක් තියනවා කියලත් , කතාවක් පැතිර ගියා.

ඇත්තටම මේ කතා පැතිර යන්න ,ඔහුගේ හැසිරීමත් එක්තරා හේතුවක් වුණා. ආපු දවසෙ පටන්ම, ඔහු කළේ, ප්‍රසිද්ධියේ එක සාකච්ඡාවක් කරනකොට, අප්‍රසිද්ධියේ රෑට කලුවරේ සාකච්ඡා කීපයක් කරන එක. රෑට රෑට ඔහුගේ මිතුරන්ගේ ගෙවල්වල, හොර රහසෙ හමුවෙලා මේ කතා කරන්නේ, ආර්ථිකය ගොඩ ගොඩ ගන්න හැටි ගැන නම් වෙන්න බෑ...

කොහොම හරි වටින් ගොඩින් ආරංචි උනේ, රනිලුත් මේ ගැන යම් දෙයක් දැනගෙන, බැසිල්ට පුංචි තරවටුවකුත් කරලා තිබුණා කියලයි.

මේ කතාවක් අතරේ, දෙදෙනා අතර හමුවකුත් , පසුගිය දින රාත්‍රියක සිදු වූ බවත් , වාර්තා වුණා. නොයෙකුත් දුෂ්කරතා විඳිමින් , තවමත් ආණ්ඩුව ආරක්ෂා කරගන්නට කැපවන මන්ත්‍රීවරුන් වෙනුවෙන් , ඇමතිකම් ලබා දීලා , නව කැබිනට් සංශෝධනයක් ඇති කරන්න යෝජනාවකුත් , එවෙලේ බැසිල් ගෙනා බවයි කියන්නේ.

රනිල් ඒකට සෘජු එකඟත්වයක් පළ කර නෑ. දෙසැම්බර් 8 වැනිදා වන විට, ඒ වගේ වෙනසක් ඇති විය යුතුයි කියලා, බැසිල් කියා තිබුනත්, රනිල් ඊට අවනත වෙලා නෑ කියලයි කියන්නේ,

දේශපාලන වාර්තාකරු

දේශීය කිරි පිටරටින් ආනයනය කරලා !

රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැති, පහුගිය දවස් වල, පස්ස කැඩිච්ච කඩියා වගේ, ඒ මේ අත දිවුවේ, අයවැය හින්ද කාර්යබහුල වෙලා විතරක් නෙවෙයි. එයාගේ අමාත්‍යංශයට අයත්, අනෙකුත් බාහිර ආයතන වලත්, ලොකු ලොකු ප්‍රශ්න නිසා ලු..

ඒ වගේ ප්‍රශ්නකාරී එක තැනක් තමයි, රේගුව.

දැන් මේ සති දෙක තුනක ඉඳලා, රේගුවයි, ලංකාවේ ආනයන අපනයන පාලකයි, කිරිපිටි නිෂ්පාදන වලට සම්බන්ධ, ව්‍යාපාරිකයෝ ටිකකුයි හිටියෙ, ලොකු කඹ ඇදිල්ලක. ඒක තුන්කොන් කඹ ඇදිල්ලක් කිව්වත් වරදක් නෑ...

ප්‍රශ්නය වුණේ, මේ රටේ දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන, සමාගම් කීපෙකුයි , යෝගට් වගේ රසකැවිලි හදන සමාගම් කීපයකුයි එකතු වෙලා, පිටරටින් ගෙන්නපු කිරිපිටි නිෂ්පාදන තොගයක් , වරායෙන් නිදහස් නොකරපු එක.

මේක හින්දා රටේ කිරිපිටි හිඟයක් ඇති වේවි කියලා, කිරි පිටි නිෂ්පාදකයො කිව්වා. නිෂ්පාදන තොගය නිදහස් කරන්න, ආනයන අපනයන පාලකයින්ගෙන්, නිසි අවසර ලැබිණ නෑ කියලා, රේගුව කිව්වා. නිසි අවසර දෙන්න තරම්, මේ ගෙන්නලා තියෙන කිරි ආහාර තොගය, නීත්‍යානුකූල නෑ කියලා, ආනයන අපනයන පාලක කිව්වා....

දැන් බලනකොට, ඒක මහා පටලැවිල්ලක්. පටක් පොටක් නැති, අලකලංචියක්... මේ අලකලංචිය විසඳන්න තමයි, සියබලාපිටිය මැදිහත් වෙලා තිබුනේ..

පහුගිය සතියෙ මේක ගැන, දේශීය කිරිපිටි නිෂ්පාදකයෝ ටිකක් එකතුවෙලා, පුවත්පත් සාකච්ඡාවක් කරනවත් අපි දැක්කා තමයි... ඒත් ඉතිං මේකේ හරි කතාව ආරංචි උනේ පස්සෙනේ.

දේශීයව කිරිපිටි හා, කිරි වලින් යෝගට් නිපදවන, මේ කර්මාන්ත කාරයෝ, තමන්ගේ නිෂ්පාදන හදන්නෙ, දේශීය කිරිපිටි වලින් නම්, මොන මගුලටද, මේ නිෂ්පාදන පිටරටින් ගේන්නේ කියලා අහන්න තරම්, කවුරුවත් ඉස්සර උනේ නෑ... සමහරවිට, සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති නිසා, වෙන්න පුළුවන්.

හැබැයි ආනයන අපනයන පාලක, ඕක ගැන හොඳට දැනගෙන හිටියා.

එයාගේ නම උපුල්මලී ප්‍රේමතිලක. දරන තනතුර බරපතළ වුණත්, එයා ඒකට සුදුසු බව පෙන්නලා ඉවරයි.

කාන්තාවක් ඒ වගේ වගකිවයුතු තනතුරකට පත් වුණාම, සමහර අය හිතන්නේ, ලද බොළඳ කාන්තාවක් එක්ක, වංගුවක් දෙකක් ගහන එක, අමාරු නෑ කියලා. නුවනත් හැදිමිටේ තරමටයි දිග කියලනෙ කියන්නේ.

හැබැයි උපුල් මලිගේ නුවණ නම්, හැඳිමිටේ තරමට වඩා, යාර ගානක් දිග බව ඔප්පු කරලා පෙන්නුවා.

"මේක නීති විරෝධී ආනයනයක්. මේ ගෙන්නලා තියෙන්නෙ, කිරිපිටි නිෂ්පාදනයට අවශ්‍ය වන, කිරි නිපදවන අමුද්‍රව්‍ය වගයක්. ඒවට රජය මෙයාලට අවසර දීල නෑ. ඒ නිසා මේ කිරිපිටි අමුද්‍රව්‍ය තොග නිදහස් කරන්න බෑ " උපුල්මලී කෙලින්ම කිව්වේ, අන්න එහෙමයි.

"මේ ප්‍රශ්නෙ, පහුගිය සතියේ දුර දිග ගියා වැඩියි. කිරිපිටි තොගය, රාජසන්තක කරලා, සත්ත්ව ආහාරවලට විකුණලා දාලා, ඒකෙන් තෑගි මුදල් අරගන්න, රේගුව උත්සාහ කරනවා කියලයි, කිරිපිටි නිෂ්පාදකයෝ කියන්න ගත්තේ. නීතියට වංගුවක් ගහලා, තහනම් භාණ්ඩ ලංකාවට ගේන්න, තමන්ගත් උත්සාහය ගැන, ඔවුන් කතාවක් නෑ.

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු එමටයි කියන ගමේ කතාව, කොයි තරම් ඇත්තද කියලා, අපිට මතක් උනේ, අන්න ඒ කතාව අහනකොට...

මේ කෝක වුනත්, අපට නම් ඇතිවුණේ, බයක් හා සැකයක්

"එතකොට දෙයියනේ දේශීය කිරි එලදෙනුන්ගෙන් නිපදවන, දේශීය කිරිපිටි කියන සන්නාමය යටතේ, අපි මෙච්චර දවසක් බීල තියෙන්නේ, පිටරටින් ගෙන්නපු දේශීය කිරි ද ?

ඒක මහා හතරබීරි කතාවක්... "පිට රටින් ගෙන්නන අමුද්‍රව්‍ය වලින් හදන දේශීය කිරි" .

කොහොමද ඒක ?

දේශපාලන වාර්තාකරු

බැසිල්ගේ කටුනායක බිල ගැන : පොහොට්ටුවෙන් නිවේදනයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කරන අතර බැසිල් රාජපක්ෂ සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සඳහන් කර ඇත .

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

IMG 9928

IMG 9929

අමරවීර සිරිසේනගෙන් ගේම ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තවත් උග්‍රවන තත්ත්වයක් පෙන්නුම් කෙරෙයි.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තමා තවදුරටත් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබීමත් සමගය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් විසින් නව මහලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත් කරන ලද බව නිවේදනය කරන ලදී.

එහෙත් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්ෂ නායකයන් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ කිසිදු දැනුම්දීමක් නොමැතිව අත්තනෝමතික ලෙස සිදුකළ මෙම නව මහ ලේකම් තමන් පිළිනොගන්නා බවය.

එසේම පක්ෂයේ සිටීම ගැටලුවක් නම් අලුත් පක්ෂයක් වුවත් බිහිකිරීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර ද මීට පෙර මාධ්‍ය හමුවකදී සදහන් කර තිබිණ .

විමල්ට එරෙහි නඩුවක : මූලික විරෝධතාවලට දින දෙයි !

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට කරුණු දක්වා තිබුණි.

එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ජනවාරි මස 16වනදාට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පැමිණිලිකාර අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකොට ඇති බවට චෝදනා කොට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

රට ගොඩනැගිය හැකි පරිණත නායකයා රනිල් : වෙල්ගම ප්‍රසිද්ධියේ කියයි !

අද මෙරට සිටින පරිණතම දේශපාලනඥයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ජාත්‍යන්තර සබඳතා මඟින් රට ගොඩ ගැනීමට හැකියාව තිබෙන නායකයා ද ඔහු බවත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය .

රට මේ තත්වයට පත්වීම සම්බන්ධයෙන් තමා ඇතුළු දේශපාලඥයන් සියලු දෙනා වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

දේශපාලනඥයන්ගේ කළු සල්ලි තිබෙන්නේ තොරතුරු පිටතට නොදෙන විදෙස් බැංකුවල බවද සොරකම් කරන අයගේ මුදල් මෙරට නැති බවත් ඒවා ඇත්තේ ලංකාවේ ගිණුම් වල නම් ඒ වෙන අයගේ නම්වලින් බවත් පැවසීය.

තමනට එසේ උපයන ලද මුදල් නැති බවත් තම පියා හොඳ ව්‍යාපාරිකයෙක් බවත් ඔහු විසින් ධනයක් උපයා ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය

"මට වැඩියෙන් සතුටු A9ක් ලැබුණ එකට නෙවෙයි" - ෂාෆිගේ දියණිය කී කතාව !

"මට වැඩියෙන් ම සතුටක් දැනුණෙ සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ නවයක් ලැබුණු බව දැනගත්ත වෙලාවේ නෙවෙයි, මගේ තාත්තා නිර්දෝශීයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙයි," බීබීසී සිංහල සේවයට මෙසේ පැවසුවේ, මීට වසර කිහිපයකට පෙර වඳ සැත්කම් චෝදනාවකට ගොදුරු වූ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ වැඩිමල් දියණිය යි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ නවයක් ලබා ගැනීම දුර්ලභ සිද්ධියක් නොවුණ ද, මෙහිදී ඇති විශේෂත්වය වන්නේ 2019 වසරේ දී සිය පියාට සමාජයෙන් ද, තමාට පාසලේ ශිෂ්‍යාවන්ගෙන් එල්ලවූ පීඩනය පසෙකලා 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය ජයගැනීමට ඇය සමත්වීම යි.

මොහොමඩ් ෂාෆි ෆාතිමා සෙයිනම් සිංහල භාෂාව සහ සාහිත්‍යය ද ඇතුළුව සියලු විෂයයන්ට A සාමාර්ථ ලබාගෙන ඇති අතර, ඇය ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

"මේ සැරේ සාමාන්‍ය පෙළට මුහුණදුන්න ගොඩක් දෙනෙක් A සාමාර්ථ නවයක් ගත්තත් අද මගේ A නවය ගැන ගොඩක්දෙනෙක් කතා කරන්නේ මම බාධක මැද්දේ - හැමෝම දන්නවා අපේ පවුලට වෙච්ච ප්‍රශ්න, එල්ල වෙච්ච දේවල් - ගොඩක් පීඩාවන්ට මුහුණදීලා තමයි අද මෙතනට ඇවිත් ඉන්නේ. මගේ ජයග්‍රහණය ගැන මං අවංකවම ආඩම්බර වෙනවා. මේ ජයග්‍රහණය මම දකින්නේ වචනයකින් හරි මට උදව් කරපු සමාජයත් එක්ක මම ලබපු ජයග්‍රහණයක් විදිහට යි."

ඇය පැවසූ පරිදි සිය පියාට එල්ල වූ චෝදනා හමුවේ ඇගේ "සමවයසේ ශිෂ්‍යාවන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය මැද ඇයට පාසල් කිහිපයකට මාරු වීමට සිදුවී" තිබිණි.

"කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ආරම්භ වෙන්නෙ මගේ පාසල් දිවිය. ඊට පස්සෙ කුරුණෑගල මලියදේව බාලිකාව. ඊට පස්සෙ තාත්තාගේ ප්‍රශ්නවලින් පස්සෙ කොළඹ මුස්ලිම් කාන්තා විදුහල. ඊට පස්සෙ කල්මුණේ මහ්මූද් බාලිකා විදුහලට යන්න සිදුවෙනවා. අවසාන වශයෙන් මහනුවර බදියුදීන් මහ්මූද් කාන්තා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ," ඇය පැවසීය.

ඇයට "අමිහිරි අත්දැකීමකට" මුහුණදීමට සිදුවුව ද සෙයිනම් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට දක්වන ගෞරවය අඩු වී නැතැ යි ඇය පැවසුවාය.

"මලියදේවය කියලා කියන්නේ මට මගේ දක්ෂතා එළිදක්වන්න තිබුණ හොඳ තැනක්. ඇත්තටම පාසලට මම චෝදනාවක්වත්, විරුද්ධතාවක්වත් එල්ල කරන්න කිසිසේත්ම කැමති නෑ. මොකද, මම ඉහළින්ම ගරු කරන පාසලක් තමයි මලියදේවය කියන්නේ. ඒත් ඒ කාලෙ හිටිය ශිෂ්‍යාවන්ට පොවල තිබුණ විෂ, සමාජගත කරල තිබුණ දේ නිසා එයාලට ඇති වුණ මානසික තත්ත්වයත් එක්ක මට හිත රිදවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා."

ඇය සඳහන් කළේ, තමන් පීඩාවට පත්කළ කිසිවෙකු සමග තමන් තුළ "කිසිදු තරහක් නොමැති" බව යි.

"මම අදටත් එයාලා ගැන කිසිම තරහක්වත්, කිසිම චෝදනාවක්වත් එයාලට එල්ල කරන්න කැමතිත් නෑ. මොකද, ඒ තමයි අපේ රටේ ඉහළ තැන්වලින් සමාජගත කරල තිබ්බ විෂ. ඉතින් ඒක එයාලගේ වරදක් විදිහට මම දකින්නෙ නෑ. අදටත් මට වැරදි විදිහට කතා කරපු මගේ හිත රිදවපු අය ගැන කිසිම තරහක් නෑ."

"ළමයින්ගෙ ලෝකෙ විෂ අඩුයි. විෂ තියෙන්නේ වැඩිහිටියන්ගේ ලෝකෙ තමයි. ඒ විෂ සමාජගත කරන්නෙ වැඩිහිටියන් විසින්. ඉස්සෙල්ලාම රටේ ඉහළම තැන් හරියාකාරව හැදුණොත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි, මිනිස්සු තමන්ගේ බලය, තනතුර, පදවිය වෙනුවෙන් ජාතිවාදය කියන අවිය පාවිච්චි කරනවා. අපි හැමෝම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා වෙන්වුණාට වැඩක් නෑ. අන්තිමට ඒ ආගම් සියල්ල අත හැරියොත් අපි හැමෝම මිනිස්සු. අපි අදහන්න ඕන මනුෂ්‍යත්වය කියන ආගම. ඒ මනුෂ්‍යත්වය කියන ආගම අදහනකොට කවදාවත් වෙන කෙනෙකුට වැරැද්දක් කරන්න හිතෙන්නෙ නෑ. ඒ නිසා වෙන කෙනෙකුට චෝදනාවක් කරනකොට හිතල බලන්න, තමන්ට ඒ දේ වුණොත් තමන් කොච්චර අසරණ වෙයි ද කියලා."

තමන්ට එල්ල වූ පීඩනය සහ බලපෑම් හමුවේ මානසික මට්ටම පහළ වැටීමට ඉඩ නොදී අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගියේ කෙසේ ද? එම ප්‍රශ්නයට ඇය දුන් පිළිතුරයි මේ.

"මේක මම කවදාවත් නොහිතපු දෙයක්. ඒ ඇති වුණ පීඩනය නිසා මම අධ්‍යාපනය ලබපු පාසල මට නැති වුණා. එදිනෙදා මගේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් මට ලැබුණේ නෑ. විශාල පීඩනයක්. තාත්තා ගෙදර නෑ. තාත්තාව නිදහස් කර ගන්න අම්මා වින්ද දුක, එතකොට මල්ලි, නංගි අපේ පවුල සීසීකඩ වුණා. මෙහෙම වෙද්දි පුංචි ළමයෙක් හැටියට මම ගොඩක් හිතින් කඩාගෙන වැටුණා. මගේ අම්මා තාත්තාව බේර ගන්නත් මහන්සි වුණා. ඒ වගේම අපේ වගකීමුත් ඉටු කරන්න ඇය කවදාවත් අමතක කළේ නෑ. ඇය හින්ද තමයි මම හිතන්නෙ මම මනසින් ශක්තිමත් වෙලා ඉන්නෙ."

තමන් මුහුණදුන් අත්දැකීමට වෙනත් දරුවෙකුට හෝ දැරියකට මුහුණදීමට සිදුවුවහොත් මනසින් ශක්තිමත්ව නැගී සිටින්නේ කෙසේදැ යි ඇය පැහැදිලි කළා ය.

"අපේ ජීවිතය කියල කියන්නේ රෝසමල් යහනාවක් නෙවේ. ජීවිතය කියල කියන්නේ අභියෝග පිරුණු දෙයක්. අභියෝග තමයි ජීවිතය ලස්සන කරන්නේ. ගංගාවක් ගලා යන්න ඕනෙ බාධක, හැලහැප්පීම් මැද. එතකොට තමයි ගලන ගඟේ සුන්දරත්වය තියෙන්නේ. වැටෙන තැන් තියෙනවා. ඇඬුවට කමක් නෑ. අපි මානසිකව වැටුණා ම අපට ජීවිතය නැති කරන්න හිතෙනවා. ඒ වුණාට කිසි ම ප්‍රශ්නයක දී ජීවිතය නැතිකර ගැනීම නෙවෙයි එක ම පිළිතුර."

ඇගේ අනාගත අපේක්ෂා මොනවා ද?

බීබීසී සිංහල සේවයට ඇය පවසූ පරිදි ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, උසස් පෙළ විද්‍යා අශයෙන් හදාරා සිය පියාගේ අඩිපාරේ යමින් වෛද්‍යවරියකවීම ය.

ඇය තමන් උගන්නා දේ තමන්ගේ මව්බිමේ වෙසෙන මිනිසුන්ට උපකාරයක් පිණිස භාවිත කිරීමට කැමැත්තෙන් පසුවන්නී ය.

"රට අතඇරලා යන්න ඕන තරම් හිතිලා තියෙනවා ඒ දවස්වල. ඒ වුණාට අද හිතෙනවා අපට වැරදි කරපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි, අපි එයාලත් එක්ක එකට ඉන්න එක. මම කැමතියි මගේ රටට සේවයක් කරන්න," ඇය ප්‍රකාශ කළා ය.

වෛද්‍ය ෂාෆිට එල්ල කළ චෝදනා !

2019 මැයි 23 වෙනිදා දිවයින පුවත්පත "තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ" යනුවෙන් පළකර තිබූ ප්‍රධාන පුවතත් සමග ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවිය.

ඒ අනුව, එම වෛද්‍යවරයා 2019 වසරේ මැයි 25 වන දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.

2019 ජූනි මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ වෛද්‍ය ෂාෆිට එරෙහිව එල්ල කර ඇති චෝදනා සනාථ කිරීමට සාක්ෂ්‍ය නොමැති බව ය.

පසුව ඔහු නිර්දෝෂීබව සනාථවූ අතර පසුගිය වසරේ දී හිඟ වැටුප් ද සහිතව යළි සේවයේ පිහිටුවන ලදී.

ඔහු තමන්ට හිමිවූ හිඟ වැටුප් කොරෝනා මර්දනයට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවට ප්‍රකාශයක් කළේ ය.

බීබීසී - සිංහල

සීයට අනුවක් ප්‍රශ්න ඇති කළේ නිලධාරීන් - හිටපු මුදල් ඇමති රවී !

"දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ" යනුවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ youtube චැනලයක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

එහිදී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වෙයි.

ඔබ නිහඬව සිටියේ ඇයි ?

වැරදි වැටහීම් තියෙනකොට නිහඬතාවයක් තියෙන එක හොඳයි. කාලෙකට පස්සේ මම මාධ්‍යකට ආවේ, මේ අවස්ථාවේ රටට අපෙන් දිය යුතු අදහස් තියෙනවා ඒ ටික දීලා අපේ යුතුකම ඉටු කළ යුතු නිසා.

අයවැය කතා බහක් යන වෙලාවක්. දැඩි ආර්ථික අර්බුදයක් සමඟ රට යන විදිය ගැන ඔබේ අදහස ?

අමාරු තත්වයක්. නිදහස ලැබූ දා සිට නිකං කන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. එය විඳින්න ගත්තම තමයි එහි උග්‍ර බව දැනෙන්නේ. මම හිතන්නේ මේක එවන් කාලයක්. අද දේශපාලඥන්ට බනිනවා . ප්‍රශ්නේ 225න් ඉවර වෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාත් මේකට ප්‍රධාන හේතුවක්.

ඇයි එහෙම කියන්නේ ?

හැම අමාත්‍යංශයකම ප්‍රධාන නිලධාරී ඇමති නෙමෙයි එතන ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියා. ඒවගේම දෙගොල්ලෝ හවුල්වෙලත් සිදුවිය හැකියි. දැන් මිනිස්සු ලෙස සියලු දෙනා කොහෙද ප්‍රශ්නේ තියෙන්න කියන එක පසුවිපරම් කර බැලිය යුතුයි.

ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරී නම් ඔවුන්ව සහ රාජ්‍ය ආයතන යාන්ත්‍රණය සැකසිය හැක්කේ කෙසේද ?

ටෙන්ඩර් ක්‍රියා පටිපාටියේ සිට සිදුවන දේවල් නතර කර ගත යුතුයි. දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වානිජකරණය කළ යුතුයි.

තරුණ අරගලයක් ක්‍රියාත්මක වෙමින් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව පැවසුවා. මේ ගැන ඔබේ අදහස ?

මේ ප්‍රශ්න නිදහස ලැබුන දා සිට තිබුණා. නිකන් ලැබුණාම මෙහෙම ප්‍රශ්න වෙනවා. නිකං ලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එදා ඇහුවේ නැති නිසා අද පිපිරිලා. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මෙහෙ විශ්ව විද්‍යාලය වල අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා. මෙහෙ බෝර්ඩ් ලෑලි අල්ලලා රට යනවා. රට ගිහිං බෝර්ඩ් ලෑලි අල්ලන්නේ නැහැනේ. රටට තියෙන ආදරේ මෙහෙ නැති එක පිට රට ගිහිං වෙනවා ද ? ඇයි රැග් කරන්න ඉඩ දෙන්නේ. වැරදියට වටහා ගන්න එපා. වැඩ කරන කෙනාට ගහලා නැති කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොරෙක් වංචනිකයෙක් කියනවා. වංචා කරන කරන අය ඒවා දිගටම කරගෙන යනවා. මේක තමයි තත්වේ

ළඟම ඉන්න අය නෙමෙයි ද මෙහෙම ගැහුවේ ?

ඔව් ඒක ඉතින් ලංකාවේ සිරිතක්.

අයවැය IMF එකට අනුකූලව සැකසිලා කියලා විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?

අපි 2015 මේවට උත්තර දුන්නා යම් ක්‍රියාවලියක් ඒවා නැත්තට නැති කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. නමුත් එයාලට ඕන දේවල් නෙමෙයි මේකෙන් කර ගන්න ඕන ඒවා අපි දැන ගන්න ඕන. බදු ගෙවීම් වැඩියි. ණය ගන්න ඕන ගෙවන්න බැරි ප්‍රමාණයෙන් ගැනීම වැරදියි.

කඩා වැටුණු ආර්ථිකේ නිසා ජනතාවට පටිතද කර ගන්න වෙලා. ජනතාවටත් සහනත් දීලා ආර්ථිකයත් ගොඩනැගිය හැකි ක්‍රම වේදයක් නැත්ද ?

මේ රටේ හැමදේම සහනාධාර වලට ගැනීම සිමා කළ යුතුයි. ආර්ථිකකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කල හැකියි.

ඒවගේම බොරු ෂෝ වැඩියි. මේවා නතර කළා නම් රට දියුණු වෙනවා.

මන්දපෝෂණය තත්වයට විසඳුමක් තියෙනවා ද ?

මේක නිදහසේ සිට තිබෙන ප්‍රශ්නයක්. සමෘද්ධි වගේ දේවල් හරියට දියත් කළා නම් මේ දේවල් වෙනවා ද ? අවශ්‍ය කෙනාට නෙමෙයි මේ දේවල් ලැබෙන්නේ. ආර්ථිකේ ඩිජිටල් කළා නම් මේ දේවල් නතර වෙනවා. දුප්පත්කම ඇති කරන්නේ දේශපාලන අරමුණින්. ප්‍රශ්න නිවැරදි කරලා උත්තර හොයලා නැවත රට පුනර්ජීවනය කළ යුතු වෙලාවක් මේක. කරන්න බැරි නෙමෙයි කරන්න වුවමනාවක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි හැමකෙනාම කැප විය යුතුයි. අපි මේවා එදා කිවුවා. 2015 අපි හැදුවා නමුත් එකතු වෙලා අපිට ගැහුවේ. දෙවියෝ උඩ ඉන්නවා. මේවා පේනවා.

කොහෙන්ද හදන්නේ කියන තැනේදී, ඇයි ඔබ එකතු නොවෙන්නේ ?

අපිට නිවාඩුවක් ගන්න තිබ්බා. එය වැරදි මත නිවැරදි කරන්න අවස්ථාවක්. දැන් තේරෙනවා ඇති.

වත්මන් ජනාධිපති සමඟ ඔබ තවම සමීපව කටයුතු කරනවා නේ ?

මගේ පක්ෂයේ නායකතුමා. මෙතුමාට තමයි මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා. අපිටත් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපි කවුරුත් අංගසම්පුර්ණ නැහැ. පක්ෂ තුල යම් ගට්ඨන ඇති කරලා ප්‍රශ්න වුණා. ඒවාත් නිවැරදි කරලා, පක්ෂේට ආදරය කරන තත්වෙකට පක්ෂේ ගෙන යා යුතුයි.

එජාපය සහ පොදුජන එක්ව වැඩ කිරීම ගැන එජාපයේ පාක්‍ෂිකයන් විවේචනයට ලක් කරනවා?

මම හිතන්නේ මේක පාට කරන්න අවශ්‍ය නැහැ. මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හැමෝගෙම අදහස් යොමු කිරීම වැදගත්. හැමෝගෙම විශ්වාසය මත රට වෙනුවෙන් හැමෝම එකතු කිරීම වැදගත්. නමුත් කුහකකම් නිසා එවැනි තත්වයන් ඇති වෙන්නේ නැහැ.

ඒ කියන්නේ කුහකකම් එජාපය තුල ද ?

එජාපය තුලත් තියෙනවා. අනෙක් තැන වලත් තියෙනවා. මේක නැති කරනකල් අපේ රට හදන්න බැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. මේ වගේ බොහෝ දේ තියෙනවා. ඉන්දියාව චීනය හැප්පීම කළ නොකලය යුතුයි. කරන්න පුළුවන් දේවල් නොකළ අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනවා.

ඔබට එජාපයේ ඉහළ තනතුරක් ලැබෙන බවට වාර්තා පල වෙනවා ?

එහි සත්‍යතාවයක් නැහැ. කණ්ඩායමේ අය තනතුරු දරමින් සිටිනවා. ඒකරාශිව කණ්ඩායමක් ඇති කළ යුතුයි. හැමදෙනාගෙම හිත් දිනාගෙන ජනතාවගේ විශ්වාසයක් ඇති කළ යුතු අවස්ථාවක් මේක. යම් පෙරළියක් ඇති කරන්න අපේ මුළු ශක්තියම ලබා දී එජාපය රකින්න අවශ්‍යයි. ඊට මට දශමෙකින් හෝ උදව් කළ හැකි නම් මම කැමැත්තෙන්ම එය කරනවා. ඒ වගේම හැකියාවත් තියෙනවා. නමුත් අපිටත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊර්ශියා රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. මම මේකෙන් ජිවත් වෙන්නේ නැහැ. මේ සියල්ල මම දේශපාලනය එන්න ප්‍රථම ගත්ත දේවල්.

නත්තල වගේම නව වසරත් එළෙඹෙනවා, ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?

අවුරුදු 74ක් නිදහස ලැබුණට, අපිට ආර්ථික නිදහසක් ලැබී නැහැ. තරුණයෝ මුල් කරගෙන අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. වයෝවෘද්ධ අයටත් සතුටින් ජිවත් විය හැකි මාර්ගයක් ඇති කරමු. ආර්ථිකේ යම් අය වැට්ටුවට අපිට ලෝකය තරණය කළ හැකි අවස්ථා තියෙනවා. "හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ" කියන සංකල්පයෙන් අපි හැමදෙනාම මහන්සියෙන්

ඉදිරියට යන්න පුළුවන් ගමනක් ආරම්භ කරමු. කුහකකම් දුරුලා නව වසර අපි අලුත් ගමනක් යන්න ආරම්භයක් ඇති ගන්න අත්වැල් බැද ගමු.

- lankaadeepa (රතු කට්ට විශේෂාංගයෙනි )

Page 171 of 386